දකුණු ඉන්දියාවේ ‘සී ටැමිල්’ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘සරිගමපා ලිට්ල් චෑම්ප්ස්’ රිියැලිටි තරගයෙන් ප්‍රථම වරට ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික දැරියක වූ කිල්මිසා යාසිසායි උදයසීලන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයක දී ඇති වූ සුහද හමුව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ පුවතක් බවට පත්ව තිබිණි. රටක නායකයකු සහ කුඩා රියැලිටි තරුවක් අතර සිදු වූ හමුව මේ තරම් විශේෂ අවධානයක් ලක් විය යුතු පුවතක්දැයි ඇතමකුට ගැටලුවක් විය හැකි නමුත් එය එසේ කර ගත යුතු නොවේ. සැබවින්ම ගැටලු ඇති කර ගත යුත්තේ ඒ සම්බන්ධව නොවේ.
හින්දි බසින් මුලින්ම විකාශනය වූ ‘සරිගමපා ලිට්ල් චෑම්ප්’ වැඩසටහන ඇසුරින් දෙමළ බසින් නිෂ්පාදනය වන මේ රියැලිටි වැඩසටහනේ තෙවැනි අවසන් මහා තරගය පසුගිය දෙසැම්බර් 17 වැනිදා චෙන්නායි නේරු ගුවන් තොටුපලේ ගෘහස්ථ ක්‍රීඩාංගණ ශාලාවේ දී පවත්වන්නට යෙදුනි. කේරලය, තමිල්නාඩුව, තෙලංගනා, කර්නාටක, ආන්ද්‍රා ආදී ප්‍රාන්ත ගණනාවක දහස් ගණනක් වූ තරගකරුවන් අභිබවමින් කිල්මිසා මේ ජයග්‍රාහී කිරුළ හිමිකර ගත්තාය. කෙසේ නමුත් අප රටේ කිසිදු ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයක මේ පිළිබඳ විශේෂයෙන් කතාබහට ලක්වන බවක් පෙනුණේ නැත. ඒ ඇතැම්විට දේශීය නාලිකා මගින් නිෂ්පාදනය කෙරෙන රියැලිටි වැඩසටහන්වලට ඇති අවධානය මේ නිසා බිඳී යා හැකි යැයි අනුමාන කළ නිසා වන්නට ද පුළුවන. එසේත් නැත්නම් ‘යාපනේ කෙල්ලෙක් ඉන්දියාවේ ගිහින් දිනපු ඒවා අපට වැඩන් නැහැ’ වැනි අදහසක් නිසා වන්නට ද පුළුවන. නමුත් එය එසේ නොවිය යුත්තකි. එය එසේ නොවිය යුතු දෙයක් යැයි තවත් තහවුරු වන්නේ යාපනයේ සංචාරයක යෙදුණු ජනපති රනිල් වික්‍රමසිංහ මේ දැරියට තමා හමුවන්නැයි ඇරයුම් කළ බැවිනි. ජනපතිවරයා මේ දැරියගේ ජයග්‍රහණය පිළිබඳ පෞද්ගලිකව හෝ තමා සමීපයේ සිටින යම් කෙනෙකුගෙන් ලත් තොරතුරක් නිසා හෝ දැනගන්නට ඇති වුවත්, එකී ජයග්‍රහණය රටක් ලෙස කෙතරම් වැදගත් ද යන්න ඉස්මතු කළ යුතුද යන්න මේ හමුවීම මගින් තහවුරු වන කාරණාව වේ. කිල්මිිසා ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙද්දී දකුණේ පැවැත්වෙන රියැලිටි ජයග්‍රහණයක දී හා සමානවම එහි ජනතාව ගුවන් තොටුපල අසල සිට ඇය රිය පෙරහරකින් කැටිව එනු සමාජ ජාලාවල දක්නට ලැබිණි.
නමුත් දකුණේ ජනතාවගෙන් දකුණේ රියැලිටි තරුවකට ලැබෙන ප්‍රචාරය හෝ සැලකිල්ල උතුරේ මේ කුඩා දැරියට ලැබුණේ නැත. තවමත් 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දැරිය දහස් ගණනක් වූ ඉන්දීය තරගකරුවන් අභිබවා ලබා ගත් ජයග්‍රහණය එසේ සුළුකොට තැකිය හැක්කක් නොවේ. අනෙක ඇය මෙහි පූර්ව වට ගණනාවකදී ම ‘ගෝල්ඩන් පර්ෆෝර්මර්’ හෙවත් ‘ස්වර්ණමය ඉදිරිපත් කරන්නා’ යන ගෞරවයට එහි විනිසුරු මඬුල්ල අතින් ලක් විය. දකුණේ බහුතර ශ්‍රී ලාංකිකයන් අතින් ඇය වෙනුවෙන් මගහැරුණු ඒ ගෞරවය, සැලකිල්ල, ඇගයීම ලබා දෙන්නට ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම ප්‍රශංසාවට ලක් කළ යුතු කාරණයක් වන්නේ ඒ නිසාය. ඒ අවස්ථාවේ දී ඇය ලබා ගත් ‘සෙල්ෆි’ ඡායාරූප සඳහා ජනපතිවරයා පෙනී සිටියේ මහත් සෙනෙහස පිරි හැඟීමකින් බව පෙනේ. තමා හමුවන්නට කොළඹ ජනාධිපති මන්දිරයට පැමැණෙන්නැයි ජනපතිවරයා ඉල්ලා සිට ඇති අතර කිල්මිසා දැරිය ඉදිරියේ ඉන්දියාවේ සංචාරයකට සහභාගී වන බැවින් එයින් අනතුරුව නිසැකව කොළඹ පැමිණෙන බව පවසා තිබිණි.
මේ ජයග්‍රහණය සහ එය දකුණේ බහුතරයක් අතින් නොසැලකිල්ලට ලක් වීම මගින් මතුවන කාරණා කිහිපයක්ම තිබේ. එයින් එකක් වන්නේ දෙමළ බස කතා බහ කරන ජනතාව වෙනුවෙන් දේශීය වශයෙන් මෙවැනි රියැලිටි වැඩසටහන් කරන්නට අප රට නාලිකා ඉදිරිපත් නොවීම ය. කිල්මිසා දැරියට සිය දක්ෂතා උරගා බලන්නට ඉන්දියාව කරා යන්නට සිදු වූයේ ඒ නිසාය. ඇතැම්විට සිංහල රියැලිටි තරගවලින් ලබන තරම් ලාභයක් දෙමළ රියැලිටි තරගවලින් ලබා ගත නොහැකි වීම මෙවැනි වැඩසටහන් දෙමළ බසින් නිෂ්පාදනය නොවන්නට හේතු වන්නට පුළුවන. නමුත් දෙමළ බසින් එවැනි වැඩසටහන් නිෂ්පාදනය වූවා නම් දක්ෂතා ඇති දෙමළ ජාතික නවක ගායක ගායිකාවන් බොහොමයක් අපට හඳුනාගන්නට හැකිව තිබිණි. අනෙක දකුණේ සිංහල බහුතරය උතුරේ සහ නැගෙනහිර සිටින දෙමළ බස කතා කරන්නන් සමග අත්වැල් බැඳගන්නට තවමත් පසු බා සිටින බවය. වසර ගණනාවක් ඇදී ගිය යුද්ධය නිසා විරසකව සිටි ජාතීන් දෙක අතර මේ වන විට ඇතිවිය යුතු සංහිදියාව තවමත් ගොඩනැගී නැත. ඒ සඳහා මුලින්ම අත දිගු කළ යුත්තේ බහුතර සිංහලයන් වුවත්, ඔවුන් ඒ සඳහා දෑත දිගු කරන්නට ඉදිරිපත් නොවන බව පෙනේ. මෙවැන්නක් ඒ සඳහා කදිම අවස්ථාවක් කරගන්නට හැකිව තිබුණත් ජනතාව හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ ඒ සඳහා පියවරක් ගත්තේ නැත.
එවැනි සංහිදියාවක් ඇති කිරීම සඳහා මාධ්‍යවල කළ හැකි කාර්යය ඉතා වැදගත්ය. ජනතාව තුළ එවැනි හැඟීමක් ඇතිකොට ඒ සඳහා පෙළගැස්වීමේ වගකීම ඇත්තේ මාධ්‍යවලටය. නමුත් කිල්මිසාගේ ජයග්‍රහණය සමග එවැන්නක් සඳහා පියවර ගන්නට කිසිවකුට උනන්දුවක් ඇතිව තිබුණේ නැත. කෙසේ නමුත් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී ඒ දැරියගේ ජයග්‍රහණය ප්‍රශංසාවට ලක් කිරීම අප නැවත නැවතත් අගය කළ යුත්තේ එබැවිනි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආකාරයෙන් ජාතීන් වශයෙන් බෙදී නොසිට ‘ශ්‍රී ලාංකේය ජාතිය’ ලෙස අපට රටක් ගොඩනැගිය හැකි වන්නේ එවැනි පියවර තුළින් පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක