මින්නේරිය ජාතික වනෝද්‍යානය කරා පැමිණෙන දෙස් විදෙස් සංචරකයන්ගේ නෙත පින වූ එක් විශේෂිත දර්ශනයක් පිළිබඳ මාධ්‍ය ඔස්සේ නිතර කතා කරනු දක්නට ලැබිණි. ඒ අලි මවකට උපන් නිවුන් පැටවුන් දැකබලා ගැනීමය.
වසරකට වරක් මුළු අලි රංචුවම මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් අතර සිටින සුරතල් නිවුන් පැටවුන් දෙදෙනා සියලු දෙනාගේම ආදරණීය නිරීක්ෂණයක් බවට පත් විය.
වාර්තාගත නොවූ සිදුවීම් වනාන්තරය මැද සිදුවන්නට ඉඩ ඇති මුත් සාමාන්‍යයෙන් අලි මවකට නිවුන් පැටවුන් බිහිවීම 1% ක අවස්ථාවක් වැනි ඉතා විරල සිදුවීමකි.
මේ නිවුන් පැටවුන් දෙදෙනා මුලින්ම නිරීක්ෂණය කොට ඔවුන් නිවුන් පැටවුන් බවට තහවුරු කෙරුණේ 2020 ජූලි 6 වැනිදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසිනි.
පිරිමි සහ ගැහැනු පැටවුන් ලෙස ඔවුන් බිහිව සිටි අතර ‘භාතිය‘ ලෙස පිරිමි පැටවා ද, ‘භාග්‍යා‘ ලෙස ගැහැනු පැටවා ද නම්කෙරුණු අතර මව ‘බෙරන්ඩීන්‘ ලෙස නම්කරනු ලැබිණි.
එතැන් පටන් ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිරන්තරව සිදුකෙරුණි.
ඔවුන් වඩාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට නිතර වාර්තා කෙරුණත් 2020 දෙසැම්බර් මාසයෙන් පසු ගැහැනු පැටවා වූ ‘භාග්‍යා‘ මේ අලි රංචුව තුළ දකින්නට නොමැති වීම ඛේදජනක සිදුවීමක් විය.
අලි මව්වරුන්ට සෑහෙන තරම් ආහාර නොමැති වන විට පැටවුන්ට දෙන්නට තරම් ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් ඔවුන්ගේ සිරුරේ නිපදවෙන්නේ නැත.
සාමාන්‍යයෙන් අලි පැටවුන් වසරක පමණ කාලයක් සිය මවගෙන් කිරි උරා බොයි. වෙනත් ආහාර සඳහා යොමුවන්නේ ඉන්පසුවය. වෙනත් ආහාර ගන්නට පටන් ගත්ත ද මවට තවත් පැටවකු ඉපදෙන තුරු මවගෙන් කිරි බීම පැටවුන්ගේ සාමාන්‍ය පුරුද්ද බව ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පවසයි. එය ගම්බද මිනිස් සමාජයේ ද දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි.
‘භාග්‍ය‘ පැටවා දකින්නට නොලැබීමේ ඛේදජනක කාරණය පසුපස ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැති නිසා නිරාහාර තත්ත්වයට පත් වූ මවගෙන් ඇති තරමට කිරි නොලැබීම නිසා ඇය මිය ගියේ ද යන ගැටලුවය.
එසේ වූවා නම් ප්‍රමාණවත් ආහාර නොලැබීමේ ගොදුරු බවට පත් වූ මුල්ම අලි පැටවුන් ලෙස වාර්තාවන්නේ ඔවුන් ය. එයින් මතුවන අනෙක් ඛේදජනක කාරණය වන්නේ අලින්ට ආහාර සඳහා ප්‍රමාණවත් තණබිම් හිඟවෙමින් පවතිනවා ද යන්න ය.
මේ නිවුන් ඇලි පැටවුන් දෙදෙනා මින්නේරිය වැව් ප්‍රදේශයේ දී අවසන් වරට නිරීක්ෂණය කොට ඇත්තේ 2020 දෙසැම්බර් 22 වැනිදා ය. අලි මවකට නිවුන් පැටවුන් බිහිවීම ඉතා විරල සිදුවීමක් වන බැවින් පළමු මාස 6 ඉතාමත් තීරණාත්මක ය. නමුත් පැටවු දෙදෙනා සහ මව මේ වන විට ඒ තීරණාත්මක සමය ගතකොට අවසන් ය.
එසේ නම් ‘භාග්‍යා‘ට සිදුවන්න්ට ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ ආචාර්ය පිලපිටිය මහතාට ඇත්තේ ගැටලුවකි. අලි මව වූ ‘බෙරන්ඩීන්‘ පළපුරුදු කෙනරකි. මේ ඇය මවක් බවට පත් වූ පළමු අවස්ථාව නොවේ.
ඇයට මේ වන විට වසර හතරක් පමණ වයසැති පිරිමි පැටවකු සිටියි. සාමාන්‍යයෙන් අලි රංචුවක සැබෑ මවට අමතරව පැටවුන්ගේ ආරක්ෂා සහ රැකවරණය පිළිබඳ අනෙක් ගැහැනු සතුන් ද දැඩි සැලකිල්ලක් දැක්වීම සාමාන්‍ය කාරුණයකි. එවන් පසුබිමක් තුළ භාග්‍යාට අත්වූ ඉරණම කුමක්ද?
ඇය වගා ළිඳකට වැටුණාද යන සැකය පහළ වුවත්, එවැනි සිදුවීමක් වාර්තාගත නොවූ බව පිලපිටිය මහතා පවසයි. ගොවීන් ද සාමාන්‍යයෙන් පැටවුන්ට පහර දෙන්නේ නැත. එසේත් නැත්නම් අලි ජාවාරම්කරුවන් විසින් ‘භාග්‍යා‘ පැහැරගනු ලැබුවා ද යන සැකය ද ඇති වෙයි.
සාමාන්‍යයෙන් අලිජාවාරම්කරුවන් කරන්නේ අලි මවට නිද්‍රා ඖෂධ ලබා දී හෝ ඇය මරා දමා හෝ පැටවුන් පැහැර ගැනීම ය. එවැන්නක් කළේ නම් ඔවුන් පැටවුන් දෙදෙනාම රැගෙන යායුතු වුවත් මෙතැන එවැන්නක් ද සිදුව නැත.
‘‘එසේ නම් එලැඹිය හැකි සාධාරණ නිගමනය වන්නේ ප්‍රමාණවත් ආහාර නොලැබීම නිසා ‘භාග්‍යා‘ කුසගින්නේ මිය යන්නට ඇති‘‘ යනුවෙන් ආචාර්ය පිලපිටිය මහතා පවසයි.
මින්නේරියේ අලි පිළිබඳ දත්තමූලයක් (Database) වනජීවී දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ගොඩනැගීම ආරම්භකොට ඇත්තේ ඉතාමත් මෑතකදී වන බැවින් භාග්‍යා හැරුණු විට මේ ආකාරයට කුසගින්නේ මිය ගිය තවත් පැටවුන් සිටීදැයි නිල වශයෙන් තහවුරු කරගැනීමට හැකියාවක් නැතැයි ද ඔහු පැවසුවේ ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක