අනුරපුර සමාධි පිළිමය අද්දර අසරණ සුනඛයන්ට මවක මෙන් පිහිට වූ ධනවතී ගේ දුක්බර අද දවස

anurapura

ශ්‍රී ලංකාවේ ඇති අනේක විධ බුද්ධ ප්‍රතිමා අතුරින් බුද්ධ කරුණාව විශිෂ්ටතම අයුරින් මූර්තිමත් වන බුද්ධ ප්‍රතිමාව කුමක්දැයි විමසුවහොත් ඒ සඳහා බොහෝ දෙනකු එක්වරම දෙන පිළිතුරක් තිබේ.

එනම් අනුරාධපුර මහ මෙව්නා උයනේ ඇති සමාධි පිළිමය යන්න ය. එහෙත්, සැබැවින්ම මෙම ලෝක ප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇත්තේ අනුරාධපුර අභයගිරි ආරාම පරිශ්‍රයේ මිස මහ මෙව්නා උයනේ නොවේ.

ඒ කෙසේ වුවද ඉංග්‍රීසි පාලන සමයේ සිට අනුරාධපුර සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වීමත් සමඟ ඒවා වැද පුදා ගන්නට එන සැදැහැවතුන් ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම සමාධි පිළිම වහන්සේ ද වන්දනා කර ගනිති. එහෙත්, ඉන් නිරූපණය වන මහා කරුණා ගුණයෙන් අංශූ මාත්‍රයක් වත් තම හදවත් හි රෝපණය කර ගන්නවුන්, කීයෙන් කී දෙනෙක් සිටින්නේ දැයි අපි නොදනිමු.

අනුරාධපුර, ගල්කඩවල, කරඹෑවේ, අංක 140 දරන නිවසේ පදිංචි ඩබ්ලියු. පී. ධනවතී තම මව් උරුමයට අනුව එම ප්‍රදේශයේ පාරම්පරික ජන කොටසට අයත් කාන්තාවකි. පාසල් අධ්‍යාපනයෙන් පසු නිවසට වී නිකම් සිටීමට හැකියාවක් නොතිබූ ධනවතී වයස අවුරුදු විසි හතරේ දී; එනම් 1994 වසරේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරු කාන්තාවක ලෙස රැකියාවකට බැඳුණා ය.

ඒ වන විට ද විවාහක එක් දරු මවක වුව ද සිය පවුල් ජීවිතයට සැමියා ගෙන් නිසි ආරක්ෂාවක් නොලැබීම ද ඇයට මෙම රැකියාවට එන්නට හේතු විය. ධනවතී ගේ මුල්ම සේවා ස්ථානය වූයේ අනුරාධපුර අභයගිරි ව්‍යාපෘතියයි. අප ඉහත සඳහන් කළ සමාධි පිළිම වහන්සේ ද ඊට අයත් වූ බැවින් එය ධනවතී ගේ රැකියා ස්ථානයක් විය.

danawathi

නිවාස වලින් ගෙනවුත් දමන සහ ඔවුන් ගෙන් පැවැත එන සුනඛයන් හය සියයක් පමණ අනුරාධපුර පූජා නගරය තුළ හිසට වහළක් තබා හරි හැටි කුසට අහරක් වත් නැතිව දිවි ගෙවති.

අනුරාධපුරය වුව නිතර වන්දනා කරුවන් ගෙන් පිරී පවතින පුද බිමක් නොවේ. අනුරාධපුරයට වුව වන්දනා කරුවන් ගේ පැමිණිම නිරන්තරයෙන් වෙනස් වන සුලු ය. වන්දනා කරුවන් වැඩි දින වලට ඔවුන් සහ වෙළඳ සැල් වලින් ඉවතලන ඉඳුල් වලින් යැපෙන අසරණ සුනඛයෝ වන්දනා කරුවන් ගේ අඩු වීමට සාපේක්‍ෂව දැඩි සාගත සමයකට මුල පුරති. ධනවතී සේවය කළ අනුරාධපුර සමාධි පිළිමය අද්දර පමණක් එවැනි සුනඛයෝ විසි පහක් පමණ ජීවත් වෙති.

නමුදු මෙම අසරණ සතුන් ගේ සාගිනි සමයන් අවම කරවීම පිණිස ධනවතී ඇතුළු තවත් සත්ව කරුණාව ඇති කිහිප දෙනෙක් එක්ව ‘කළමණාකාර සැලැස්මක්’ පිළියෙල කළහ.

ඒ වන්දනා කරුවන් නොමැති කාලවල දී ඒ අසරණයන් ගේ කුසෙන් අඩක් හෝ පිරවීමේ අරමුණිනි. නමුත් පසු කලෙක ධනවතී සමඟ එක්ව එම අසරණ සුනඛයන්ට ආහාර සලාකයක් ලබා දීමට සම්බන්ධ වී සිටි සමාධි ප්‍රතිමාව අද්දර කඩ මැස්සක ව්‍යාපාරික කටයුතු කළ රාණි නම් කාරුණික කාන්තාව හදිසි හෘදයාබාධයකින් මිය ගියා ය.

ඊට පසුව සමාධි පිළිමය අද්දර අනවසර වෙළෙඳ සල් කඩා ඉවත් කිරීම ආදී කරුණු මත මෙම අසරණ සුනඛයන් ගේ ආහාර ප්‍රශ්නය වරින් වර උග්‍ර විය. දිනපතා තම නවීන මෝටර් රථයෙන් අසරණ සතුනට ආහාර සපයන්නියක ලෙස නම් දැරූ අනුරාධපුර මහ රෝහලේ තරුණ වෛද්‍යවරිය ඇතුලු තවත් සීමිත පිරිසක ගෙන් මෙම සමාධි පිළිමය අද්දර අසරණ සුනඛයන්ගේ කුස පිරවීමට යම් දායකත්වයක් ලැබුණ ද අනුරාධපුර පූජා නගරයේ වෙසෙන හය සීයයක් පමණ වන නිවාස අහිමි සුනඛයන් සම්බන්ධයෙන් නිරතුරුව සොයා බැලීමට සිදුවීම මත ඔවුන්ට ද එය අසීරු අභියෝගයක් වන්නට ඇත.

මේ සියළු තත්වයන් යටතේ ධනවතී සමාධි පිළිමය අද්දර සිටින සුනඛයන්ට ආහාර පාන සැපයීම පමණක් නොව රෝගීව දුක් විඳින විට ඔවුන් තම කුඩා ස්කූටරයෙන් පශූ වෛද්‍යවරුන් වෙත රැගෙන යාමට පවා කාරුණිකව වූවා ය. ඒ වන විට තම දියණියට අමතරව පුතකුගේ ද මවකව සිටි ධනවතීට තම යුග දිවියෙන් වෙන්ව දරු දෙදෙනා තම බාරයට ගැනීමට සිදු වූයේ දහසකුත් එකක් දුක් වේදනා, ගැටළු, අර්බුද, කම්කටොළු දරා සිටිය නොහැකි තැන ය.

මේ අතර පසුගිය කාලයේ සමාධි පිළිමය වැඳීමට පැමිණි කිහිප දෙනකු සහිත මෝටර් රථයක් ඒ පරිශ්‍රයේ හිඳින ‘කොමලි’ නම් සුනඛ ධේනුව ගේ ගාතයක් උඩින් ධාවනය කරන ලද්දේ කොමලී ගේ විලාපය සමාධි පිළිම වහන්සේ ගේ ද දෙසවන් වැකෙන පරිද්දෙනි. ඉන්පසු නැගිට ගැනීමට වත් නොහැකිව එක් තැන වැටී සිටි කොමලිව තම ස්කූටරයේ දමා ගෙන ගෙදර ගිය ධනවතී ඉතා වෙහෙස මහන්සියෙන් කොමලී සුවපත් කර තිබේ. මේ වන විට ද කොමලී වාසය කරනුයේ ධනවතී ගේ නිවසේ ය.

පසුගිය වසරේ මාර්තුවේ ඇරඹි කොවිඩ් වසංගතයත් සමඟ අනුරාධපුරය පූජා නගරය ජනශුන්‍ය කලාපයක් වූයේ මුළු රටම අකර්මන්‍ය වූ පසුබිමක ය. ඉන් ධනවතී ගේ නිබඳ ආදරයට කරුණාවට ලක් සුනඛ කැළ අන් කවරදාටත් වඩා අසරණ වූහ. එවිට ධනවතී කළේ රැකියාවට එන විට අන් කවරදාටත් වඩා ලොකු බත් මුලක් ගෙන පැමිණ නිරාහාරව හිඳින ඒ සුනඛයන්ට නොමැරී ජීවත් වීම පිණිස ඉන් බත් කට කට බෙදා දීම ය.

එහෙත්, සුනඛයකු අඩුම තරමින් ග්‍රෑම් පන්සියයක්වත් ආහාර වේලක් අනුභව කරන අතර එම සියළු සුනඛයන්ගේ කුස් පිරවීමට නම් ඇගේ බත් මුල කිලෝ ග්‍රෑම් fදාලහමාරකට වඩා වැඩි විය යුතු වෙයි. එනිසා පසුව ධනවතී කළේ තමන් ගෙන යන බත් මුලෙන් ඒ සුනඛයන් ගේ සාගින්දර නිවා තම දිවා ආහාරය ඇල්වතුර ටිකකින් පිරිමසා ගැනීම ය.

මේ තත්වය යටතේ මීට මාස කිහිපයකට පෙර ධනවතී කෙරෙන් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ පළ විය. ඒ සම්බන්ධයෙන් ඇය දන්නා හඳුනන සියලු දෙනා කියා සිටියේ ඇය තම බත් පත සුනඛයන්ට පුදා නිරාහාරව කුස ගින්නේ හිඳීම නිසා ඇය එම රෝග තත්වයට පත්ව ඇති බව ය. එබැවින් මුල දී ඊට සිංහල බෙහෙත් බීව ද කිසිදු සුවයක් නොලත් ධනවතීට තමන් ගේ සිරුරේ ඊට වඩා බරපතල රෝගාබාධයක් ඇති බව කෙමෙන් වැටහිණ. ඇය අනුරාධපුර මහ රෝහල වෙත යොමු වූයේ ඒ අනුව ය.

එහි දී කරන ලද වැඩිදුර පරීක්ෂණ වලින් අනාවරණය වූ අන්දමට ධනවතීගේ ආහාර මාර්ගයේ පිළිකාවක් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වන විට ඇය අනුරාධපුර මහ රෝහලේ පිළිකා ඒකකයෙන් සායනික ප්‍රතිකාර ලබන්නී ය. එහෙත්, ගත වූ කාලයට සාපේක්‍ෂව තම ශරීර සෞඛ්‍යය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව ධනවතී කියයි. ඒ අනුව තම රැකියාව පවා තවදුරටත් කරගෙන යා හැකි වේදැයි ඇය තුළ ඇත්තේ සැකයකි. මේ වන විට විවාහ වී පවුලෙන් වෙන්ව සිටින ධනවතී ගේ දියණිය ද ගැබිණි මවකි. පුතුට තවමත් ස්ථිර ආදායමක් හෝ රැකියාවක් නැත.

මේ සියලු තත්වයන් හමුවේ තවමත් තම පුතු සමඟ අභයගිරි ව්‍යාපෘතියට යන ධනවතී කෙසේවත් ඉවසා දරා ගත නොහැකි වේදනාකාරී අත්දැකීමකට මුහුණ දෙන්නී ය. ඒ මේතාක් ඇගේ ආහාර වලින් යැපුණු සුනඛයන් දිව විත් තම ඉදිරි ගාත් දිගු කරමින් ඇයට වැඳ වැටීමත් ඇගේ දෙපා ලෙව කෑමත් ය. ඒ සම්බන්ධයෙන් ධනවතී කියනුයේ එවිට තමන්ට දැනෙන වේදනාව පිළිකාවෙන් දැනෙන වේදනාවට වඩා සිය දහස් ගුණයකින් වැඩි බව ය.

එම සුනඛයන්ට ආහාර සපයා ගැනීමට තබා තමන්ට ජීවත් වීමට වත් මඟක් නොමැති ධනවතීට පිහිටක් වීමට හැකි නම් එම අසරණ සුනඛයන් තම ජීවිත පරිත්‍යාගයෙන් හෝ එසේ කරන බවට සහතික වන්නට අපට පුළුවන.

එහෙත්, තිරිසනුන් වන ඔවුන්ට ඒ සඳහා බුද්ධි මහිමයක් නැත. එසේ වුව ද මහා කරුණාව මූර්තිමත් කෙරෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ශ්‍රී නේත්‍රා යුගලය ඉදිරියේ සිට වසර ගණනාවක් අසරණ සුනඛයන්ට මවක මෙන් පිහිට වූ ධනවතී මාතාව පත්ව ඇති මෙම අසරණ තත්වයෙන් මුදවා ගැනීම පිණිස ඇයට යම් උපකාරයක් කිරීමට උසස් වූ මනැසක් සහිත උතුම් මිනිස්කමක් සහිත ඔබට හැකියාවක් තිබේ. ඒ සඳහා වන ඔබ ගේ ආධාර මහජන බැංකුවේ අනුරාධපුර නුවරවැව ශාඛාවේ ඩබ්ලියු. පී. ධනවතී නමින් ඇති 220-2-001-5-0117506 දරන ගිණුමට යොමු කළ මැනවි.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර