අපි කවුරුත් කැමතියි හිතේ ,හිසේ බරක් නැතුව සැහැල්ලු සිතකින් සතුටින් ජීවත් වෙන්න. නේද ?
ඒත් අවාසනාවකට වගේ අපි බොහෝ දෙනෙක් සතුට හොයන්නේ සතුට තියෙන තැනතැන්වල නෙමෙයි.සතුට නැති තැන්වල.
කොහෙද සතුට තියෙන්නෙ , කොහෙද සතුට නැත්තේ?
අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අපේ සතුට තියෙන්නේ අනිත් අය ළඟ කියලා. ඒ කියන්නේ අනිත් අයට පුළුවන් අපිව සතුටට හෝ අසතුටට පත්කරන්න කියලා.
ඒත් ඇත්තෙන්ම ඒක ලොකුම මුලාවක්. මුසාවක්.
කොහොමද එහෙම කියන්නේ?
අපේ හිතේ සතුට නැතුව යන්නේ, අපිට ප්රශ්න ඇති වෙන්නේ අනිත් මිනිස්සු අපට කරන කියන දේ නිසා නෙමේද කියලා ඔබ තර්ක කරයි.
ඇත්තටම කිසිම කෙනෙකුට හෝ කිසිම දේකට බැහැ අපිට සතුට දෙන්න. ඒක අපිම නිර්මාණය කරගන්න මානසික තත්වයක්. අපිම නිර්මාණය කර කරගන්න හැඟීමක්.
එහෙම වෙන්නේ කොහොමද? ඔබ අහයි.
මිනිස්සු අපේ හිත් රිද්දනවා, අපට පාඩු කරනවා, වංචා කරනවා,නොයෙකුත් ප්රශ්න ඇති කරනවා .ඒ නිසා අපේ සතුට නැති වෙනවා, අපට තරහ යනවා , අධෛර්යයට අසහනයට පත් වෙනවා… එහෙම නේද ඔබ හිතාගෙන ඉන්නේ?
අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙම තමයි.
ඒත් ඇත්තෙන්ම අපිට හිතේ සතුට හෝ අසහනය ඇති වෙන්නේ කවුරුත් කරන කියන දේ නිසා නෙමෙයි !
එහෙනම්?
අපේ හිතේ ඇතිවන තරහව, දුක , අසහනය,කලකිරීම , අධෛර්යය වීම වගේ ඕනෑම හැඟීමක් ඇති වෙන්නේ අනිත් මිනිස්සු කරන දේවල් නිසා නෙමෙයි, අපි ඒවලට දක්වන ප්රතිචාරය අනුවයි.
මොනවා??
ඔව්! ප්රතිචාරය අනුව! ඒක තමා ඇත්ත.
මේක පිළිගන්න , අවබෝධ කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන් තමයි .. ඒත් ගැඹුරින් හිතලා බැලුවොත් ඔබට තේරෙයි ඒක ඇත්ත කියලා.
මේ ප්රතිචාරය කියන වචනය හරිම වැදගත්.
අනෙක් අය කරන වැරදි වැඩ සමහර වෙලාවට අපිව අසතුටට පත් කරන්න අනිවාර්යෙන්ම දායක වෙනවා වෙන්න පුළුවන්.
ඒත් මේ දායක වෙනවා කියන එකයි ප්රතිචාර දක්වනවා කියන එකයි සම්පූර්ණ වෙනස් සංකල්ප දෙකක්. ඒ දෙක ඉතා පැහැදිලිව අවබෝධ කරගත්තොත් අපිට හිත සැහැල්ලුවෙන් තියාගන්න ලේසියි.
ගින්දරයි පුළුනුයි තැන් දෙකක තිබුනට ගිනි ගන්නෙ නෑ. පෙට්රල් පොඟවපු පුලුන් වලට ගිනිකූරක් විසි කෙරුවොත් වහාම ගිනි ගන්නවා. ඒත් වතුර පොඟවපු පුලුන් ටිකකට ගිනි කූරක් විසි කළාට එහෙම වෙන්නේ නෑ, නිමිල යනවා. බලන්න එකම ගිනිකූරට ලැබෙන්නේ වෙනස් ප්රතිචාර දෙකක්.
ඒ වගේ අපේ හිත් “පෙට්රල් හෝ වතුර” පොඟවපු පුලුන් ටිකක් කරගන්න අපිට පුළුවන් .
