“බොඩි බිල්ඩින්” වල හොඳ වගේම නරකත් තියනවා 

 

     ශරීරයේ  මස්පිඬු වර්ධනය කර ගනිමින් කායවර්ධන ශිල්පියකු වීමට ඇතැම් තරුණයන් මහත් කැමැත්තක් දක්වනවා. මේ සඳහා ඔවුන්  body building නමින් හඳුන්වන කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. නමුත් මෙම ව්‍යායාම සම්බන්ධයෙන් දැනගත යුතු කාරණා බොහොමයක් තිබෙන බව මේවායෙහි යෙදෙන තරුණ පිරිස බොහෝ විට දන්නෙ නෑ.
     ව්‍යායාම වල හොඳ ප්‍රතිඵල වගේම නරක ප්‍රතිඵලත් තිබෙනවා. ඒ නිසා ව්‍යායාම කළ යුත්තේ අවබෝධයෙන්.
      ව්‍යායාම වර්ග දෙකක් තිබෙනවා. ඒ ස්වායු ව්‍යායාම ( aerobics ) හෙවත්  concentric  සහ නිර්වායු ව්‍යායාම  (Aarobics)හෙවත් eseentric ලෙසින් .
       ව්‍යායාම කළ යුත්තේ මෙයින්  එකක් තෝරාගෙන නොවෙයි. මේ දෙවර්ගයේම එකතුවක් ලෙසිනුයි.
නමුත් කායවර්ධනය ගැන සිතන තරුණ පිරිස නිර්වායු හෙවත් bodybuilding ගැන මිසක්  ස්වායු ව්‍යායාම ගැන උනන්දුව දක්වනවා  අඩුයි.
     සාමාන්‍යයෙන් ව්‍යායාම කිරීම පොදුවේ කාය වර්ධනයට උපකාරී වෙනවා. එමගින් මස්පිඬු ශක්තිමත් වීම, අස්ථි ශක්තිමත් වීම, සන්ධි ශක්තිමත් වීම වැනි ප්‍රතිඵල රාශියක් අත්පත් වන අතර ශරීරයට මනා යෝග්‍යතාවයක් (fitness) ලැබෙනවා. ඒ වගේම හෘදයවස්තුවේ ක්‍රියාකාරිත්වය යහපත් වීම, දියවැඩියා රෝගය පාළනය වීම, අධික රුධිර පීඩනය පාළනය වීම, තරබාරුව වැළකීම, තරබාරුව නිසා හටගත හැකි රෝග වැළකීම, සන්ධිවලට සිදුවන හානිය අඩු වීම ව්‍යායාම නිසා පොදුවේ ලැබෙන වාසි ලෙස දක්වන්න පුළුවන් .
     ව්‍යායාම මගින් මානසිකව ලැබෙන යහපත් ප්‍රතිඵල අතර ප්‍රධානම දෙයක් වන්නේ මානසික ආතතිය අඩු වීමයි. විශාදය අඩුවීමටද ව්‍යායාම මගින් උපකාර ලබාගත හැකියි .
     මේ කතා කළේ ස්වායු සහ නිර්වායු යන ව්‍යායාම දෙවර්ගයෙන්ම  අත්වන වාසි පිළිබඳවයි.
     ව්‍යායාමවලින් නරක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. නමුත් එසේ නරක ප්‍රතිඵල ලැබෙනවා නම් එයට හේතුව ව්‍යායාම නිසි අයුරින් නොකිරීමයි. මෙයින්  අදහස් කරන්නේ කුමක්ද ?
     ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සමහරුන් ව්‍යායාම අධික ලෙස කරනවා. විශේෂයෙන් තරබාරු අය ඉක්මනට ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා අධික ලෙස ව්‍යායාම් වල නිරත විය හැකියි.
     මෙසේ අධික ලෙස ව්‍යායාම් කිරීමෙන් සන්ධිවල තෙරපීම වැඩි වන අතර  මාංශ පේෂි අධික ලෙස ක්‍රියාකාරී වීම මත ඒවා ඉක්මනින් දුර්වල වෙනවා. ඒ වගේම මාංශපේශී වල අස්ථිබන්ධ ( ligaments) වලට හානි සිදුවීම වැඩියි.
     සමහරුන්  හිතන්නේ ව්‍යායාම කළ යුත්තේ තරුණ වයසේදී බවයි. නමුත් මෙය වැරදි මතයක්. ස්වායු මෙන්ම නිර්වායු ව්‍යායාමද තරුණ වයසේ අය සේම මැදි වයසේ අය ද කළ යුතුයි.
    තරුණ වයසේදී ව්‍යායාම කර මැදි වයසේදී එය නතර කළ අය විවිධ ලෙඩ රෝග සමග වෛද්‍යවරුන් කරා පැමිණෙනවා.
