සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කොට තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.සුදු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 03 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල්350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබේ.පසුගිය දිනවල දිවයින පුරා සීනි හිඟයක් ඇති වී තිබූ අතර ඊට හේතු වශයෙන් සිල්ලර වෙළඳුන් පවසා සිටියේ දැනට පවත්නා සීනි තොග මිල ගණන් අනුව ඉහත සඳහන් මිල ගණන් යටතේ සීනි සිල්ලරට අලෙවි කිරීමෙන් කිලෝවකට රුපියල් දහයකට වැඩි පාඩුවක් විඳීමට සිදුවන බවකි.