මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකුව සිටි රත්නජීවන් හූල් සමග කරනු ලැබූ එක් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් පවසා තිබුණේ එම මැතිවරණය සඳහා පරිගණක තාක්ෂණය ලබා ගෙන තිබුණේ පුරුදු පරිදි කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොව වෙනත් පෞද්ගලික සමාගමකින් බවත්, ඔවුන්ගේ හැසිරීම තමාට සැකසහිත වූ බවත්ය. කෙසේ වෙතත් එය සාධක සහිතව ඔප්පු කරන්නට තිබූ නොහැකියාව නිසාම එම මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සමට එම කොම්පියුටර් ජිල්මාට් චෝදනාව ඇතුළත් කොට නොතිබුණි.
ඉදිරි මැතිවරණයක දී කෘත්‍රිම බුද්ධිය මගින් ජනතා මතය වෙනස් කළ හැකිවනු ඇතිදැයි යන අදහසක් එක්තරා පුවත්පතක පළ වී තිබුණි. මේ පුවත දකිද්දීම මතකයට නැගුණේ 2010 වසරේ පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ විසින් එල්ල කරනු ලැබූ චෝදනාවය. ඔහු දිගින් දිගටම පවසනු ලැබුයේ එම ඡන්ද ප්‍රතිඵල ‘කොම්පියුටර් ජිල්මාට් එකක’ බලපෑමට හසු වී ඇති බවය. එනම් සැබෑ ජනමතය පරිගණක ඇසුරෙන් විකෘති කරනු ලැබූ බවය. එපමණක් නොව මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකුව සිටි රත්නජීවන් හූල් සමග කරනු ලැබූ එක් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් පවසා තිබුණේ එම මැතිවරණය සඳහා පරිගණක තාක්ෂණය ලබා ගෙන තිබුණේ පුරුදු පරිදි කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොව වෙනත් පෞද්ගලික සමාගමකින් බවත්, ඔවුන්ගේ හැසිරීම තමාට සැකසහිත වූ බවත්ය. කෙසේ වෙතත් එය සාධක සහිතව ඔප්පු කරන්නට තිබූ නොහැකියාව නිසාම එම මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සමට එම කොම්පියුටර් ජිල්මාට් චෝදනාව ඇතුළත් කොට නොතිබුණි. ඒ නිසාම බොහෝ දෙනෙක් එය හුදෙක් හිතලුවක් හෝ අභූත චෝදනාවක් සේ සලකා ඉවත හෙලනු ලැබිණි. දැන් නැවතත් මැතිවරණයක් ආසන්න වෙමින් පවතිද්දී කෘත්‍රිම බුද්ධියක කතාවක් මතුවෙමින් පවතියි. 2010 වරට වඩා මේ වන පරිගණක තාක්ෂණය ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති අතර, එයට මෑතක දී එක් වූ කෘත්‍රිම බුද්ධියත් නිසා මෙවර නම් කොම්පියුටර් ජිල්මාට් කතාව එසේ ඉවත හෙලන්නට එකවර හැකියාවක් නැත.
කෘත්‍රිම බුද්ධියත්, 2022 වසර අවසානයේ ලෝකයට එක් වූ, කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියාත්මක වන ChatGPT වේදිකාවත් නිසා මැතිවරණයකට පෙනී සිටින අපේක්ෂකයන්ට බොහෝ වාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බැව් මේ වන විටත් මේ සම්බන්ධව සිදුවන විවිධ කතාබහ තුළින් පැහැදිලි වෙමින් පවතී. එය යහපතක් සේම අයහපතක් බවට ද පත් වෙයි.
