ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය.
නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු ඇත.
සමහර රෝගවල ලක්ෂණ, ශරීරය දෙස බලා හඳුනා ගන්නට හැකිවන අවස්ථා තිබේ. නමුත් මේ බැලූ බැල්මට දකින දේ නොවේ. එලෙස ශරීරය දෙස බලා කිසියම් රෝගයක මූලික රෝග ලක්ෂණ යම් තාක් දුරකට හෝ හඳුනා ගැනීමට නම් හොඳින් ශරීරය පරීක්ෂා කර බලන්නට සිදුවේ. නැතහොත් තවත් කෙනෙක් හා සංසන්දනය කරන්නට ද සිදුවිය හැකිය.
අපි මෙය තවත් සවිස්තරව විමසා බලමු.
යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔබේ ශරීරය කෙට්ටු වීමට පටන් ගෙන තිබෙන විට ඔබට හිතවත් පිටස්තර අයෙකු ඒ බව ඔබට පැවසීමට පුළුවන. නමුත් ඔබ ඊට ටික කලකට පෙර බර කිරා බලා තිබුණේ නම් මෙය සැලකිලිමත් විය යුතු තරමේ බර අඩු වීමක්ද යන්න පිළිබඳව ඔබටම නිශ්චය කර ගත හැකි වනු ඇත.
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ කායිකව ඇතිවන වෙනසක් වෛද්‍යවරයෙකුට මෙන් පහසුවෙන් හඳුනා ගැනීමට, වෛද්‍ය විද්‍යාව නොදත් සාමාන්‍ය කෙනෙකුට අසීරු ය. නමුත් ඔබට දැනෙන වෙනසක් පිළිබඳව ඔබ පරීක්ෂාකාරී ව සිටින්නේ නම් , ඒ වෙනස පිළිබඳව ඔබට කළ හැකි සුළු පරීක්ෂණ කර බලන්න. එය ඔබේ රෝගය පිළිබඳව නිශ්චය කර කරගැනීමට වෛද්‍යවරයාට එය පහසුවක් වනු ඇත.
අපි දැන් මෙබඳු පරීක්ෂණ කිහිපයක් පිළිබඳ විමසා බලමු.

ඇස් පරීක්ෂා කිරීම

අප බිම බලා සිටියදී ඇසේ උඩ ඇති පිහාටුව ඉහළට එසවූ විට සුදු ඉංගිරියාව හොඳින් දැක බලාගත හැකිය. මෙම පරීක්ෂාවේ දී සුදු ඉංගිරියාව සුදු පැහැයෙන් පැවතිය යුතුවේ. යම් හෙයකින් එය කහ පැහැයෙන් යුතු නම් රෝගී තත්ත්වයක් විය හැකිය. මෙම පරීක්ෂණය කළ යුත්තේ දිවා කාලයේ ය.
ඇස එක පැත්තකට හරවා බලන විට යම් ගැස්සීමකට ලක් වනවා නම් එය ද යහපත් නොවේ.
යමක් දෙස බලන විට එය දෙකක් වී පෙනෙනවා නම් එයද දෝෂයකි.
එසේම ඇසේ කළු ඉංගිරියාව නැතහොත් ඇහේ බබා කළු පැහැයෙන් තිබිය යුතුය. වියපත් වීමත් සමග කළු පැහැය වෙනසක් ඇත්නම් එය ඇසේ සුද වීමට පුළුවන.
එක් ඇසක් වසාගෙන අනෙක් ඇසෙන් ඉදිරිය බලන විට එම තනි ඇසට නාසයේ පැත්තක් සහ කනේ පැත්තක් දර්ශනය විය යුතුය .නමුත් අක්ෂි දෝෂයක් නැත්නම් ඔබේ කන දෙසට වන්නට ඇති දර්ශන පථය නාසය පැත්තට වඩා විශාල වපසරියක් විය යුතුය. එසේම අන්ධකාර බවක් නොපැවතිය යුතු වේ.
කොළ පැහැයෙන් සහ රතු පැහැයෙන් අඳින ලද ඉරි දෙකක් වෙන් වෙන් වශයෙන් හඳුනා ගත නොහැකි නම් එය ද රෝගී තත්ත්වයකි.

කන පරීක්ෂාව

කන් පෙත්ත මඳක් පසුපසට ඇද්ද විට කන අභ්‍යන්තරය කන්බෙරය දක්වාම හොඳින් පෙනිය යුතුය. මෙලෙස පරීක්ෂා කරන විට වෙනස් යමක් ඇත්නම් නිරීක්ෂණය කරගත හැකි වේ. කන් දෙකට ඇසෙන ශබ්ද එක් කනකට අඩුවෙන් හා අනෙක් කනට වඩාත් තීව්‍රතාවයකින් නොතිබිය යුතුය. කන් දෙකේම ඇසීම සමාන තත්ත්වයෙන් තිබිය යුතුවේ.

දිව පරීක්ෂාව

දැන් එහි පැවතිය යුතු රත් පැහැය අඩුවී ලා රෝස පාට වී ඇත්නම් හෝ දම් පැහැ වී ඇත්නම් එය වෙනසකි. දිවේ තෙත ස්වභාවය වෙනුවට වියළි බවක් දැනේ නම් ඒ පිළිබඳව ද ඔබ සැලකිලිමත් විය යුතුය. මුඛය තුළ සුදු පැහැ පැල්ලම් හෝ කවර ආකාරයේ වුවද තුවාලයක් නොතිබිය යුතු වේ.

නියපොතු පරීක්ෂාව

අත්වල නිය ඉදිරියට වක්‍ර වී ඇත්නම් එය ගැටලුවකි. ඔබේ අත්වල නිය එලෙස වක ගැසී ඇතිදැයි පරීක්ෂා කර බලන්නේ මෙසේය. අතේ මාපට ඇඟිල්ලේ නියපොතු හොඳින් හරවා නියපොතු දෙක එක මත එක තබන්න. එවිට නිය අග එකට එක ගැටීම සිදු වුවද නියපොත්ත මුල එකිනෙක ස්පර්ශ නොවිය යුතුය.

නාඩි පරීක්ෂාව

නාඩි හඳුනා ගන්නේ මෙසේය.
අතේ මැණික් කටුව ඉදිරිපස මාපට ඇඟිල්ල පා මුල කෙළවරටම ඇඟිල්ල ගෙන යන විට ඔබට කුඩා අස්ථියක් හමුවේ. එම අස්ථියට පෙරාතුව හමු වන වලක් වැනි පහත් ස්ථානයේදී ඔබට නාඩි හසු කර ගත හැකිය. නාඩි වැටීම තත්පර කටුවේ මෙන් රිද්මයානුකූලව යම් පිළිවෙළකට සිදුවන්නේදැයි ඔබටම හඳුනාගත හැකිය.

පියයුරු පරීක්ෂාව

වාඩි වී සිට පියයුරු පරීක්ෂා කිරීමේදී ඇතුළත ගැට වැනි ස්වභාවයක් ඇති දැයි ඔබටම හඳුනාගත හැකිය. පියයුරුවල සම දොඩම් ලෙල්ලක මෙන් තිත් ස්වභාවයකින් යුතු නම් ඇතුළතින් තදට යමක් හසුවනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය.

පෙනහලු වල ස්වභාවය

පහත බලාගෙන හුස්මක් ගන්න. පපුවේ වම්පස මෙන්ම දකුණු පස ද එකම ප්‍රමාණයකින් එස විය යුතුය. එය පරීක්ෂාකර බලන්න.

කොඳු ඇට පෙළේ වෙනස්කම්

අපේ පිටකොන්ද වක ගැසෙන්නේ ඉදිරියට පමණි. එහෙත් යම් පැත්තකට වක ගැසෙනවා නම් එය රෝගී තත්වයකි. කොඳු ඇට පෙළ ඉහළ සිට පහළට ඇඟිල්ල ගෙන යන විට වමට හෝ දකුණට වක් බවක් නොතිබිය යුතුය.

පාදවල සහ ඇඟිලිවල ඇති වන වෙනස්කම්

පාදවල නහර ගැට ගැසී ඇත්නම් සිටගත් විට පාදවල පිටුපසින් එය දැක ගත හැකිය. වළලුකර ඉදිමී ඇත්නම් එයද යම් රෝගී තත්ත්වයක ඉඟියකි.
යටි පතුල්වල තුවාල සමහර විට දැනෙන්නේ නැත. ඒ සඳහා පතුල් හොඳින් පරීක්ෂාකර බලන්නට සිදු ය්වේ. පාදවල ඇඟිලි ඈත් කර බැලූ විට කරු අතර සුදු පැහැ වී ඇත්නම් දියවැඩියා පරීක්ෂණයක් අප්‍රමාදව කළ යුතු වේ.
සෘජු ඉරක් දිගේ ඇවිද යාමේ හැකියාවක් තිබේදැයි බලන්න. ඇඟිලිවලින් සිට ගන්නා විටත් සමතුලිත බව රැක ගන්නට ඔබට හැකි විය යුතුය.

වසා ගැටිති සහ උදර පරීක්ෂාව

සිටගෙන කහින විට උදර ප්‍රදේශයෙන් ගෙඩියක් වැනි යමක් පිටතට නෙරා ඇතිදැයි බලන්න. හර්නියා තත්ත්වයක් එලෙස හඳුනාගත හැකිය.
බෙල්ල ඉදිරිපසින් යම් නෙරීමක් හඳුනාගත හැකි නම් එය වායු ගෙඩියක් වන්නට හැකියාව ඇත.
බෙල්ල දෙපසින්, කිහිලි සහ ඉකිලි ප්‍රදේශවලින් සහ වැලමිට පිටුපස ඉහළට වන්නට ඇති වසා ගැටිති තුවාලයක් නැතිව ඉදිමී ඇත්නම් යම් ගැටලුවක් බව දත යුතුය.
අපට වැළඳෙන අප්‍රමාණ රෝග මෙවැනි සුළු පරීක්ෂණයකට හසුකර ගත නොහැකි බව සැබෑ ය. නමුත් මෙවැනි සුළු පරීක්ෂාවක් කර ගන්නට ඔබට අමතර වෙහෙසක් හෝ මුදලක් දරන්නට සිදු නොවන නිසා මේ දේවල් කර බැලීම ඉතා වැදගත් බව අවධාරණය කරවමු. ඒ අනුව යම් වෙනසක් හඳුනා ගතහොත් නොපමාව වෛද්‍යවරයකු වෙත යාම තුළින් ඔබට කල්තබා ප්‍රතිකාර ගන්නට හැකි වීමේ වාසිය හිමිවේ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

විනිවිද සායනය