කෘෂිකර්ම ඇමති බඩ ඉරිඟු වලින් අපේ බඩට ගැහුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු දිසාවේ ගෙවීන් ගෙන් මැසිවිලි

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන වැඩසටහන මගින් අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීමට හම්බන්තොට, අනුරාධපුර , අම්පාර, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක පහේ තෝරාගත් ගොවීන් 23000කට පමණක් නොමිලයේ යුරියා පොහොර ඇතුළු සෙසු සහනාධාර ලබා දීමේ වැඩසටහන මඟින් අමාත්‍ය වරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු ගොවීන් වන තමන්ගේ බඩට පහර එල්ල කොට ඇතැ‍යි මහවැලි එච් කලාපයට අයත් මීගලෑව,ගනන්ගමුව, බණ්ඩාරගම,කත්නෝරුව සහ මැදින්නෝරුව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් බඩ ඉරිඟු ගොවීහු මැසිවිලි නඟති.හම්බන්තොට, අනුරාධපුර , අම්පාර, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වල ගොවීන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ මේ සඳහා යුරියා මෙට්‍රික් ටොන් 8000ක් නොමිලයේ ලබා දීමත් ඊට අමතරව එම ගොවීන් සඳහා TSP, MOP පොහොර, බීජ හා බිම් සකස් කිරීම සඳහා යන්ත්‍ර වෙනුවෙන් වැය වන මුදල් ලබා දීමත් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් ගොවීන් වන තමනට යන එන මං අහිමි කොට ඇති බව ඔව්හු කියති.

එම ගොවීන් වැඩි දුරටත් පවසනුයේ ඉහත සඳහන් සහනාධාර කිසිවක් නොමැතිව බඩ ඉරිඟු බීජ මිලට ගැනීමේ සිට වගාව සඳහා වන සියළු වියදම් දරන තමන්ට ඉහත සඳහන් සහනාධාර ලබන ගොවීන් සමඟ වෙළඳපල තරඟයට මුහුණ දෙනුයේ කෙසේ ද? යන්න කෘෂිකර්ම අමාත්‍ය වරයාට නොවැටහීම අරුම පුදුමයක් බව ය. එකම මහවැලි දියවරෙන් වගා කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මහවැලි එච් කලාපයේ ගොවීන්ට දෙන සහන එම එච් කලාපයටම අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට හිමි නොවීම අසාධාරණයකට වඩා අපරාධයක ස්වරූපය ගන්නා බව ද ඔව්හු කියති.එමෙන්ම උතුරු මැද වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය මඟින් පාලනය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටසට අයත් රාජාංගනය ජලාශයේ දියවර මඟින් බඩ ඉරිඟු වගා කරන ගොවීන් ද මෙම අසරණ බවට පත්ව හීඳින බව පවසන ඔවුන් තෝරාගත් තෝරාගත් දිස්ත්‍රික්ක පහේ ගොවීන් 23000කට පමණක් නොමිලයේ යුරියා පොහොර TSP, MOP පොහොර, බීජ හා බිම් සකස් කිරීම සඳහා යන්ත්‍ර වෙනුවෙන් වැය වන මුදල් ලබා දීම මඟින් අප රටේ සෙසු පලාත් වල බඩ ඉරිඟු වගාවට බරපතල වින්නැහියක් උදාකොට ඇති බව කියති. ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර , අම්පාර, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක පහේ තෝරාගත් ගොවීන් 23000 දෙනා අවම පිරිවැයක් යටතේ වෙළඳපලට ඉදිරිපත් කරන බඩ ඉරිඟු අස්වැන්න හා තරඟ කිරීමට ඒ පහසුකම් කිසිත් නොමැති සෙසු ගොවීන්ට නොහැකි බවට ද එම ප්‍රදේශවල ගොවීහු මැසිවිලි නඟති.එමෙන්ම එකම දියවරකින් වගා කටයුතු සිදු කරන එකම ගොවි ජනතාවකට පරිපාලන දිස්ත්‍රික්ක යන අදාල නොවන සාධකය මුල් කොට දෙයාකාරකයකින් සැලකීම රටේ පාලකයන්ගේත් නිලධාරීන්ගේත් මන්ද බුද්ධික භාවය ප්‍රදර්ශනය කරවන්නක් බව ද කුරුණෑගල දිස්ත්‍රිකයේ උතුරු අර්ධයේ බඩ ඉරිඟු ගොවීහු කියති. ඔවුන් වැඩිදුරටත් කියා සිටිනුයේ කෘෂිකර්ම ඇමතිවරයා බඩ ඉරිඟු යොදා ගනිමින් තමගේ බඩට ගැසූ බවකි.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර