ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

.vinivida.lk

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන සරසවි අව වහරකි(Slang ). පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සාලිය කුලරත්න පවසනුයේ මෙම ඩොටේ යන වදන මෑතක සිට සරසවි අවවහරක් ව ඇති බවකි.ඉන් පිටිසර යන්න හැඟවෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ යන දෙදෙනම තහවුරු කරති.මෙහි පිටිසර යන්න සඳහා යෙදෙන “හද්දා” යන විශේෂණ පදය දින හත හෙවත් හත් දා යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි.”හත් දා මඟුල්” “හත් දා වළි යකුම” ආදිය ඒ සඳහා වන නිදසුන් ය.ඒ අනුව මෙම හත් දා හෙවත් හද්දා යන්න පසුව අති ප්‍රාමාණික බව පැවසීම පිණිස ද යොදා ගෙන ඇති බව හද්දා පිටිසර යන සාම්ප්‍රදායික වදනින් සේම හද්දා ඩොටේ යන නවීන අව වහරින් ද පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථිකයක් තුළ නගරය සහ ගම අතර තිබූ ‘පැල ඉනි වැට මායිම්’ ශීඝ්‍රයෙන් සිඳී යන යුගයක සරසවි සිසුන්ගේ ග්‍රාමීය හෙවත් මෙම ‘ඩොටේ’ වදනට අර්ථකථනයක් ලබාගනු පිණිස මම මීට කලෙකට ඉහත මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනකුගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමි.

“ඩොටේ මෙහෙමයි හොයා ගන්නේ. ගම කොහෙද ඇහුවම ගාල්ලේ කියනවා. ගාල්ලෙ කොහෙද? ඇහුවම ඒ කිට්ටුව තවත් ටවුන් එකක නමක් කියනවා. අන්තිමට බලනකොට ඒ ටවුන් එකට 4ජීෆෝන් සිග්නල් තියෙනවා. පැය ගාණක් එතන ලැගලා බස් එකට නැගලා ටික දුරක් යනකොට සිග්නල් එකට 3ජී වෙනවා. බස් එකෙන් බැහැලා තවත් දුරක් පයින් ගාටන කොට සිග්නල් 2ජී ඒත් ගෙදරට ගියාම ඒකත් නෑ” එක් සිසුවකු ඒපිළිබඳව විස්තර කරන ලද්දේ එලෙසිනි.
එහිදී තවත් සිසුවකු කියා සිටියේ ලැප් එක (ලැප්ටොප් පරිගණකය) අරන් වහලයට හෝ ගසකට නැඟීමට සිදුවන ප්‍රදේශ තමන් ‘ඩොටේ’ යනුවෙන් හඳුන්වන බව ය.ඒ අනුව ඔවුන් මෙම ඩොටේ යන්න නිර්වචනය කරනුයේ ප්‍රවාහන සහ සන්නිවේදන පහසුකම් පදනම් කර ගනිමින් බව පෙනෙයි.

ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලාංකීය ජන සමාජය ද ප්‍රධාන වශයෙන් නාගරික සහ ග්‍රාමීය වශයෙන් බෙදී තිබේ. අප සමාජයේ නූතනය හා බැඳුණු මෙම බෙදීමට මීට වසර සියයකට වඩා ඉතිහාසයක් ඇති බවක් පෙනෙන්නට නැත. එමෙන්ම අප ජන සමාජය නාගරික, ග්‍රාමීය යන ප්‍රධාන බෙදීම් දෙකක ලක්ෂණ ප්‍රබල ලෙස විද්‍යාමාන වූ විසිවන සියවසේ මැද භාගයේ සිට නවීන සිරිත් විරිත් ඇතුළු සමාජ පන්තියකට අනුගත වූ නාගරිකයෝ සාම්ප්‍රදායික ගැමි සමාජය අවඥාවට ලක් කළහ. එලෙස ගම්බද මිනිසුන් හැඳින්වීම පිණිස ඔවුන් යොදාගත් ප්‍රධානතම ගැරහුම් වදන වූයේ ‘ගොඩයා’ යන්නය.සිංහල රාජධානි සමයේ යටත් විජිත බලපෑම නිසා අප රටේ උත්සන්න වූ උඩරට පහතරට භේදයට අභියෝගාත්මක ලෙසින් පසුකාලීනව ඉස්මතු වූ මෙම නාගරික සහ ග්‍රාමීය සමාජ විෂමතාව තවදුරටත් මුළුමනින් ශේෂව ගොස් නැත. මෙම භේදය නූතන සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළ පවා අදටත් සක්‍රිය වීමෙන් එය මනාව තහවුරු වෙයි. නවීන තරුණ පරපුර අතරේ ඩොටේ යනුවෙන් ව්‍යවහාරවන මෙම ගැමිකම හෙවත් ගොඩේකම පිළිබඳව තවදුරටත් විමසා බලන්නේ නම් ඉන් මතුවන සැබෑ ගොඩයා වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

කෘෂි, ධීවර හෝ වෙනයම් වෘත්තියක් සාම්ප්‍රදායිකව පවත්වාගෙන යනු ලබන පවුල් කුල හෝ ජාති වශයෙන් යම් ඒකීයත්වයක් සහිත සීමිත ජනගහනයකින් යුතු ප්‍රදේශය ‘ගම‘ නමින් හැඳින්වෙයි. එම ගම බොහෝ විට කන්ද, ලන්ද, පිටිය, අරඹ, හේන, බඩවැටිය ආදී වශයෙන් හඳුන්වන ගොඩබිම්වලින් ද ඇළ, දොළ, කුඹුර, වෙළ, දෙණිය, ඕවිට, පිල්ලෑව,මඩිත්ත, අරාව, පැලැස්ස, වතුරාව, පොතාන, අගාර යන ජලාශ්‍රිත සහ අර්ධ ජලාශ්‍රිත බිම් වලින් ද යුතු භූමි ප්‍රදේශයකි. එම ගම්මානයේ මිනිස් වාසය සඳහා වෙන් කර ගත් තැන් හැඳින්වෙනුයේ ගොඩේ, ගංගොඩේ, ගොඩකරේ ආදී වදන් වලිනි.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ සබරගමු පළාතට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ගම්මානයක ගංගොඩක් මැදි කොට උඩරට දුම්රිය මාර්ගය තැනීමෙන් පසු අද වන විට එහි එක් දුම්රිය ස්ථානයක් හැඳින්වෙනුයේ ‘ගංගොඩ’ වශයෙනි. අප මේ ගම්මාන පිළිබඳව විමසුමක් කිරීමට අදහස් කරන ඔබට තවමත් එහි ගොස් පැරණි ගමක ව්‍යුහය යන්තමින් පරීක්ෂා කළ හැක. එහෙත්, ඒ ස්ථාන ඔබට හිමිවනුයේ ඉතා සීමිත කාලයකි. මක්නිසාද යත් අගනුවර ආශ්‍රිතව සුවිසල් නුග ගසක් කේන්ද්‍ර කරගත් තෙත් බිමකට මැදිවී ගොඩැල්ලක් අතීතයේ නුගේගොඩ නමින් හැඳින්වෙනු ලදුව අද එහි ග්‍රාමීය ලක්ෂණ සෙවීම නිරෝගී මනසකින් යුතු කිසිවකුත් අත නොපෙවන කාරියක් බැවිනි.වර්තමාන නුගේගොඩ යනු අතීතයේ තෙත් බිමකට මැදි වූ උස් ගොඩැල්ලකි.උඩහමුල්ල, කන්දෙවත්ත,පාගොඩ යනු එහි උස්ම බිම් කොටස් වන අතර ගංගොඩවිල,ඇඹුල්දෙණිය එහි පහත් බිම් පෙදෙසක් බව පෙනෙයි.නමුත් මේ වන විට ඒ තෙත් බිම් පරිසරය මුළුමනින්ම පාහේ යටපත් කොට ඒ මත මානව ජනාවාස ඉදිවී තිබේ.
විසිවන සියවසේ මුල මෙරට මිනින්දෝරු වෘත්තියෙහි යෙදුණු මෑත කාලයේ අප රටේ ජීවත් වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයකු වන ආර්. එල්. බෝහියර් විසින් රචිත Discovering Ceylon කෘතියේ ගංගොඩක් පිළිබඳව මෙසේ විස්තර කෙරේ.

“අපි රජරට සෞභාග්‍යමත් ගංගොඩකට පිවිසියෙමු. වෑ කණ්ඩිය ඔස්සේ වැටී ගත් වන ලැහැබ් ආදියෙන් තොර මාර්ගය ඔස්සේ යනවිට මහ වනයේ සිට යාර පනහක,සියයක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කොට ඇති ප්‍රදේශයක් හමුවෙයි. මෙම සීමාව තිස් බඹය යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම තිස් බඹය වෙන්කර ගැනීමේ අරමුණු දෙකකි. ශරීර කෘත්‍යය කරගැනීම සඳහා එම සීමාවෙන් පිටතට වනයට යා යුතු වීම ඉන් එක් අරමුණකි. සෙසු අරමුණ වන්නේ ගොදුරු සොයා එන වන සතුන් ගංගොඩට පිවිසීම වැළැක්වීමය.
කැලය කපා ශුද්ධ කොට එහි ඇති මෙම සීමාවේ පොල්, අඹ, දොඩම්, ආදී ගස් සිටුවා තිබේ.කුඹුරු වැපිරීමේ සිට ගොයම් පෑගීම දක්වා කාලය තුළ ගවයන් තණකොළ කන්නේ ද මෙම සීමාව තුළය. මෙම සීමාවට අයත් සවස් කාලයේ ගවයන් ගාල් කරන ස්ථානවල එළවළු ආදී බෝග වර්ග වගා කරනු ලැබේ.”