අනිත් මිනිස්සු කරන දේවල් අපිට පරිබාහිරව සිදුවෙන දේවල්. අපේ හිතේ සතුටට හෝ අසතුටට ඒවා අදාළ නැහැ. ඒවලින් නොසැලී හිත හොඳින් තියාගෙන ඉන්න අපට ඕන තරම් පුළුවන්.
හැබැයි පරිබාහිර දේවල් අපේ හිතේ සතුට හෝ අසතුට ඇති කරන්න දායක වෙනවා වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අපි ආසා කරන අපි බලාපොරොත්තු වන දේවල් සිදුවෙනවා නම් ඒක අපට සතුට දෙන්න දායක වීමක්. ඒ වගේම අපි අකමැති බලාපොරොත්තු නොවන දෙයක් සිදුවෙනවා නම් ඒක අප තුළ තරහව කළකිරීම අසතුට ඇති කිරීමට දායක වීමක් වෙන්න පුළුවන්.
එහෙම දායකත්වයක් දුන්නා උනාට අපේ හිතේ ස්වභාවය “පෙට්ට්රල් ද වතුර ද” කියන එක අනුව තමයි තීරණය වෙන්නේ ඒකෙන් අපට බලපෑමක් තියෙනවද නැද්ද කියන එක.
අපි ඉතාම සරල උදාහරණයකට මෙහෙම හිතමු.
කවුරු හරි කෙනෙක් අපි ගැන එක එක බොරුදේවල් කිය කිය නම කැත කරන්න හදනවා කියලා හිතමු. එයා එහෙම කියපු බව දන්නෙ නැති තාක් කල් අපේ හිත් සන්සුන්.
නමුත් එයා අපට විරුද්ධව බොරු කේලම් කියලා මඩ ගහපු බව ආරංචි වුණා උනාට පස්සේ අපේ හිතේ තත්වය වෙනස් වෙනවා. සමහරවිට හිතට තරහවක් වේදනාවක් හෝ අසහනයක් ඇති වෙනවා.
මොකක්ද ඒකෙන් තේරෙන්නේ?
ඒ පුද්ගලයා කළ ක්රියාව නිසා නෙමෙයි අපේ හිත චංචල උනේ. ඒක ආරංචි වුණාට පස්සේ, ඒකට ප්රතිචාරයක් දක්වපු නිසයි නේද ?
ආරංචි වුණත් ආරංචි උනේ නෑ වගේ හිටියනං හිතේ ඒ ඍණාත්මක හැඟීම් ඇති වෙන්නේ නෑ.
ඒකෙන් පැහැදිලියි නේද කෙනෙක් කරන දේ නිසා නෙමෙයි අපි ඒක බාර ගන්න ක්රමය අනුවයි අපේ හිතේ වෙනසක් ඇති වෙන්නේ කියන එක.
ඔව් ඒක තමා ඇත්ත. ජීවිතේ හැම දෙයක් පිළිබඳවම මේක ඇත්තක්.
අපි වෙලාවකට කියනවා “එයා කරපු වැඩේ හින්දා මට යකා නැග්ගා, එයා මගේ බලාපොරොත්තු විනාශ කෙරුවා, මාව කෑවා, මගේ හිතේ සතුට බින්දුවටම බැස්සුවා “වගේ දේවල් නේද?
හරි නම් ඒක වෙන්න ඕනේ,” මම විහින් මගේ යකා නග්ග ගත්තා.. මගේ හිත කාලා දාන්න මම ඉඩ දුන්නා, මගේ සතුට බිංදුවට බස්සන්න මම ඉඩ දුන්නා ,මාව අධෛර්ය කරන්න, කලකිරවන්න මම ඉඩ දුන්නා” කියලයි.
අපේ හිත් තියාගන්න ඕනේ කොහොමද කියලා තීරණය කළ යුත්තේ අපිමයි. ඒ තීරණය අනිත් අයට බාර දෙන්න බෑ.
අපේ හිතට ඇතුළුවෙන යතුර තියෙන්නේ අපේ අතේ නම් වෙන කිසි කෙනෙකුට අපේ අවසරයකින් තොරව අපේ හිතට ඇතුළු වෙන්න බැහැ.
ඒත් ඒ යතුර අනිත් අයට දීලා තියෙනවා නම් ඒ අයට කැමති කැමති වෙලාවට අපේ හිතට ඇතුල්වෙලා ඕනෑම කලබලයක් , ජරමරයක්, කරන්න පුළුවන්. අල්මාරියකට රිංග ගත්තු මීයො ටිකක් ඇඳුම් පැළඳුම් විනාශ කරනවා වගේ අපේ හැඟීම් එහා මෙහා කරලා විනාස කරල අපේ ඔලුව සම්පූර්ණයෙන්ම අවුල් කරන්න ඉඩ තියෙනවා.
“මගේ පෙම්වතිය/ පෙම්වතා අතහැරලා ගියා…ජොබ් එක ගහල ගියා… ප්ලෑන් එක අප්සෙට් ගියා…විභාගේ ඇන ගත්තා… ෆේස්බුක් එකේ මඩ ගහලා කමෙන්ට් එකක් දාලා තිබුණා… “වගේ දේවල් අපිට සමාජයෙන් ඇහෙනවා. ඒ වගේ දේවල් නිසා ගොඩක් දෙනෙක් හිත කලකිරවගන අසතුටෙන් ඉන්න පුළුවන්.
ඒ වගේ දේවල් සිදු වුණාම අප්පුඩි ගගහ හිනාවෙවී සතුටු වෙන්ට බැරි බව ඇත්ත . නමුත් ඒ බාහිර කිසි දෙයකට පුළුවන් කමක් නැහැ අපේ හිතේ සෘණාත්මක ප්රතිඵල ඇති කරන්න.
මිනිස්සු ඔබට ගැටලු ඇති කරල තියෙනවා නම් ඒ ගැටලුවලට පිළිතුරු හොයන එක වෙනම දෙයක්. ඒත් කුලප්පු වෙච්ච හරකෙක් වගේ කලබලෙන් තරහවෙන් හිත අවුල් කරගෙන ප්රශ්න විසඳ ගන්න බැහැ. බුද්ධිමත් විදිහට ප්රශ්න විසඳ ගන්න ප්රඥාව පෑදෙන්නේ නිශ්චල නිසංසල සාමකාමී හිතක් ඇතුලේ විතරයි.
අපි අවසර දුන්නේ නැත්නම් කිසිම කෙනකුට බැහැ අපේ හිත් එක්ක සෙල්ලං කරන්න.
ඒත් නොදැනුවත්වම හෝ අපි කරන්නේ අපේ හිත අවුල් කරවීමේ අයිතිය අනිත් අයට පවරන එක. අනුන්ගේ පදයට නටලා විඳවන එක.
අපේ දියුණුවට උදව් කරන අයට වඩා අපි වැටෙනකම් බලන් ඉන්න, අපේ හිත රිද්දන්න බලාගෙන ඉන්න අය වැඩි වෙන්න පුළුවන්.
ඇයි ඔබ ඒ වගේ මිනිස්සුන්ට ඔබේ හිත චංචල කරන්න ඉඩ දෙන්නෙ. ඒගොල්ලො නිසා ඔබේ හිත කරදරයට පත් වෙනවා නම් අසතුටුට පත් වෙනවා නම් ඔබ කරන්නේ ඒගොල්ලන්ට දිය යුතු දඬුවම් ඔබ විඳ ගැනීමයි නේද?
ඒ වගේ මිනිසුන් වෙනුවෙන් අපරාදේ ඔබේ වටිනා කාලය නාස්ති කරන්න එපා.
මේ කෙටි ජීවිත කාලය සතුටින් ගත කරනවා මිසක් ඔබට වංචා කරලා හිතේ සාමයට සතුටට බාධා කරන අය වෙනුවෙන් ඔබේ සතුට නැතිකරගන්න එපා.
ඔබේ හිත ජංජාලයක් කරන්න කිසිම දෙයකටවත් කෙනෙකුට වත් ඉඩ දෙන්න එපා.
අපි තුළ ඇතිවන ඕනම හැගඟීමකට වගකියන්න ඕනෑ අපිමයි. සමහර මිනිස්සු ඇස් කණ්ණාඩිය නැති උනාම ලෝකෙ පුරාම හොයනවා. අන්තිමට බලද්දි ඒක තිබිලා තියෙන්නේ එයාගෙම නළලේ .
ඒ වගේ අපිත් සමහර වෙලා වෙලාවට එක එක දේවල් කර කර ලෝකය පුරාම සතුට හොයනවා. අන්තිමට බලාගෙන ගියාම සතුට තියෙන්නෙ වෙන කොහේවත් නෙමෙයි අපේම හිත ඇතුලේ.
අමාරුවෙන් හරි ඒ ටික හොඳට තේරුම් ගන්න.
ඔබේ හිතේ සතුටේ යතුර කාටවත් බාර දෙන්න එපා.
ඔබ ලඟම තියාගන්න.
මයිකල් ආන්ජලෝ ප්රනාන්දු