ඔබ අන්තර්ජාලය නිතර භාවිත කරන්නකු නම් ගූග්ල් සෙවුම් යන්ත්‍රයට මෑතක සිට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ද සෙවුම් ප්‍රතිඵල ලබා දෙන බව දැක තිබෙනවා විය හැකිය. මෙයට පෙර ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් යම් සෙවීමක් කළ විට අදාළ මාතෘකාවට අදාළ ව ලොව පුරා සම්පාදනය වුණු සියලු දෙයම තත්පර කිහිපයක් ඇතුළත තිරයේ දිස්වනවා මිස එම මාතෘකාව යම්කිසි විශ්ලේෂණයකට ලක් කළ තොරතුරක් ලබා දීම සිදු වන්නේ නැත. නමුත් මෑතක සිට පෙර පරිදි ලැබෙන ප්‍රතිඵලවලට අමතරව, එම කාරණය කෘත්‍රිම බුද්ධිය මගින් විශ්ලේෂණයකට ලක් කොට ලබා දෙන ප්‍රතිඵලයක් ද පරිශීලකයාට වෙතට ලබා දෙයි. එහිදී කෙරෙන්නේ ලොව පුරා මේ සම්බන්ධව ඇති සියලු කරුණු කෘත්‍රිම බුද්ධිය මගින් ක්ෂණිකව විශ්ලේෂණය කොට කොට ප්‍රතිඵලයක් ලබා දීමය. මෙය මැතිවරණ කටයුතුවලට බෙහෙවින් වැදගත් වන බවත්, එය පවතින ජනමතයට ඉතා පහසුවෙන් අවබෝධ කරගන්නට ඡන්ද අපේක්ෂකයන්ට මහඟු අවස්ථාවක් ලබා දෙන බවත් පැහැදිලි වෙමින් පවතින බව ලොව පුරා විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් අදහස් දක්වා තිබේ.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සලකා බැලුවහොත් ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් දැනට අප රටේ ජනතා මතය පිළිබඳ සෙවුමක් කළ හොත් සාමාන්‍ය ප්‍රතිඵලවලට අමතරව කෘත්‍රිම බුද්ධියේ විශ්ලේෂණය ද දැක ගත හැකිය. පරිගණක විශේෂඥයන්ට සිය දැනුම භාවිත කරමින් මෙය තවදුරටත් විශ්ලේෂණය කළ හැකිය. මෙයට පෙර මෙවැනි ක්ෂණික විශ්ලේෂණයක් ලබාගන්නට හැකියාවක් තිබුණේ නැත. නමුත් දැන් ලැබී තිබෙන වාසි සහගත තත්ත්වය නිසා ඕනෑම අපේක්ෂකයකුට ජනතාව සිතන පතන ආකාරය පිළිබඳ පෙරට වඩා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව තිබේ. එය මත සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්නට හැකියාව තිබේ. අදාළ අපේක්ෂකයාගේ මතවාදය වන්නේ සැබෑ ජනමතය ජයග්‍රහණය කරවීම නොවීම විය හැකි වන නමුත්, ඔහු එය ක්‍රියාත්මක කරවන්නේ එය ජයග්‍රහණය කරවනවා යැයි පෙනෙන පරිදිය. මේ අතරේ සැබෑ ජනමතය වෙනුවෙන් අවංකවම වැඩකටයුතු කරන අපේක්ෂකයකු ද සිටිය හැකිය. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ ද ඒ වෙනුවෙනි. මෙහිදී පරිගණක තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කළ හැකි අපේක්ෂකයාට වාසි සහගත තත්ත්වක් හිමි වෙයි.
ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය ඇමරිකා එක්සත් ජනපදයේ තරම් දියුණු මට්ටමක නොමැති වුව ද, දැනට පවතින තාක්ෂණය සමග කෘත්‍රිම බුද්ධිය එක්කොට ජනතා මතය වෙනතකට හැරවීම සඳහා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරවීම දුෂ්කර කාර්යයක් නොවේ.
කොම්පියුටර් ජිල්මාට් පිළිබඳ කතාව කරළියට පැමිණි 2010 වසර මෙන් නොව මේ වන විට බහුතරයක් සමාජ ජාල භාවිත කරන්නන් බවට පත්ව තිබේ. යම්කිසි මැතිවරණයක ප්‍රතිඵලය මත බලපෑම් කරනුයේ අලුතින්ම ඡන්දය භාවිත කරන්නට පැමිණෙන තරුණ ඡන්ද දායකයන් සහ පාවෙන ඡන්ද දායකයන්ය. මේ අතරින් බහුතරයක් සමාජ ජාල භාවිත කරති. එබැවින් ඔවුන් කරා සිය මතය පතුරවන්නට ඡන්ද අපේක්ෂකයන්ට අවස්ථාව තිබේ. මූල්‍ය ශක්තිය වැඩියෙන් ඇති අපේක්ෂකයන්ට පරිගණක කණ්ඩායම් යොදවා ඡන්ද දායකයන්ගේ සමාජ ජාල පිටු විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ මතය පිළිබඳ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ක්ෂණික, පහසු විශ්ලේෂණයන් සිදු කළ හැකිය. ඉන්පසුව සිදුවන්නේ තමාට එරෙහිව මතයක් දරණ ඡන්ද දායකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අදහස වෙනස් වන ආකාරයේ මත පතුරුවා හැරීමය. මෙවැනි විශ්ලේෂණාත්මක අදහස් පමණක් නොව, තමාට ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අවාසි සහගත වන අන්දමේ ඡායාරූප, වීඩියෝ ආදිය පවා නිර්මාණය කර ගත හැකි තරමට කෘත්‍රිම බුද්ධිය මේ වන විට දියුණු තත්ත්වයක පවතින බව අමතක නොකළ යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියේ දී මෙම තත්ත්වය වඩාත් හොඳින් දැක ගත හැකි වනු ඇති බව එරට පරිගණක විශේෂඥයන් මේ වන විටත් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය ඇමරිකා එක්සත් ජනපදයේ තරම් දියුණු මට්ටමක නොමැති වුව ද, දැනට පවතින තාක්ෂණය සමග කෘත්‍රිම බුද්ධිය එක්කොට ජනතා මතය වෙනතකට හැරවීම සඳහා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරවීම දුෂ්කර කාර්යයක් නොවේ. එය 2010 වසරේ එල්ල වූ කොම්පියුටර් ජිල්මාට් චෝදනාව වඩා ඉදිරි පියවරක් වන අතර එයට එරෙහිව නඩු පැවරීම වැනි කටයුතු පවා කළ නොහැකි දෙයක් වනු ඇත. මන්ද කොම්පියුටර් ජිල්මාට් චෝදනාවෙන් සිදුවූයේ ජනමතය අනුව ඡන්ද ලැබුණු පසු, එය පාලක පක්ෂයට අවාසි සහගත වෙමින් පවතින්නේ යැයි පෙනෙන්නට පටන් ගත් අවස්ථාවේ සිට, පරිගණක ඇසුරෙන් ප්‍රතිඵල වෙනස් කළේය යන කාරණයයි. ඇතැම් විට නිවැරදි විමර්ශනයක් කළේ නම් එය ඔප්පු කරගන්නට වුව හැකියාව තිබෙන්නට පුළුවන නමුත් වර්තමානයේ පරිගණක තාක්ෂණයත්, කෘත්‍රිම බුද්ධියත් එකතුව සිදුකරන්නේ ඡන්දය භාවිතයෙන් පසුව එම ප්‍රතිඵලය වෙනස් කිරීමකට වඩා ඡන්දය භාවිත කරන්නට පෙර සිටම ඡන්ද දායකයන්ගේ ජනමතය වෙනස් කිරීමය. ඒ අතරේ කෘත්‍රිම බුද්ධිය මගින් කිසිවකුට නොදැනෙන අයුරින් ලැබී ඇති ප්‍රතිඵල පවා වෙනස් කරන්නට හැකියාවක් නැතැයි පැවසිය නොහැකිය. එබැවින් එලැඹෙන මැතිවරණයක දී අප දැනුම්වත්ව හෝ එසේ නොමැතිව හෝ අප කෘත්‍රිම බුද්ධියේ බලපෑමට හසුවනු ඇත. එය එසේ නොවේ යැයි පවසන්නට හැකියාවක් නැත.
නිරංජන් චාමින්ද කරුණාතිලක