දරුවන් ගේ සෞඛ්‍යය කේන්ද්‍රයෙන් හරියටම දැක ගත හැකිද? – හේම ශ්‍රී අමරසිංහ

කිසියම් පවුලක වැඩිහිටියන්ගේ මිස කුඩා දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් අතීත සමාජයේ පැවැතියේ නැත. එහෙත්, අද වන විට එම තත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. ඊට හේතුව අද වන විට දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාව කෙරෙහි ද පෙර නොවූ විරූ උනන්දුවක් බොහෝ දෙනකු තුළ පැවැතීම ය. ඒ සඳහා හේතු පාදක වන ප්‍රධානතම කරුණ වශයෙන් දැක්විය හැක්කේ කුඩා දරුවන් ගොදුරු වන විවිධ ආපදාමය තත්වයන් පිළිබඳව ජනමාධ්‍ය මගින් කරුණු අනාවරණය වීම ය. එවිට එය පදනම් ව බොහෝ දෙමාපියන් තුළ තම දරුවන් සම්බන්ධ දැඩිඅවධානයක් හට ගැනීම අතිශය ස්වාභාවික ය. ඒ තත්වය යටතේ තම දරුවකුට උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැලදුණ ද හැකි උපරිම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නොපසුබට වන දෙමාපියෝ තම දරුවන් රෝග පීඩා ආදියට ඉවහල් වන ග්‍රහ අපල තිබේ දැයි විමසීම පිණිස එම දරුවන්ගේ ජන්ම පත්‍ර ජ්‍යොතිර්වේදීන් වෙත යොමු කරති.

සාමාන්‍යයෙන් යමකු තම ජන්ම පත්‍රය ජ්‍යොතිර්වේදියකු වෙත ඉදිරිපත් කිරීමෙන් දැන ගැනීමට අපේක්ෂා කරන කරුණු කිහිපයක් තිබේ. ඒවා අතරින් දරුවකුගේ නම්
අධ්‍යාපනය, වැඩිහිටි අයකුගේ නම් රැකියාව, විවාහය,ආර්ථිකය, ධන ලාභ, සමාජමය තත්වය, විදේශ ගමන් ආදී කරුණු ප්‍රධාන වෙයි.රෝග පීඩා ද ඒ අතරේ ප්‍රධාන ස්ථානයක් ගනී. එහෙත්, බොහෝ දෙනකු ජ්‍යොතිර්වේදීන් හමුවට තම ජන්ම පත්‍රය යොමු කරනුයේ කිසියම් රෝග පීඩාවකට පත්ව එය බැරෑරුම් තත්ත්වයට පත් වූ පසුව ය.
ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීම මගින් අපේක්ෂා කෙරෙන කරුණු වලින් කුඩා දරුවකු සම්බන්ධයෙන් බොහෝ විට අදාළ වනුයේ රෝග පීඩා යන්න පමණි. එසේ නොමැතිව රැකියාව, ධන ලාභ තබා අධ්‍යාපනයවත් කුඩා දරුවකුගේ ජන්ම පත්‍රය පරීක්ෂාවෙන් දැන ගැනීමට බොහෝ දෙනෙක් අපේක්ෂා නොකරති.ඊට හේතුව දරුවකු සම්බන්ධයෙන් ඉතා වැදගත් වනුයේ යහපත් සෞඛ්‍ය තත්වය බව බොහෝ දෙනකු විසින් පිළිගෙන තිබීම ය.එවන් තත්වයක් යටතේ තම දරුවාට වැළඳිය හැකි රෝග පීඩා සම්බන්ධයෙන් දරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට විමසා දැන ගැනීමේ ඇති වරද කුමක් දැයි යමකුට සිතෙන්නට පුළුවන.

මිනිසාට කායික, මානසික රෝග හට ගන්නා හේතු කාරණා රැසකි. ආයුර්වේදීය සිද්ධාන්තයන්ට අනුව ශරීරය තුළ ඇතිවන ජෛව රසායනික විෂමතා හෙවත් වාතය, පිත,
සෙම යන ත්‍රිදෝෂ තත්ත්වයන් ඉස්මතු වීමෙන් යමකුට රෝගී තත්වයන් හටගත හැක.එමෙන්ම එම රෝග තත්ත්වයන් නිජ හෙවත් ශරීරය තුළින්ම හට ගන්නා සහ ආගන්තුජ හෙවත් ශරීරයට බාහිරින් පැමිණෙන රෝග වශයෙන් දෙවැදෑරුම් කොට දක්වා තිබේ.නිදසුනක් ලෙස මෑත කාලීනව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබූ කොවිඩ් රෝගය එබඳු ආගන්තුජ රෝගයකි.
එලෙස කිසියම් ආගන්තුජ රෝග තත්ත්වයක් වසංගත මට්ටමින් ගමින් ගම දොරින් දොර පැතිර යන්නේ යැයි අපි මඳකට සිතමු. එහෙත් ඒ රෝගය වැළඳුණු සෑම අයකුගේම ජන්ම පත්‍ර තුලින් එය දැකිය හැකි යැයි සිතන්නේ නම් ඔබ වැරදි ය. ඊට හේතුව ඒ සඳහා නව ග්‍රහයන්ගේ බලපෑම් තිබීම මෙන්ම නොතිබීමට ද පැහැදිලි අවකාශයක් ඇති බැවිනි.

නිදසුනක් ලෙස ජන්ම පත්‍රයේ රෝග පීඩා සඳහා ග්‍රහ බලපෑමක් ඇති පුද්ගලයකුට සේම එබඳු කිසිම ග්‍රහ බලපෑමක් නොමැති පුද්ගලයකුට කුමන හෝ රෝගයක් වැලඳීමේ යම් අවකාශයක් පවතින බැවිනි.සිද්ධාන්තමය ජ්‍යොතිර්වේදය ලොවට හෙළි කළ පරම සත්‍යය එය වුව ද පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් ජ්‍යොතිර්වේදය මුල් කොට බරපතල මිථ්‍යාවන් පතුරවමින් ජ්‍යොතිර්වේදය යනු ජීවිතය පරිපූර්ණ වශයෙන්ම දැකිය හැකි කැඩපතක්ය යන පුහු මිථ්‍යාව සමාජගත කළ අයුරු අපට මතකය. ඒ අනුව මේ වන විට අප සමාජයේ බොහෝ දෙනකු ජ්‍යොතිෂය තම ජීවිතයේ එකම පරමාදර්ශය ලෙස සිතීමට පටන් ගෙන තිබේ. එහෙත් එම අවභාවිතය ඔස්සේ ජ්‍යොතිෂයට ද කාටත් වැටහෙන බසින් කිවහොත් ‘සෙනසුරු දසාවක්’ එළැඹීමේ පැහැදිලි අවදානමක් තිබේ. එම අවදානම පිටුදැක ජ්‍යොතිර්වේදයේ ශාස්ත්‍රීය පදනම මුල් කොට ජනතාව දැනුවත් කිරීම සම්බන්ධ ඉතා වැදගත් වගකීමක් ඒ සම්බන්ධ ප්‍රාමාණික උගතුන් වෙත පැවරී තිබේ.

අප සිංහල බෞද්ධ සමාජයේ බහුතරයකුත්, සිංහල බෞද්ධ නොවන සුළුතරයකුත් තම දරුවන්ගේ උපත්වලදී ජන්ම කේන්ද්‍ර සැකසීමට පුරුදු වී සිටිති. එහි දී එම ජන්ම කේන්දරයක් සමග දරුවාගේ ජීවන පලාපල පිළිබඳ යම් විස්තරයක් ද ලැබේ. ඒ අනුව සාමාන්‍යයෙන් දරුවාගේ වයස අවුරුදු දහයක් පමණ වන තුරු දරුවාගේ කේන්දරය නැවත නැවතත් පරීක්ෂා කළ යුතු යැයි මට නම් නොසිතේ. එසේම දරුවකුගේ රෝග පීඩා සම්බන්ධයෙන් වුව ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂාවකට ලක් කිරීම සියයට සියයක්ම ප්‍රතිඵලදායක වනු ඇතැයි ද කිව නොහැක. එහි දී ප්‍රධාන වශයෙන් දරුවාට පිළිගත් වෛද්‍ය ක්‍රමයකට අදාළ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර මාලාවක් ලබාදිය යුතු අතර දෙවනුව තමන් තුළ පවත්නා කුසල ශක්තීන් වර්ධනය කරගැනීම පිණිස වන ක්‍රියාවන්හි යෙදි යුතු ය. එහි දී අනේකවිධ පුද පූජා සේම අසරණයනට පිහිටවීම අසරණ සතුන්ට ආහාර ලබා දීමෙන් ඔවුන්ගේ කුසගිනි නිවීම වැනි ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ ක්‍රියාවන් කෙරෙහි යොමු වීමද අතිශය වැදගත් ය.
දානය යනු අපගේ ජන සංස්කෘතියට ආගන්තුක දෙයක් නොවේ. නමුත් කිසියම් මානසික අසහනයෙන් යුතු අවස්ථාවක නිසි පරිදි දානයක් සකසා ගැනීම ප්‍රායෝගිකව අපහසු වීමට පුළුවන. එහෙත් සාගින්දරෙන් පසුවන අයට ආහාර වේලක් ප්‍රදානය කිරීම පහසුවෙන්ම කළ හැක්කකි.
මේ සම්බන්ධයෙන් අප ජන සමාජය තුළ නැඹුරුවක් ඇති වන තරමට අප සමාජයේ සදාචාර මට්ටම ඉහළ නැංවෙන අතර එය සමස්තයක් ලෙස ග්‍රහ අපල අවප්‍රමාණ කරගැනීමට අනියමින් බලපාන බව ද නිසැකවම කිව හැක.

හේම ශ්‍රී අමරසිංහ

 

ඉරා අදුරුපට