තවත් දැවන්තයෙක් නික්ම ගියේය

 

මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ගේ අභාවය මෙරට පුරාවිද්‍යා ක්ශේත්‍රයේ එක යුගයක සමාප්තිය සනිටුහන් කළේය. අප තරුණ කාලයේ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ ඉහළින් වැජඹුණු දැවැන්තයන් පස් දෙනා අතරින් අවසානයට නික්ම ගියේ එතුමාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, පරණවිතානයන්ගෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පදවිය හෙබවූ පී.එල්. ප්‍රේමතිලක, සංස්කෘතික ත්‍රිකෝණයේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා සහ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යඥයෙකු ලෙස කීර්තියක් දිනාගත් ආචාර්ය සිරාන් දැරණියගල එම දැවැන්තයන්ගේ පරපුර නියෝජනය කළහ. ඔවුන්ගේ දැනුම් සම්භාරය, කීර්ති කදම්භය, මහඟු සේවාව සහ ඉහළ සමාජ පසුබිම අනුව මේ පස් දෙනා වෙනම කුලකයකට අයත් පුරාවිද්‍යාඥයෝ වූහ. මෙරට පුරාවිද්‍යාවේ හැඩගැස්ම කෙරේ ඔවුන්ගේ බලපෑම අතිවිශාල විය. ඔවුන්ගෙන් පසු අද මෙරට ඇත්තේ ඊට ඉදුරාම වෙනස් පුරාවිද්‍යාවක් සහ පුරාවිද්‍යාඥයන් පිරිසකි. මා ද ඇතුලත් ඒ පිරිස සහ ඔවුන්ගේ පුරාවිද්‍යාව පිළිබඳව වෙනම කතා කළ යුතුව ඇත.

මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න අපට වැදගත්වන්නේ පූර්ව ඓතිහාසික ( Proto Historic) යුගය පිළිබදව ඔහු කළ පුරෝගාමී අධ්‍යයන නිසාය. මෙගලිතික සුසාන, කාල රක්ත භාජන සහ මුල් ඓතිහාසික යුගයේ සම්පත් පරිභෝජනය අළලා ඔහු කළ පර්යේෂණ මෙරට පුරාවිද්‍යාව නව මාවතකට ගෙන ගියේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙස ඔහු විශාල ශිෂ්‍ය පරපුරක ගුරුවරයාද විය. පසු කාලීනව ලැබුණු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු නිසා පුරාවිද්‍යා කටයුතු වලින් ද දිවයිනෙන් ද ඈත්ව සිටියත් ඔහු ඔහුගේ සිසුන් සමඟ තිබූ සම්බන්ධය අත් නොහැරියේය.

මහාචාර්ය සෙනවිරත්න ආදි ආනන්දීයෙක් විය. ඔහු ආනන්දයට ගොස් තිබුණේ මා එහි යන්නට බොහෝ කලකට පෙරය. ඔහු එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයාද රගර් කණ්ඩායමේ නායකයා ඔද වී සිට ඇත. පාසැල් අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සදහා දිල්ලි විශ්වවිද්‍යාලයට ගොස් ඇති ඔහු ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ඉහිහාසඥවරියක වන මහාචාර්ය රොමිලා තාපර් යටතේ ආචාර්ය උපාධිය හදාරා ඇත. මා අසා ඇති පරිදි ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳී ඇත්තේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ආචාර්ය උපාධිය හදාරමින් සිටිය දී ය.

මහාචාර්ය සෙනවිරත්න ගැන මා දැනගත්තේ ඒ මුල් කාලයේම දවසක අහම්බෙන් හමුවූ ඔහුගේ පියාගෙනි. ඒ මා උසස්පෙළ විභාගය ලියා විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට බලාපොරොත්තුව සිටි කාලයයි. ආනන්දයේ උසස් පෙළ පන්තියේ සිටි කාලයේ පටන්ම මම විටින් විට මාලිගාකන්දේ මහාබෝධී මන්දීරයට ගිය අතර සිංහල බෞද්ධයා පුවත්පතට පුරාවිද්‍යාවට අදාළ ලිපි ලියමින් සිටියෙමි.
එවකට මහාබෝධියේ පාලකවරයා ලෙස සිටියේ පසුව මා දැනගත් පරිදි සුදර්ශන් සෙනවිරත්නයන්ගේ පියාණන් වූ මේජර් සෙනවිරත්නය. සිංහල බෞද්ධයා කාර්‍යාලයට යායුත්තේ ඔහුගේ කාර්යාල කාමරය අසලිනි. එහි මේජර් සෙනවිරත්නගේ නම දැක්වෙන පුවරුවක් තිබුණු අතර එයට ඇතුළ්වීමට තිබුණේ සැලුන් දොරකි.

අප කිසිදවසක මේ කාමරයට ගොස් නැත. එමෙන්ම මේජර් සෙනවිරත්නව දැක්කේ ද නැත. එහෙත් සැලුන් දොර යටින් එහි මේසය ඉදිරියේ ඉදගෙන සිටින ඔහුගේ ලේකම්වරිය දකින්නට අපි ප්‍රිය කළෙමු. මහාබෝධියට යන අපේ සෙට් එකේ කොල්ලෝ මේ සැලුන් දොර යටින් එබී ඈ දෙස බලති. අප මෙසේ එබී බලන බවත් ලේකම්වරියට ඔච්චන් කරන බවත් සෙනවිරත්න මහතා ඇතැම්විට නො දැන සිටියා වන්නට ඇත.

දවසක් මහාබෝධියට ගොස් එන අතර මේ ප්‍රතාපවත් පුද්ගලයා මට අහම්බෙන් බස්නැවතුමේ දී හමුවිය. අපේ නොහොබිනා වැඩේට දෝස්මුරයක් ලැබෙනු ඇතියි එදා මා සිතේ බියක් ඇතිවිය. එහෙත් ඒ කිසිදෙයක් නැතුව ඔහු ඉතා සුහදව මා සමඟ කතාබහ කළේය. මගේ වතගොත විමසූ ඔහු මා විශ්වවිද්‍යාලයට ගොස් පුරාවිද්‍යාව ඉගෙනීමට බලාපොරොත්තුව සිටින බව අසා තමාගේ පුතාත් පේරාදෙණියේ පුරාවිද්‍යාව උගන්වන බව මට කීවේය. ඔහුට යම් ශ්‍රවණාබාධයක් තුබුණ නිසාදෝ බස් නැවතුවේ සිට ඔහු අහන අහන දෙයට මහ හඬ්න් පිළිතුරු දීමට මට සිද්ධ වුන බව මගේ මතකයේ හොදින් රැදී තිබේ. පසුකලෙක මහාචාර්ය සුදර්ශන් සමඟ ඔහුගේ පියාගෙන් මා ඔහු ගැන මෙලෙස දැනගත් බව කී විට, තමන් පේරාදෙණියට බැදුණේ 1980 බැවින් මේ කතා බහ සිදුවන්නට ඇත්තේ ඉන් පසුව බව ඔහු මට කීවේය. එමෙන්ම ඔහු ඉන්දියානු විශ්වවිද්‍යාලයට ගියේ මහාබෝධි යත් සමඟ තිබුණ මේ සම්බන්ධතාවය නිසා බවත් ඒ පිළිබදව වැඩි උනන්දුවක් තිබුණේ ඔහුගේ මවට බවත් මට දැනගත හැකිවිය.

මහාචාර්ය සෙනවිරත්න මා දැන හදුනාගත්තේ ඊට බොහෝ ‍කාලයකට පසු මා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබද ආචාර්ය වරයෙකුත් වූවාට පසුවය. ඔහු මුලින්ම දුටු දවසත් මට මතකය. ඒ 1986 අප පුරාවිද්‍යා ජාතික සමුළුවේ කටයුතු කරමින් සිටි කාලයේ දවසකය. ඒ එවකට CENTARCH ලෙස හැදින්වූ පසුව PGIAR බවට පත්වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කුඩා කාමරයේදීය. එය එවකට තිබුණේ බෞද්ධාලෝක මාවතේ සංස්කෘතික ත්‍රිකෝණ කාර්යාල පරිශ්‍රයේ කෙළවරට වන්නට පිහිටි කාමරයකය. එක් හවස්වරුවක හදිසියෙන්ම වාගේ එහි ගොඩ වැදුණු මේ කඩවසම් තරුණයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක එවා තිබූ පර්යේෂණ පත්‍රිකාවක යම් සංශෝධනයක් කළයුතු බව කීවේය. ඔහු මා සමඟද කතා කළේය. කතාකළේ කුමක් ගැනදැයි දැන් මතකයේ නැතත් මම “Of course”යැයි පිළිතුරු දුන්නා මට හොදින් මතකය. එමෙන්ම කඩිනමින් පිටව යන අතර ඔහු කළු අව්කණ්නාඩියක් පැළද ගත් ආකාරයත් මගේ මතකයේ රැඳී ඇත.

එදින හෝ ඒ කාලයේ දවසක මහාචාර්ය බණ්ඩාරනායක ඔහුට එහි පැමිණ වැඩකරන ලෙසත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඔහු සලකන බවත් කීවේය.
ඔහු ඊට මද සිනාවක් පෑවා මිස කිසිවක් ඒ අවස්ථාවේ නොකීවේය. එහෙත් පසුව ඔහු පශ්චාත් උපාධ් ආයතනයේ යම් යම් කටයුතුවලට විටින් විට සම්බන්ධ ව්ය. එහි MSc පාඨමාලාවේ දී ඔහු අපට දේශන කීපයක්ද කළේය.දේශන අතර සටහනක් ලියාගන්න ලෙස කියන ඔහු එහි සමහර කරුණු අවධාරණය කරන්නේ ඒ යටින් ඉරක් ඇදගන්නා ලෙස කියමිනි.

1988 දී මහාචාර්ය බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවූ බටහිර ජර්මන් ශ්‍රිලංකා සහයෝගිතා කැණීම් වැඩසටහනට මහාචාර්ය සෙනවිරත්න අධ්‍යක්ෂවරයෙකු ලෙස සහභාගීවීම නිසා ඔහුව සමීපව දැන හදුනාගැනීමට මට අවස්ථව ලැබුණි. මහාචාර්ය බණ්ඩාරනායක සහ ඔහුගේ බිරිඳත් සුදර්ශන් සෙනවිරත්න යුවලත් මුලු පර්යේෂණ කණ්ඩායමත් කැණීම් කළ කාලය තුළ සති ගණනාවක්ම සීගිරි හෝටලයේ නතරව සිටියහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හැදෑරූ එවකට පොළොන්නරුව සංස්කෘතික ත්‍රිකෝණයේ පර්යේෂණ නිලධාරිනියකව සිටි ඉන්ද්‍රාණී ඒකනායක (ඉන්දු) ද මේ කණ්ඩායමේ සිටියාය. ඇය සමඟ එකල ඇතිවූ මිත්‍රත්වය නිසා පසුව ඇය මගේ බිරිඳ බවට පත් වූවාය.
මා සහකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ ඉබ්බන්කට්ටුවේ සහ පිදුරන්ගල කැණීම් සිදුකරනු ලැබීය.
මහාචාර්ය සෙනවිරත්නගේ උනන්දුව තිබුණේ ඉබ්බන්කට්ටුවේ කැණීම පිළිබදව පමණය. මම ජර්මානුවන් සමඟ පිදුරන්ගල කැණීම් කළෙමි. ඉන්දු ද සිටියේ පිදුරන්ගල කණ්ඩායමේය. කණ්ඩායම බෙදනු ලැබුවේ මවිසින් මට අවශ්‍ය ආකාරයටය.

මම කීපවරක්ම ඔහු මහනුවර මූලික අධ්‍යයන ආයතනයේදීද හමුවී ඇත්තෙමි. එක්වරක් අප දෙදෙනා විලියම් සොල්හයිම් සමඟ මහාචාර්‍ය ප්‍රේමතිලකගේ නිවසට ගිය බවත් මහාචාර්ය ප්‍රේමතිලක සුදර්ශන් සෙනවිරත්න සිප වැළඳ ගෙන පිළිගත් ආකාරයත් මගේ මතකයේ තිබේ. තවද මහාචාර්ය ප්‍රේමතිලක අපගේ ජායාරූප කීපයක් ගත් වගත් ඉන් කීපයක් පසු කාලයේ මාවෙත එවූ බවත් මට මතකය .

වරක් මහාචාර්ය සෙනවිරත්නගේ ආරාධනයෙන් මම ඔහුගේ මහනුවර නිවසට ද ගියෙමි. ඉන්දු සහ දියණිය දකින්නටත් ඔහු කැමැත්තෙන් සිටියත් ඔවුන් රැගෙන යාමට අපහසු බැවුන් මම ඔවුන් ඉන්නා ජායාරූප ඇල්බමයක්ද රැගෙන ගිය බවත් තොරතුරු විමසමින් ඔහු එය පෙරලා බලන ආකාරයත් මගේ සිහියට නැගේ. එදා ඔහු සිය මෝටර් රථයෙන් මා මහනුවර නගරයට ගෙනැවිත් ඇරලුවේය. ඒ ඔහුගේ ශවෙරා දියණිය ඉපදුන ලඟදීය. එදායින් පසුව මා ඇය දැක්කේ වසර තිස් ගණනකට පසු ඊයේ සිය පියාගේ දේහය අසළ දී ය.
1991 දී අප ඉන්දියාවේ ඩෙකෑන් කොලීජියේ සිටින කාලයේ දවසක ඔහු එහි පැමිණියේය. අප නැවතී සිටි නිවසට ඔහු ගෙන්වාගෙන අපට හැකි අයුරින් සංඟ්‍රහ කිරීමටද අපි කටයුතු කළෙමු. ෆෝඩ් පදනම මඟින් ලබා දුන් අරමුදල් මත ලංකාවෙන් වෙන්කළ ඉතා අඩු ශිෂ්‍යත්ව මුදලකින් පවුලක් ජීවත්වීමේ අසීරුව තේරුම්ගත් ඔහු ලංකාවට ගිය සැනින් එම මුදළ වැඩි කිරීමට යෝජනා කරන බව කීවේය. එමෙන්ම යම් ආකාරයක වැඩිකිරිමක්ද ඔහුගේ මැදිහත්වීම නිසා සිදුවිය පාකිස්ථනයට ද ගොස් ඉන්දියාවට පැමිණ සිටි ඔහු පාකිස්ථානයේදී උණුසුම් ලෙස පිළිගත් ආකාරය ගැන ඩෙකෑන් විද්‍යාලයීය ආචාර්‍යවරුන් සමඟ පිළිසදරේ යෙදෙන විට කියනු මට මතකය.
ඉන් පසු මෙරටදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී හෝ කොළඹ පැවති පුරාවිද්‍යා සම්මන්ත්‍රණ ආදියේදී කලාතුරකින් අවස්ථාවක හමුවීම හැරුණු විට ඔහු පිළිබදව වෙනත් විශේෂ මතකයක් මට ඇත්තේ 1999 දී අප දෙදෙනාම සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්ෂවරු ලෙස පත් කිරීමේ මතකයය. ආරම්භයේ සිට වසර විස්සක් පමණ වනතුරුම සංස්කෘතික ත්‍රිකෝණ්ස්‍යේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වාත් ජේතවන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ ආචාර්‍ය හේම රත්නායකත් පොළොන්නරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක මහතාත් සංස්කෘතික ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ඉල්ලීම පරිදි ඒවනවිට ඉල්ලා අස්වී සිටියහ. අධ්‍යක්ෂ ජනරාල් ලෙස අලුතින් පත් කළ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා ප්‍රංශයේ තානාපතිවරයා ලෙස පත්ව ගොස් සිටියේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වූ හෙට්ටිපතිරණ මහතා අධ්‍යක්ෂ ජනරාල්වී සිටියේය. එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියාවූ මට ජේතවනාරාමය භාරගන්නා ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න ට පොළොන්නරු ව්‍යාපෘතිය භාරගන්නා ලෙසත් ආරාධනා කරනු ලැබීය. අප මේ ආරාධනය පිළිගත්තත් මහාචාර්ය සෙනවිරත්න මගෙන් පෞද්ගලිකව ඉල්ලා සිටියේ පොළොන්නරුව භාරගැනීමට ඔහු අකමැති බැවින් ඔහුට ජේතවනාරාමය දී මට පොළොන්නරුව භාරගන්නා ලෙසය. මම ද ඊට එක පයින් කැමතිවිමි. ඒ අනුව, 1999 අගෝස්තු 01 වෙනිදා සිට මම විශ්වවිද්‍යාලයේ ආචාර්ය තනතුරට අතිරේකව සංස්කෘතික ත්‍රිකෝණයේ පොලොන්නරු ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා විමි. මහාචාර්ය සෙනවිරත්න ජේතවන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා විය.

පසුව, මට මතක හැටියට 2008 දී පමණ මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න මධ්‍යම සංස්කෘතික අරමුදල හෙවත් සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්විය. ජේතවන ව්‍යාපෘතිය ඔහුගේ සමීපතම ශිෂ්‍යයකු වූ ආචාර්ය පියතිස්ස සේනානායකට බාර දෙනු ලැබීය. මම දිගටම පොළොන්නරුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කටයුතු කළෙමි. එකල මූල්‍ය අර්බුධ නිසා මෙන්ම වෙනත් කරුණු නිසා ත්‍රිකෝණයේ පැවතියේ ඉතා අවාසනාවන්ත තත්වයකය. අධ්‍යක්ෂවරු අතර නිසි සම්බන්ධීකරණයක්ද නොවීය. මේ අතර එක් අවස්ථාවක මහාචාර්ය සෙනවිරත්නගේ මූළිකත්වයෙන් පොළොන්නරුවේ තිබුණු රැස්වීමකදින් මම දැඩි ලෙස විවේචනාත්මකව කතා කළෙමි. මා ඉක්මන්වූවා වැඩිදෝයි ඇතැම්විට මට සිතුනත් ඒ පීඩනය කොහෙන් හෝ පුපුරා යා යුතුව තිබුණි.

ඉන් පසු සැලකිය යුතු යමක් සිදු නොවීය. මහාචාර්ය සෙනවිරත්න ඉන්දියාවේ මහ කොමසාරිවරයා ලෙසත් පසුව බංග්ලාදේශයේ මහකොමසාරිස්වරයා ලෙසත් පත්ව ගියේය. ඊ මේල් මඟින් හෝ දුරකථනයෙන් අප කීප අවස්ථාවක කතාකර තිබුණි . ඒ සෑම අවස්ථාවකම පාහේ ඔහුගේ පැරණි ශිෂ්‍යාවකවූ මගේ බිරිඳ ඉන්දුත් ඔහුගේ දියණියගේ සමවයසේ වූ මගේ ලොකුදුව බීනුගේත් සැපදුක විමසීමට ඔහු අමතක නොකළේය.

2019 අවුරුද්දේ අග භාගයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් “Heritage as Soft Power” නම් තේමාවෙන් මා සංවිධානය කළ අන්තර්ජාතික සම්මන්ත්‍රණයට එතුමා සතුටින් සහභාඟී විය. බංග්ලාදේශයේ මහ කොමසාරිවරයා වූ එතුමාත් නේපාලයේ සහ තායිලන්තයේ තානාපතිවරුන්වී සිටි සෙනවිරතන මහතාත් ජේ.බී. දිසානායක මහතාත් එයට සම්භන්ධකරගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක් විය.සාක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සසංක පෙරේරා එහි මුඛ්‍ය දේශනය කළේය.

අවසන්වරට මට ඔහු හමුවූයේ පසුගිය අවුරුද්දේ අවසන් කාලයේ දවසක පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවති ආචාර්ය අර්ජුන තන්තිලගේගේ තම්බපණ්ණී ග්‍රන්ථය එළි දැක්වූ දිනයේය. .ඒවන විට එතුමා තානාපති සේවයෙන් ඉවත්ව ඉන්දියානු සාගර වටද්දර කලාපීය රටවල සංධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ කටයුතු කරමින් සිටියේය. මම ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව යළි විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියෙමි.අප දෙදෙනා එක ලඟ අසුන් ගෙන සිටි අතර ආගිය තිරතුරුද එතුමන්ගේ නව තනතුරෙන් කළ හැකි කාර්යන් පිළිබදවද කතාකරමින් සිටියෙමු. අප අසළ අසුන් ගෙන සිටි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ට විශාල ගෞරවයක් දැක්වූ අතර සැමවිටම ඔහුව ආමන්ත්‍රණය කළේ ‘සර්’ නමිනි. ඔවුන් දෙදෙනා පෙරසිට හදුනන බව කතා බහින් පෙනුණ ද තමන් දැන් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති බව මහාචාර්යතුමා දැනගත්තේ දැන් කුමක් කරන්නේදැයි ඔහුගෙන් විමසීමෙන් පසුවය.

පසුගිය බදාදා(17) රාත්‍රී මහාචාර්ය සුදර්ශන්ගේ අභාවය මට දැන්වූයේ ඔහුගේ පැරණි ශිෂ්‍යාවක වූද මාගේ මිතුරියක වන ඩොරිස් යාපාය. එය මට අදහාගත නොහැකි ආරංචියක් විය. එක්වරම මට මතක් වුයේ එදිනම උදේ අප ශිෂ්‍යාවක විසින් ඉබ්බන්කට්ටුව පිළිබදව ඉදිරිපත් කළ පර්යේෂණ යෝජනාවලියක දැක්වුන රූපරාමුවක සුදර්ශන් සෙනවිරත්නයන්ගේ ජායාරූපයක් අඩංගුවී තිබූ බවය.ඒ පිළිබදව කිසිදු සංවාදයක් ඇති නොවුනද ඒ රූපයේ සිටි පුද්ගලයා එදිනම අප හැර යතැයි මා හෝ එහි මා සමඟ සිටි මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ද නොසිතන්නට ඇත.

මහාචාර්ය අනුර මනතුංග

පහන් ටැඹ