” මං තරුණ වයසේදී හොඳට ව්‍යායාම කළ කෙනෙක්. නමුත් දැන් මට දියවැඩියාවත් තියෙනවා . ප්‍රෙෂර් එකත් වැඩියි. බරත්  හොඳටම වැඩි වෙලා” ආදී  වශයෙන් ඔවුන් වෛද්‍යවරුන් හමුවී පවසනවා. ඒ වගේම ආතරයිටිස්, විශාදය වැනි රෝග වැළඳුණු අයත් මේ අතරේ සිටිනවා.
    මේ කතාව ඇත්ත.  හේතුව, ව්‍යායාම කියන්නේ බැංකුවේ මුදල් තැන්පත් කරනවා වගේ දෙයක් නොවෙයි. වයසට ගියාම ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට තරුණ කාලයේදී බැංකුවේ සල්ලි තැන්පත් කරන්න පුළුවන්. නමුත් ව්‍යායාම කියන්නේ රැකියාවක් කර මාසය  අන්තිමට වැටුප් ලැබෙනවා වගේ දෙයක්. රැකියාව කළොත් අපට වැටුප් ලැබෙනවා. ඒ වගේ තරුණ වයසේදී ව්‍යායාම කළොත් එහි ප්‍රතිඵල තරුණ වයසේදීම ලබන්න පුළුවන්. මැදි වයසේදී ව්‍යායාමවල ප්‍රතිඵල ලබන්න නම් මැදි වයසේදීත් ව්‍යායාම කළ යුතුයි. නමුත් වයස අවුරුදු 18 – 20 වැනි කාලවල කරන ව්‍යායාම මැදි වයසට නොගැළපෙන්න පුළුවන්.  ඒ නිසා මැදි වයසට ගැළපෙන ව්‍යායාම දැනගෙන කළ යුතුයි.
    ස්වායු සහ නිර්වායු ව්‍යායාම නිසා අපගේ ශරීරයේ සංවෘත්තීය සහ  අපවෘත්තීය  ක්‍රියාවලිය ඉතා යහපත් ලෙස වෙනස් වෙනවා. මේ නිසා ශරීරයේ එන්සයිම දහනය වීම, අක්මාවේ ක්‍රියාකාරීත්වය නිසි පිළිවෙළට ම වෙනස් වීම වැනි යහපත් ප්‍රතිඵල රාශියක් අත්පත් වෙනවා. නමුත්  ස්වායු හෝ නිර්වායු ව්‍යායාම කාලයක් කර නතර කිරීමෙන් පසු ශරීරයේ ව්‍යායාම කරන කාලයේ දී තිබූ සමතුලිත බව නැතිවී යනවා. එවිට ඇති වන අසමතුලිත බව නිසා දහනය වන කැලරි ප්‍රමාණයට වඩා ශරීරය තුළ එකතුවන කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා මේදය එකතු වෙනවා. මේදය එකතු වීමෙන් ශරීරය තරබාරු වීම, ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග හට ගැනීම සඳහා ප්‍රබල අවකාශයක් සැලසෙනවා. සාමාන්‍යයෙන් ව්‍යායාම කරන විට වැඩියෙන් ආහාර ගන්නවා. ව්‍යායාම නතර කළත් එම ගන්නා ආහාර ප්‍රමාණය බොහෝවිට අඩු කරන්නේ නෑ. එයින් ශරීරය තරබාරු වෙනවා .යම් විදියකින් ආහාර ප්‍රමාණය අඩු කළත් ශරීරය තරබාරු වීම පාලනය කිරීම අසීරුයි. එයට හේතුව, ශරීරය ව්‍යායාමවලට හුරු වී තිබෙන නිසා ව්‍යායාම නතර කළ පසු කුඩා ආහාර ප්‍රමාණයක් ගත්තත් එය ද ශරීරයට වැඩි වීමයි.
     ඒ නිසා තරුණ වයසේදී ඇතිවන ආශාවට අනුව බොඩි බිල්ඩින් කළත් එය සම්පූර්ණයෙන් නතර වීම එතරම් යහපත් දෙයක් වන්නේ නෑ. මොන ව්‍යායාමයක් වුවත් ශරීරයට අවශ්‍යයි. ඒ වගේම බොඩි බිල්ඩින් කරන කෙනෙක් ඒ සමග ස්වායු ව්‍යායාම ද කළ යුතුයි. ව්‍යායාම නිසා ඔබට යහපත් ප්‍රතිඵල රාශියක් ලැබෙන බැවින් ඔබේ වයසට ගැළපෙන ව්‍යායාම තෝරා ගෙන  දිගින් දිගටම එය කිරීම මානසික සහ ශාරීරික සුවතාවය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.
විකලාංග රෝග විශේෂඥ
වෛද්‍ය සාලිය ඉලංගසිංහ
ඉන්දු පෙරේරා
විනිවිද සායනය