ඒ කෙසේ හෝ විසිවන සියවසේ මෙරට තුළ ශීඝ්‍රයෙන් ඉස්මතු වූ නාගරික ග්‍රාමීය භේදය කෙතරම් ව්‍යාප්ත විණිද යත් එම යුගයේ දී එය මුල් කොට කලා නිර්මාණ ද බහුල ලෙස එළිදැක්වෙන්නට ඇත. කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකු වූ රාජ නීතිඥ යූ. ඒ. එස්.පෙරේරා (සිරි අයියා) විසින් ප්‍රබන්ධය කරන ලදුව ඔහු විසින්ම ගයන ලද ‘දොම්පෙට යන පාර කොයිබදෝ’ සහ ‘පැටියා’ යන විරුදු මෙම නාගරික ග්‍රාමීය ගැටුම පිළිබඳ නිර්මාණාත්මක උපහාසයක් අතර ප්‍රමුඛ තැනක් ගනී. එහි දැක්වෙනුයේ වෙසක් බැලීම පිණිස තම බිරිඳ ද සමඟ කොළඹ යන ‘පැටියා’ නම් ගැමියකු මුහුණ දෙන අකරතැබ්බයකි.

වෙසක් දන්සල් බහුල කොළඹ නගරයේ සැරිසරන ඔහු දන්සලක් යැයි සිතා බිරිඳ ද සමඟ කොළඹ හෝටලයකට වැදී මස් මාංශ සහිත ආහාර වේලක් අනුභව කරන ලදුව ‘රුපියල් නවයක්’ වූ එහි බිල ගෙවා ගත නොහැකිව එහි හිලව්වට තම ඉණ බැඳි හවඩිය දී පාරට බැස තිබේ.
“පෝය දවසේ මස් කෑවට තොට පලදුන්නා- කියමින් හාමිනේ ගෙදර යනකම් බැන්නා”යනුවෙන් ද එම විරිදු පෙළෙහි සඳහන් ය.
මේ අතර 1952 වසරේ මැයි 14 දා තිරගත වූ දාහතර වන කතානාද සිංහල චිත්‍රපටය නම් කොට ඇත්තේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ යනුවෙනි. 1951 වසරේ කඳානේ සුන්දර් සවුන්ඩ් චිත්‍රා ගාරයේ රූපගත කෙරුණු එය මුළුමනින්ම අප රටේ රූ ගැන්වුණු පළමු චිත්‍රපටය ද වෙයි. පසුව එම චිත්‍රපටය 1936 වසරේ එංගලන්තයේ තිරගත වූ Mr;Deeds goes to town චිත්‍රපටයේ සිංහලානුවාදයක් ලෙස ඇතැම් විචාරකයන් හඳුන්වා තිබිණ. එහෙත්,එය 1939 වසරේ මෙහි වේදිකා ගත කරන ද තුම්පනේ ‘බණ්ඩා සහ කොළඹ අප්පුහාමි’යන වේදිකා නාට්‍යයේ පිටපත අනුව සකසන ලද්දකි. එහි පිටපත ලියා එම නාට්‍යය නිෂ්පාදනය කොට තිබුණේ මරදානේ වින්සි ඡායාරූප ශාලාවේ අධිපති ටී, ඩී. පියදාස විසිනි.පසුව එම චිත්‍රපටය සඳහා එහි නිෂ්පාදන එම්. එස්. නායගම් විසින් එහි පිටපත සම ප්‍රති නිෂ්පාදන අයිතිය ද මිලට ගෙන තිබේ. එයද ගමින් නගරයට එන කුලවත් තරුණයකුගේ ජීවන අරගලයක් පදනම් වූ නිර්මාණයකි.

ඒ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබූ ඉංග්‍රීසි උගත් බටහිර සංස්කෘතියට අනුව හැඩ ගැසුණු නාගරික මධ්‍යම පාන්තිකයන් ගේ දැසි දසුන් බවට පත්වීමට ද මෙරට ගැමියන්ට සිදුවී තිබේ. එම සමකාලීන සමාජ ප්‍රවණතාවන් එළිදැක්වෙන ‘දොම්පෙ ආයා’,‘රයිගම් බණ්ඩා සහ සූටි ගමරාළ’, ‘ජොසී, මනප්පු’, ආදී ප්‍රහසන රංගනයන් බොහොමයක එකල නාගරික සමාජයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණ. එහෙත්, අද එම සමාජමය ආකෘතීන් පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යයනයක් සිදු නොවීම අතිශය කනගාටුවට කරුණකි.
නමුදු දහ නව වන සියවසේ අග භාගයේ මෙරටට සැපත් වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගෙන් මෙරට සමාජය තුළ ඇති වූ බෞද්ධ සමාජයීය ප්‍රබෝධය තුළට දේශීයත්වය එක්කළ අනගාරික ධර්මපාලතුමන් ඇතුළු එවක පහළ වූ වර්තමානයේ අප ජාතික වීරයන් සේ හඳුන්වන කිහිප පළක් විසින් දේශීය සාම්ප්‍රදායිකත්වය මත පදනම් වූ ගැමිකමට ඒ වන විට අහිමි වෙමින් තිබූ අගය යළි ලබාදීමේ දැවැන්ත උත්සාහයක යෙදෙන ලදී. ඒ යුගයේ බිහිවූ ජනප්‍රියතම නවකතා කරුවකු සහ කවියකු වන පියදාස සිරිසේන සූරීන් එම සටනේ පෙරමුණ ගත් සෙන්පතියෙකි.ඔහු විසින් ලියන ලද ‘ජයතිස්ස සහ රොස්ලින්’ නවකතාවේ කතානායකයා සහ නායිකාවගේ හමුව විස්තර කෙරෙනුයේ උම්මග්ග ජාතකයෙහි මහෝෂධ පණ්ඩිතයන්ගේ සහ අමරා දේවියගේ හමුව අපට සිහි ගන්වමිනි.
”ඔබ රටේ ද නැත්නම් තොටේ ද?” යනුවෙන් ජයතිස්ස රොස්ලින්ගෙන් විමසන විට ඇය පිළිතුරු දෙනුයේ ‘රටේ’ යනුවෙනි. මින් ‘රටේ’ යන්නෙන් ස්වදේශීකත්වය අගය කරන බවත් ‘තොටේ’ යනුවෙන් විජාතිකත්වය අගය කරන බවක් පෙන්නුම් කෙරේ.කෙසේ හෝ අද වන විට ශ්‍රී ලංකාවේ ‘ගොඩයන්’ යනුවෙන් හඳුන්වන කොටස අපගේ කෘෂිකාර්මික සමාජය තුළින් පමණක් දැකිය හැකි වනුයේ යටත් විජිත යුගයට පෙර තිබූ පහතරට ධීවර ගම්මාන රැසක් පෘතුගීසීන් විසින් තැනූ නගරවලට හෙවත් ‘සෙයිලම’ නතුවීමෙන් ඒවායේ ගැමිකම සුනු විසුණු වී ගොස් ඇති බැවිනි. එමෙන්ම හලාවත සිට අගනුවර තෙක් වන ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරය සේ ජනතාව තුළින් කතෝලික ආගම පදනම් කරගත් වෙනම සංස්කෘතික ලක්ෂණ ඉස්මතුවීම සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට සාපේක්ෂව ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණික ක්‍රම එක් වීම ද මෙම සමාජ පරිණාමයට හේතු වන්නට ඇත.

මෙවන් තත්වයක් යටතේ ශ්‍රී ලාංකිය ජනතාවගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජීවන රටාව වෙනස් වීම සේම මෙරට මාර්ග සහ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණුවීම සේම අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් වල ව්‍යාප්තියකුත් සමඟ නූතනයේ ව්‍යවහාර වන ‘ගොඩේ’ කම සහ ‘ඩොටේ’ කමේ අගය;ප්‍රමිතිය ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙනු නිසැක ය. එම තරගය බොහෝ විට හාවාගේත්, ඉබ්බාගේත් රේස් එකක් වීමට ද බැරිකමක් නැත.මා එසේ පවසනුයේ ඉහත සඳහන් සරසවි සිසුවාගේ ප්‍රකාශයට පදනම් වූ ගල්ගමුව ප්‍රදේශයේ තරුණ ප්‍රජාව තුළ තොරතුරු තාක්ෂණික හැකියාව සහ ඉංග්‍රීසි භාෂා දැනුම ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වීම මත ඔවුන් අප බොහෝ දෙනකු නොසිතන වේගයකින් සමාජයීය වශයෙන් නවීනත්වය කරා එළඹෙමින් හිඳින බැවිනි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය