කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ වයස,සමාජ තරාතිරම ආදී සාධක කෙසේවත් වැදගත් නොවන බව එදා මෙදා තුර ලොව නන් දෙසින් හා නන් බසින් එළි දකින අපූර්වතම කාව්‍ය නිර්මාණ වලින් සනාථ කර ගන්නත් පුළුවන්. ඒ සඳහා කදිම නිදසුනක් ලෙස අද අප ඔබට ඉදිරිපත් කරන”තත සිඳිමි මම” පැදි පෙළ ලියූ සුහුඹුල් කිවිඳිය නජිලා අධිකාරි. හලාවත කාර්මේල් බාලිකා විදුහලේ.2024 වර්ෂයේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත නජීලා වත්මන් කවි රසිකයන්ට වගේම විචාරකයන්ටත් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ.අප එසේ කියන්නේ නජීලාගේ කාව්‍ය නිර්මාණ මේ වන විටත් විචාරක පාඨක දෙපිරිසේම නොමඳ ප්‍රසාදයට ලක් වෙමින් පවතින පසුබිමකයි. “මම විවේක කාලය තුළදී පොත් කියවීම හා ලිවීම සිදු කරනවා.කෙටි කතාව හා කවිය නිතර මම සතතාභ්‍යාසයේ නිරත වන කලා මාධ්‍ය.මේ කවි පංතිය සදහා මට පාදක වුයේ සමස්ත ආර්ථික පද්ධතිය හා ආදරය යන මනෝ භාවයෙන් පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි. කවිය කියන්නේ මට කියවීමේදීත් ලිවීමේදීත් වඩා සුවපහසුවක් දැනෙන කලා මාධ්‍යයක්” නජීලා කියනවා.අපි බලමු;තත සිඳිමි මම” තුළින් නජීලා පසක් කර ගත් ඒ සුව පහසුව රසික ඔබටත් කොතෙක් දුරට අත් විඳින්න හැකි වේවිද?කියා
තත සිඳිමි මම
තුටන් වඩනා සුර අඟනෝ බැස
දනන් මන් මත් කරේ කවද ද?
ට්‍රැපික් දුම්රිය පා පුවරු මත
මම කෙසේ පවසම් ද විඳි දුක
රන් රසේ එක් වන ලෙසේ සිටි
ළයාදරියේ ඔබ කොහෙද අද
මන් මදා කිතුලිය ලෙසින්
උර තුර නැතත් පෙම් කළේ ඔබටය
ඉටන් බල මට කොතෙක් තිබුන ද
සුරිඳු දුන් උපදෙසක් සිහිකර
විසි කරන්නට නීල අඹරට
ගුළි දෑත මත තිබුනේ නම් නැත
බඹර තත පළමුවෙන් සින්දෙමි
ශෝක නද සක්වළම පැතිරිණි
සක් සැපත කිසි කලක නොලබා
දුකම විඳ විඳ මෙලෙස සැතපෙමි
සිදුවේමැයි වෙසෙස
මේ මගේ අදහස
ඉන් සුර පුරෙන් බැස
අවුත් මා දින වන ලෙස
නජිලා අධිකාරි