‘අවලෝකිතේස්වර බෝධිසත්ව‘ යන නාමයෙන් පෙනී සිටිමින්, තමා ගෞතම බුදුන්ගේ පුනරුත්පත්තියක් යැයි පවසමින් කැලණිය පුද බිමේ දී අනුගාමිකයන්ගෙන් වැදුම් පිදුම් ලැබූ මහින්ද කොඩිතුවක්කු නමැත්තා පසුගිය 15 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් විය. මොහු බුදු දහමට අපහාස සිදුවන අන්දමින්, බුදු දහම පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දේශනා ගණනාවක්ම පවත්වා තිබේ. ඔහු අභිනිෂ්ක්‍රමණය කළේ සිය දියණිය ද අපචාරයකට ලක් කරමින් බව ඔහුම පවසයි. ඉතිහාසය පුරා මෙවැනි බෝධිසත්වයින්, බුදුවරුන් පහළ වීම අරුමයක් නොවේ. අප සමාජය ඒ පිළිබඳ දැනුම්වත් වුව ද, අවාසනාව වන්නේ, යමෙක් තමා බෝධි සත්වයෙකැයි හෝ බුදුවරයෙක් යැයි කී පමණික් වැඳ වැටෙන්නට තරම් නොමේරු බුද්ධියක් ඇති මිනිසුන් සිටීමය. සැබවින්ම මෙවැනි බෝධි සත්වයින්, බුදුවරුන් පහළ වීම අප රටට පමණක් සීමා වූ දෙයක් නොවේ. ලෝකයේ විවිධ රටවලින් මෙවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබේ. එහි නවතම සිදුවීම වාර්තා වන්නේ නේපාලයෙනි. එරට පහළ වූ ‘බුද්ධ බෝයි’ නමින් ප්‍රකට තරුණයා පසුගිය ජනවාරි 9 වැනිදා අත්අඩංගුවට ගැනීමත් සමගය.
1989 හෝ 1990 උපන්නේ යැයි සැලකෙන මේ පුද්ගලයා නමින් රාම් බහදූර් බොම්ජොන් ය. තමා ගෞතම බුදුන්ගේ පුනරුත්පත්තියක් බැව් පවසමින් දේශනා පවත්වන්නට පටන් ගත් බැවින් ඔහු වටා මහත් අනුගාමිකයන් පිරිසක් ද එකතු වූ අතර මාධ්‍යවල අවධානය ද දැඩිව ලැබී තිබිණි. කැලණියට පැමිණි බෝධි සත්වයාට චීවරධාරියකු විසින් වඳිනු හා සමානව රාම් බහදූර්ට ද නේපාල බෞද්ධ භික්ෂූන් වන්දනා කරනු ද දක්නට හැකි විය.
2005 වසරේ දී 15 හැවිරිදි වියෙහි පසු වූ රාම් බහදූර් දිනක් එක්වරම පවසා සිටියේ නිවසින් පිටව ගොස් ගසක් පාමුලට වී භාවනා කරන්නැයි දෙවියකු සිහිනෙන් පැමිණ පැවසූ බවය. මේ ප්‍රදේශයේ පැතිර යන කටකතාවලට අනුව මොහු වැඩි කතා බහක්, කෑමක් බීමක් හෝ ගමනක් බිමනක් නොමැතිව මාස දහයක් එක දිගට මේ ගස පාමුල භාවනා කොට තිබේ. අප රටේ ද මෙවැන්නෙක් මේ ආකාරයට හැසිරෙන විට එය නරඹන්නට පැමිණෙනවා සේ නේපාලයේ ද රාම් බහදූර් නොකා නොබී සිදුකරන මෙය භාවනාව නැරඹීම සඳහා දහස් ගණනින් මිනිසුන් පැමිණි අතර ඒ අතුරින් බොහෝ දෙනෙක් මොහුගේ අනුගාමිකයන් බවට ද පත් වූහ. රාම් බහදූර් යනු ගෞතම බුදුන්ගේ පුනරුත්පත්තියක් යැයි ඔවුන් ද විශ්වාස කොට එය සියලු අතර පතුරුවා හරිනු ලැබිණි. නමුත් ඒ අවස්ථාවේ දී එය ප්‍රතික්ෂේප කළ රාම් බහදූර් පැවසූයේ තමා තවමත් එම තත්ත්වයට එලැඹ නැති බවත්, තවමත් සිටින්නේ බෝධිසත්ව තත්ත්වයක බවත් ය. කෙසේ නමුත් නේපාල බෞද්ධ බලමණ්ඩලයේ සභාපති, මහිෂ්වෝර් රාජ් බච්රාචාර්ය පවසා සිටියේ මෙය කෙසේවත් සිදුවිය නොහැකි දෙයක් බවය.
2006 වසරේ මොහු එක්වරම අතුරුදහන් වූ අතර පසුව නැවත් ඔහුව දකින්නට ලැබුණේ 2007 වසරේ දී කත්මන්ඩු අගනුවරින් කිලෝමීටර 100 ක් දකුණින් පිහිටි හලෝරි වනාන්තරයේ අනුගාමිකයන් පිරිසක් පිරිවරා දේශනාවක් පවත්වමින් සිටියදීය.
ඒ වන තෙක් ඔහු පිළිබඳ විශේෂයෙන් සොයා බලන්නට අවශ්‍යතාවක් ඇති වී නොතිබූ අතර මොහු ගම්වැසියන් 17 දෙනෙකුට පහර දුන්නේ යැයි සැල වූ සිදුවීමක් සමග පොලිස් ඇස ඔහු වෙත යොමු වන්නට පටන් ගත්තේය. රාම් බහදූර් පවසා සිටියේ සිය භාවනාවට බාධා කළ නිසා මේ ගම්වැසියන්ට ‘සුළු පහරදීමක් සිදු කළ බවය. නමුත් ගම්වැසියන් පවසා සිටියේ මොහු පොරෝ මිටකින් පහර දී ඔවුන්ව අල්ලා පැය තුනක් පමණ අතපය බැඳ තබා ගත් බවය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් අයකු බරපතළ තුවාල ද ලබා තිබිණි. කෙසේ නමුත් මේ පිළිබඳ විමර්ශනයකට සහභාගී වන්නට ඔහු කැමති වූයේ නැත. “භාවනායෝගියකු මෙවැනි අපරාධයක් සිදු කරයි කියලා ඔබ හිතනවද? මම මොවුනට එරෙහිව දේව නීතියට අනුව දඬුවම් කරනවා.” යැයි ඔහු පවසා තිබිණි.
2012 වසරේ දී මොහුගේ ග්‍රහණයේ සිටි ස්ලොවැකියා ජාතික අනුගාමික කාන්තාවක් පොලිසිය විසින් නිදහස් කරගෙන තිබිණි. මෙයින් සතියකට පසුව මොහුගේ පවුලෙන් ලැබුණු පැමිණිල්ලක් වූයේ මොහු සිය සහෝදර සහෝදරියන් තමාගේ ආශ්රමයට රැගෙන විත් සිරකරගෙන වදහිංසා පමුණුවමින් සිටින බවය. මේ සෑම ක්‍රියාවකටම මොහුගේ අනුගාමිකයන්ගෙන් මහත් සහායක් ලැබී තිබුණු බව ද වාර්තා විය. මොහුගේ දේශනා වාර්තා කිරීමට ගිය පුවත්පත් කලාවේදීන් පස් දෙනෙකුට පහර දුන් මොහුගේ අනුගාමිකයෝ ඔවුන්ට අයත් කැමරා ආම්පන්න ද විනාශ කොට තිබිණි.
2019 වසරේ දී මොහුගේ අනුගාමිකයන් පස් දෙනෙකුගේ නිවෙස්වලින් ලැබුණු පැමිණිල්ලක් වූයේ මේ සියලු දෙනා රාම් බහදූර්ගේ ආශ්‍රමවලින් අතුරුදහන් වී ඇති බවය. ඒ වසරේ දීම පොලිසිය මොහුගේ ආශ්රමයක් සෝදිසි කළ නමුත් ඔහු එහි සිටියේ නැත. 2020 පෙබරවාරි 6 වැනිදා නේපාලයේ සදාහි දිසා අධිකරණය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබිණි. ඊට පසුදාම පොලිසිය මොහුගේ තවත් ආශ්රමයක් සෝදිසි කළ නමුත් ඒ අවස්ථාවේ දී ද ඔහු එහි නොසිටි අතර ඔහුගේ අනුගාමිකයකු වූ ග්‍යාන් බහදූර් බොම්ජින් අත්අඩංගුවට පත් විය.
2018 වසරේ දී මොහුට විරුද්ධව එල්ල වුණු දැඩි චෝදනාවක් වූයේ 18 හැවිරිදි පූජකවරියක් සිය ග්‍රහණයේ රඳවාගෙන වසර දෙකක් තිස්සේ දුෂණය කළ බවය. පසුව එයින් නිදහස් වූ ඇය එරට කාන්තා අයිතිවාසිකම් සංවිධානයක් විසින් පවත්වන ලද ප්රවෘත්ති හමුවක දී පවසා සිටියේ මේ ‘බෝධි සත්වයාගේ’ බිරිඳ මේ බව දැන සිටි නමුත් සිය ‘ධර්මයට’ එයින් කැළලක් වේ යැයි සිතා මෙය බාහිර ලෝකයට වාර්තාවන්නට තිබූ සියලු සියල්ල අවහිර කොට තිබූ බවය. රාම් බහදූර්ගේ අනුගාමිකයන් පැවසූයේ මේ පූජකවරිය සොරකමකට හසු වී ආශ්රමයෙන් පළවා හරිනු ලැබූ තැනැත්තියක් බවය.
අවසානයේ නේපාල පොලිසියේ මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් 2024 ජනවාරි 9 වැනිදා මොහු සිය ආශ්රමයක් වූ බුදානිකාන්ත් නම් ස්ථානයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගනු ලැබිණි. මේ ආශ්රමයේ තිබී ලෝකයේ විවිධ රටවලට අයත්, නේපාල මුදලින් රුපියල් මිලියන 33ක් වටිනා (ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 ක් පමණ) මුදල් නෝට්ටු සොයා ගන්නට හැකි විය. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මොහු වහලයෙන් පැන යාමට ද උත්සාහ කොට ඇති බව වාර්තා විය. මුදල්වලට අමතරව ලැප්ටොප් දෙකක්, අසැබි සඟරා, ජංගම දුරකතන 14 ක් සහ විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් ද සොයා ගන්නට හැකි වී තිබිණි.
මේ තොරතුරු අනුව අප රටේ හෝ ලෝකයේ කුමන රටක හෝ බෝධි සත්වයකු, ගැලවුම්කරුවකු යැයි පවසමින් අනුගාමිකයන් රැස්කරගන්නා පුද්ගලයන් අතර ඇති සමානකම් මැනවින් පැහැදිලි වෙයි. මොවුන්ට බෝධිසත්ව ගුණ හෝ වෙන යම් බලයක් හෝ නැත. ඇත්තේ ප්‍රතිකාර ලබා ගත යුතු මනෝව්‍යාධියක් පමණි. නමුත් විචාරයක් නැති ජනතාවක් සිටින රටක මෙවැනි මානසික රෝගීන්ට වැජඹෙන්නට හැකියාව ලැබී තිබේ. ලෝකය පිළිබඳ යාවත්කාලීන දැනුමක් නොමැති, මානසික සිත්තැවුල්වලින්, ආර්ථික ගැටලුවලින් හෙම්බත් වූ මිනිසුන් පහසුවෙන් ගොදුරු කර ගැනීමට මොවුනට හැකිය. ඉදිරියේ දී තව තව බෝධි සත්වයින්, ගැලවුම්කරුවන් බිහි විය හැකිය. එබැවින් මනා සිහිබුද්ධියකින් විචාරයකින් යුතුව ජීවත්වන්නට අවශ්‍ය කාලය එලැඹ තිබෙන බැව් පැවසිය යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක