මුතුරාජවෙල යනු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අභය භූමියකින් යුතු අගනුවරට ආසන්නව පිහිටි ජෛව විවිධත්වයෙන් හෙබි අති විශිෂ්ඨ සමුද්‍රාසන්න ජල ජීවී පාරිසරික කලාපයකි.
නගරයට ආසන්නව පැවැතීම නිසා කූට ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද මෙම වගුරු බිම ගොඩ කරමින් විවිධ ඉදිකිරීම් කර තිබේ. ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරික ඉදිකිරීම් කරගෙන යද්දී සාමාන්‍ය ජනතාව නිවාස හෝ වෙනත් ඉදිකිරීම්වල නියැලුණහ.
මෙම තත්ත්වය හේතුවෙන් දශක කිහිපයක සිට නොයෙකුත් සංවිධානය බිහිවූයේ මුතුරාජවෙල අභයභූමිය රැක ගැනීම වෙනුවෙනි. මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ද මෙහි පෙරමුණ ගෙන සිටිති. විරෝධතා, උද්ඝෝෂණ, පාගමන් හේතුවෙන් මුතුරාජවෙල අභයභූමිය තුළ ඉදිකර ඇති අනවසර සියළු ගොඩනැගිලි ඉවත් කරනා බවට ඒ ඒ කාලවලදී දේශපාලඥයන් ප්‍රකාශ කර සිටිය ද එය ඉටු වුනේ නැත.
2021 ජනවාරි 27 දා බස්නාහිර ආණ්ඩුකාරවරයා විසින් මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ ඇති සියළු පෞද්ගලික ඉදිකිරීම් සහිත ඉඩම් අක්කර 600 රජයට පවරා ගන්නා බවට ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී යෝජනා කළ අතර එය සම්මත ද විය.
මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබී තිබුණ ද ඊට අදාළව විධිමත් පියවර කිසිදු පාර්ශවයක් ගෙන නොතිබුණි.
මෑතකදී හෙක්ටයාර 06 ක් අනවසරයෙන් ගොඩ කෙරුණද කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහිව කටයුතු කළේ නැත. මෙම නිසා අනවසර ගොඩකිරීම් හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනතාව හා ව්‍යාපාරිකයන්ට දිරියක් ලබාදී තිබුනි.
අගනුවරට ආසන්නයේ පවතින මෙම අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත්කිරීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා සඳහන් කර තිබුනි.
ඒ පාර්ලිමේන්තුවේ පැවැති රජයේ ගිණුම් කාරක සභාවට සහභාගී වෙමිනි. එහිදි තවදුරටත් ලේකම්වරයා කියා තිබුණේ අභයභූමිය සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒ සදහා වගකිව යුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කර ඇති බවය. එම කමිටුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා වනජීවි යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන බව ය.
එම කමිටුව බලාත්මක කිරීම සදහා මේ වන විට සාකච්ඡා පවත්වා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බැවින් එය අනුමත වීමත් සමග සියළු කටයුතු ආරම්භ කළ හැකි බව ද ලේකම්වරයා කියා තිබේ. මෙම කමිටුවේ සහායට පරිසර සංවිධානවල නියෝජිතයන් ද සම්බන්ධ කර ගන්නා බවට ද ඔහු සඳහන් කරයි.
කෙසේ නමුත් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ගැන ද රාජ්‍ය ගිණුම් කාරක සභාව ප්‍රශ්න කර ඇති අතර ක්‍රියාත්මක නොවීමෙන් අනවසර ඉදිකිරීම් දිරි ගන්වා ඇති බවද ප්‍රකාශ කර තිබේ.
1990 ඔක්තෝම්බර් 15 වන දින ශ්‍රී ලංකාව එළැඹි රැම්සා සම්මුතියට අනුව මුතුරාජවෙල තෙල්බිම් කලාපය රැම්සා තෙත් බිමක් ලෙස ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සහ එය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමේ වැදගත්කම ගැන ද මෙම කමිටුවේ අවධානය යොමු ඇත. 1996 අංක 947/13 දරන මුතුරාජවෙල අභයභූමියක් ලෙස නම් කරන ලද ගැසට් පත්‍රය අනුව මෙම අභය භූමියේ සීමා මායිම් නැවත ලකුණු කිරීම මේ වන විට ආරම්භ කොට ඇති බව ද නිලධාරීන් විසින් කමිටුවට දැනුම් දී තිබේ.
මුතුරාජවෙල අභය භූමිය තුළ පවතින අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් පවරා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා නාගරික සංවර්ධන පනත භාවිතා කිරීමේ ශක්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කොට ඇත.
ආණ්ඩුවේ පැහැදිලි අරමුණ පිටතට පැමිණෙන්නේ එම යෝජනාවත් සමඟය. අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමේ බලය ලබා ගැනීම පෙන්වා මෙතෙක් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වූ මුතුරාජවෙල අභය භූමිය ඔක්තෝම්බර් මස 07 දා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිමක් වන මුතුරාජවෙල අභයභූමිය ද ඇතුළු වන සේ හෙක්ටයාර 5839.4646 ක ඉඩම් කොටස් සංරක්ෂණය, තිරසර භාවිතය හා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරිම සදහා යැයි සඳහන් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන තිබේ.
ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෙක්ටයාර 1926.6012 ක්ද, කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හෙක්ටයාර 1974.6216 ක්ද, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හෙක්ටයාර 1424.7413 ක්ද, ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හෙක්ටයාර 504.5932 ක්ද නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගෙන ඇත.
1980 අංක 2 දරණ නාගරික සංවර්ධන ව්‍යාපෘති (විශේෂ විධිවිධාන) පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල ප්‍රකාරව මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වලකාලමින් මුරාජවෙල පරිසර සංවේදි කලාපය සරංරක්ෂණය, තිරසර භාවිතය හා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම දහා අදාළ පවරා ගැනීම කරනා බවට පිටු 70 කින් යුතු මෙම ගැසට් පත්‍රයේ සඳහන්වේ.මෙසේ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඇතැම් ප්‍රදේශ වල පාරම්පරික මානව ජනාවාස සහ නිශ්චිත ඔප්පු සහිත භූමි හිමිකම් ද තිබේ.
නමුදු පරිසරවේදීන් කියන්නේ වෙනත් කතාවකි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙමගින් මෙතෙක් විවිධ පාර්ශවයන් විසින් සැලසුම් කොට තිබූ පරිසර සංහාරයන්ට නිල වලංගුභාවයක් මෙමගින් ලැබෙන බවකි. “තිරසර භාවිතය” යන වදනට අනුව මුතුරාජවෙල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් පෞද්ගලික ආයෝජනකයන්ට ලබාදීමට අවකාශ ලැබෙන බව ද ඔවුන් කියති.
ඒ අනුව මානව ක්‍රියාකාරකම් ඉහළයෑම තුළ එම පරිසර පද්ධතියේ ජෛවමය අගය ශීඝ්‍රයෙන් පිරිහෙන බව ද පරිසරවේදීහු පෙන්වා දෙති. වනජජීවි පරිසර කලාපයක් ලෙස නිත්‍යානුකූලව තහවුරු කළ ප්‍රදේශයක් නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සාධාරණිකරනය කළ නොහැකි බව ද පරිසරවේදීහු පවසති.
විශේෂයෙන් ඇමරිකානු සමාගමකට කොටස් පවරා ඇති යුග දනවි බලාගාරය ද මුතුරාජවෙල තෙත් බිම් සීමාවේ පිහිටා තිබීම මත පරිසරවේදීන් ගේ සැකය උග්‍ර වී තිබේ.ඔහුන් පවසනුයේ මෙම තෙත් බිමද එම ඇමරිකානු සමාගමේ ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට රජය කටයුතු කරනු ඇතැයි යන්නය.
නාගරික සංවර්ධන අධිකාරියට ඇති බලය ප්‍රකාරව මෙම භුමිය නගරාලංකරණ ව්‍යාපෘතියකට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගත හැකිය.එය ඇතැම් විට විදේශීය ව්‍යපෘතියක් වීමට ද පුළුවන නමුත් අවසානයේ සිදුවන්නේ පෙරටත් වඩා බරපතල ලෙසින් පරිසර පද්ධතිය විනාශ වී යාම පමණකි.
මෙම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් මුතුරාජවෙල රැකගැනීමේ පරිසර සංවිධාන තවමත් නිහඬය. ඒ මන්දැයි අපි නොදනිමු. නමුත් “නංගි පෙන්වා අක්කා දීමේ” හැකියාව මෙම ගැසට් පත්‍රය හරහා රජය සියතට ගෙන තිබේ.
එය මෙම සංවිධාන තේරුම් ගෙන ඇති ද? නැතිද? යන්න අපි නොදනිමු.
ලසන්ත වීරකුලසූරිය