රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට තමන් සේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තමන් පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසා තිබේ.ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවකි.
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයකර ඇතැයි ඉකුත් නොවැම්බර් 14 වැනිදා තීන්දු කරන ලදී.මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙලින්ම රාජපක්ෂ පවුල් දේශපාලනය කේන්ද්‍ර කොට ගනු ලැබූවක් බව පෙනේ. එනිසාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් සන්නාමය යටතේ දේශපාලන කරලියේ සෙසු බොහොමයක් පසුකොට වේගවත් ගමනක් එන “නැඟී එන රාජපක්ෂ පවුල් තරුව” වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ව්‍යක්ත විශාරදයකුසේ ඒ සම්බන්ධ තම අදහස් පළ කොට ඇත.තමන් කවදත් අධිකරණයට ගරු කරන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙහිදී මූලික අයිතිවාසිකම් වලදී සලකා බලනුයේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත් එහි දී වාචික සාක්ෂි කැඳවීමක් නොකරන බවත් පැවසීය. නමුත් දීර්ඝ වශයෙන් හා ගැඹුරින් මේ ආර්ථික අර්බුදය පිළිබදව සාකච්ඡා කළ හොත් සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බව ද ඔහු කීය.මූල්‍ය බලතල,නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව වන අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත් නාමල් රාජපක්ෂ පැවසීය.එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෑම ක්ෂේත්රයක්ම ආවරණය වන පරිදි සාක්ෂි කැඳවීමක් සිදු කිරීමට හැකි බවත් පවසන නාමල් රාජපක්ෂ දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙම ආර්ථික අර්බුදය පිළිබදව සොයා බැලීමට පත්කර ඇති බැවින් එමගින් වඩාත් පුළුල් පරාසයක සිට සාක්ෂි කැඳවීමට හා හරස් ප්‍රශ්න ඇසීමට හැකි බවත් කීය.
ඒ අනුව ඔහු පවසා ඇති පරිදි ගැමි වහරට අනුව කිවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය බල්ලාගේ වැඩේ බූරුවා කිරීමක් වැන්නකට අත ගසා තිබේ. නමුත් ඔහුගේ නීතිඥ භාවයේ ප්‍රමිතිය මුල් කොට එම ප්‍රකාශ වල බොළඳ විහිළු වලට වැඩි අගයක් නොමැති බව පවසන්නෝ ද සිටිති. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙසේ වුවද රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ද පාර්ලිමේන්තුවේ දී පැවසීය.මේ රටේ රාජපක්ෂ පවුල තරම් අවමානයට ගැරහීමට ලක් වූ වෙනත් පිරිසක් නැතැයි කී රංජිත් බණ්ඩාර රාජපක්ෂවරුන් මෙලෙස ගැරහීමට ලක් වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව අහිංසක ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කළ නිසා යැයි ද කීය.නමුත් පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ ඊනියා සංවර්ධන පාරාදීසයන් බවට පත් වූ ඝම්බන්තොට ප්‍රදේශයේ ගැමි නිවසකට හිස පෙවීමෙන්ම රාජපක්ෂ පවුල මේ රටේ අහිංසක ජනතාවට ලබා දුන් සහන වල තරම වටහා ගත හැක.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට මඟ පෑදීම හරහා මහජන විශ්වාසය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කර ඇති බවට, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම සුවිශේෂී තීන්දුවේ සටහන් ව තිබේ.අගවිනිසුරු ජයන්ත ජයසූරිය සභාපතිත්වය දැරූ අතර සෙසු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වූයේ බී.පී අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ මලල්ගොඩ සහ මුර්දු එන්.බී ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ය.ඔවුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර අධිකරණ තීරණය 4-1ක් ලෙස බෙදුණු එකක් විය.
විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඊට විරුද්ධ විය. ප්‍රියන්ත ජයවර්ධන යනු බැසිල් රාජපක්ෂගේ හිටපු නීතිඥවරයා ය. පසුව ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඩුල්ල වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝග කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරුන්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු අධිපතිවරුන් දෙදෙනා, සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරුන් යොමු කර ඇති සියලුම ලිපි හා නිර්දේශ නොවැම්බර් 30 වනදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ක්‍රියාකාරීන් වන චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ හිටපු පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලින් යන අය එක් පෙත්සමක් ද ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්, සූසයප්පු නේවිස් මොරායිස් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන අය තවත් පෙත්සමක් ද ගොනු කළ අතර පෙත්සම් දෙකම එකට සලකා බැලිණ.මහජන සුබ සිද්ධිය වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීම මිස වන්දියක් ඉල්ලා නොතිබූ බැවින්, පෙත්සම්කරුවන්ට දැරීමට සිදු වූ වියදම් හැර වෙන යම් වන්දියක් වගඋත්තරකරුවන්ට නියම කිරීමට අධිකරණය කටයුතු නොකිරීම ද විශේෂත්වයකි.
ආර්ථික අපරාධ යනු නවීන ලෝකයේ දැඩි අවධානයට යොමු වන්නකි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් නම් කෙරේ. පොදුවේ එය ආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණ ලෙසපොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට සෘණාත්මක ලෙස නැතහොත් ආර්ථිකය කඩා වැටීමට හේතුවන අයුරින් ගන්නා තීරණ, තීන්දු සහ ක්‍රියා මාර්ග ද ආර්ථික අපරාධ වශයෙන් හැඳින්විය හැකිය. අල්ලස සහ දූෂණයෙහි යෙදීම ද ආර්ථික අපරාධයකි . ඒ අනුව මෙම නඩු තීන්දුවට පසුබිම් වූ හේතුව ඔවුන් සිදු කළ ආර්ථික අපරාධ බව අතිශයින් පැහැදිලි ය.එනිසාම ඒ සම්බන්ධයෙන් ලෝකයේ ජනමාධ්‍ය විශේෂ වාර්තා පළ කර තිබුණි. බීබීසී ලෝක සේවය සිය ප්රවෘත්ති ප්‍රකාශයට ද මේ ගැන විස්තර ඉදිරිපත් කළ අතර ඔවුන් 2022 අරගලය ගැනද මතක් කර තිබුණි. ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙරෙහි ලෝක ජන මාධ්‍ය මෙතරම් උනන්දුවක් පළ කිරීමට හේතුව රටක පාලක පැලැන්තිය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම යනු ඔවුන් දේශපාලන භූමියෙන් අතුගා දැමීමට මුල් වන තීන්දුවක් බැවිනි.එමෙන්ම පවත්නා විධායක හා ව්‍යවස්ථාදායක බලය යොදා ගනිමින් ඔවුන්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීමට දේපල රාජසන්තක කිරීමට ඇති අවකාශය ද සුළුපටු නැත.එහෙත්, ජනතා පරමාධිපත්‍යය මත පදනම් වූ එවන් තීන්දු තීරණ ගැනීමට ඇති අවකාශය හමුවේත් ගෝත්රවාදී සාටක කරලා ගත් රාජපක්ෂ සනුහරයෙන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් ගෙන් පිටවන නූතන වහරට අනුව කිවහොත් මෙවැනි “පොර ටෝක්” අසා හිඳීමට ජනතාවට සිදුවීම ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය හා සදාචාරය සුනඛ අධෝ මුඛය වෙතටම ළංව ඇති බව මැනැවින් කියා පාන්නකි.නූතනයේ අප රටේ දේශපාලන ක්ෂේත්රය මෙතරම් දුර්ගන්ධවත් වීමට හේතුව එයයි.
රේණුකා දමයන්ති