ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු සූදානම් වෙති. එම දෝෂාභියෝග ක්‍රියාවලියේ මුල් අදියරක් සඳහා මේ වනවිට ඔවුන් මුලපුරා තිබේ. දෝෂාභියෝගය ගෙන ඒමට කලින්, බයිඩ්න්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් දෝෂාභියෝග විමර්ශණයක් නිල වශයෙන් ආරම්භ කිරීමට ඔවුන් කොංග්රස් මණ්ඩලයට යෝජනාවක් ගෙනැවිත් තිබිණි. එම යෝජනාව පසුගිය බදාදා (13) වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
ඇමරිකාවේ විරුද්ධ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය මෙම යෝජනාව ගෙන ආවේ කොංග්‍රසයේ පහළ මන්ත්‍රණ සභාව වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ යි. මේ වනවිට එහි බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කරගෙන සිටින්නේ බයිඩ්න්ගේ ඩිමොක්රටික් පක්ෂය නොව රිපබ්ලිකන් පක්ෂය යි. පසුගිය ජනාධිපතිවරණයේ දී බයිඩ්න්ගේ ප්‍රතිවාදියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පක්ෂය ද එය යි. ඉහත කී දෝෂාභියෝග විමර්ශණ යෝජනාවට පක්ෂව ඡන්ද 221 ක් ලැබී තිබූ අතර විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 212 ක් පමණි.
රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග විමර්ශණයක් පවත්වන්නේ අල්ලස් සහ දූෂණ චෝදනා පදනම් කර ගනිමිනි. මෙම චෝදනා අදාල වන්නේ බයිඩ්න්ගේ ජනාධිපති ධුර කාලයට නොව ඔහු ඇමරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළ කාලයට ය. ඔහු එම ධුරය හෙබවූයේ 2009 සිට 2017 දක්වා යි. ඒ හිටපු ජනාධිපති බැරක් ඔබාමා යටතේ යි.
බයිඩ්න් පවුල සහ ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් මෙම කාලය තුළ විවිධ පාර්ශ්වවලින් දූෂිත ආකාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 24 කට වැඩි වත්කම් ලබාගෙන ඇති බවට රිපබ්ලිකන් මන්ත්‍රීවරු චෝදනා කරති. චීනය, රුසියාව, යුක්රේනය, කසකස්තානය, රුමේනියාව වැනි රටවල පාර්ශ්වවලින් මේ ආකාරයට වත්කම් ලැබී ඇති බව ඔවුහු පවසති. බයිඩ්න් සමග සබඳතා ඇති කර දීම සඳහා බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න් විවිධ පාර්ශ්වවලින් මුදල් ලබාගෙන ඇති බවට ද චෝදනා නැගේ. එමෙන්ම බයිඩ්න්ගේ නම සහ බලය පාවිච්චි කරමින් ඔහුගේ ඥාතීන් වැනි අය නොයෙකුත් වාසි ලබා ගෙන ඇතැයි යන්න තවත් චෝදනාවකි. හන්ටර් බයිඩ්න්ගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමග ජෝ බයිඩ්න් සබඳතා පවත්වා ඇති බවටත්, ඔවුන් සමග භෝජන සංග්‍රහවලට සහභාගි වී ඇති බවටත් රිපබ්ලිකන් මන්ත්‍රීවරයකු වන ජේම්ස් කොමර් චෝදනා කර තිබිණි.
කෙසේ හෝ වේවා, රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් මේ ආකාරයෙන් චෝදනා කළත් ඒවා සනාථ කිරීමට තරම් සාක්ෂි තවමත් ඔවුන් සතුව නැති බව සඳහන් වේ. නමුත් ඉහත කී දෝෂාභියෝග විමර්ශණය පැවැත්වෙද්දී සමහර විට සාක්ෂි ඉදිරිපත් වීමට ඉඩ තිබේ.
අවසන් දෝෂාභියෝගය ඉදිරිපත් වනුයේ මෙම දෝෂාභියෝග විමර්ශණයෙන් පසුව යි. එය ඉදිරිපත් කරන්නේ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් ය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී එම දෝෂාභියෝගය සම්මත වුවහොත් ඊළඟට එය කොංග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ය. එහි දී දෝෂාභියෝගය පිලිබඳ විභාගයක් පැවැත්වෙයි. එම විභාගයෙන් පසු එය සම්මත වීමට නම් තුනෙන් දෙකක බහුතරයක් ලැබිය යුතු වේ.
ජනාධිපති බයිඩ්න්ට එරෙහිව මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය ආරම්භ වී ඇති කාලය විශේෂ වැදගත්කමක් උසුළයි. ලබන වසරේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර තමා ඊට ඉදිරිපත් වන බව බයිඩ්න් මේ වනවිට ප්‍රකාශ කර තිබේ. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මෙම දෝෂාභියෝග ක්‍රියාදාමයෙන් බලපෑමක් එල්ල වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස යි. දෝෂාභියෝගය සාර්ථක නොවුණත් මෙම බලපෑම ඇති වනු ඇති බව ඔවුන්ගෙන් විශ්වාසය වී තිබේ. රිපබ්ලිකන් පක්ෂයේ අරමුණ ද ජනාධිපතිවරයාගේ මීළඟ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එබඳු බලපෑමක් එල්ල කිරීම ම විය හැකිය.
බයිඩ්න් නැවත ජනාධිපති පදවියට තරග කිරීම ගැන දැනටමත් යම් යම් පාර්ශ්ව විරෝධය දක්වයි. එම විරෝධයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඔහුගේ වයස යි. මේ වනවිට 81 වැනි වියෙහි පසුවන බයිඩ්න් ගේ වයස ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙද්දී 82 ක් වනු ඇත. යම් හෙයකින් ඔහු නැවත ජනාධිපති පදවියට පත් වුවහොත් එම ධුර කාලය අවසන් වනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් වෙයි. මෙම තත්ත්වය තුළ බයිඩ්න් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඩිමොක්රටික් පක්ෂයේම ඇතැමුන් පවා විරුද්ධත්වය පළ කර තිබේ.
මේ අතර තමාට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය දියත් කර ඇති දෝෂාභියෝග ක්‍රියාදාමය ගැන බයිඩ්න් ද අදහස් දක්වා තිබිණි. තම විරුද්ධවාදීන් තමාට බොරුවලින් පහර දීමට පටන්ගෙන ඇතැයි ඔහු කියයි. “ඇමරිකානු ජනතාවට වුවමනා වන්නේ කොංග්‍රසයේ සිටින සිය නියෝජිතයන් රටට සහ ලෝකයට වැදගත් වන ප්‍රමුඛතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු දැකීමටයි. එහෙත් එවැනි හදිසි අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කරනු වෙනුවට මෙම මන්ත්‍රීවරුන් පදනමක් නැති දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් කාලය නාස්ති කිරීමට තෝරාගෙන තිබෙනවා. මේ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි නැති බව කොංග්‍රසයේ සිටින රිපබ්ලිකන් මන්ත්රීවරුන්ම පවා දන්නවා” ජනාධිපතිවරයා සඳහන් කරයි.
කෙසේ හෝ වේවා, බයිඩ්න්ට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වුවත් ඔහු එයින් ජය ලබනු ඇත. මන්ද යත් ඇමරිකානු කොංග්‍රසයේ සෙනෙට් මන්ත්‍රි මණ්ඩලයේ බලය හොබවන්නේ ඔහු අයත් වන ඩිමොක්රටික් පක්ෂය බැවිනි. බයිඩ්න්ට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සෙනෙට් මණ්ඩලයේ දී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වනු ඇතැයි කිසිසේත් සිතිය නොහැක.
නිහාල් පීරිස්