මිනිසුන් අතර පවතින මිනිස්කම් ලොව හමුවේ පිළිබිඹු වන අපූරු කතාවක් පසුගිය සතියේ දී ඉන්දියාවෙන් අසන්නට ලැබිණි. එය හෘද සංවේදී මිනිසත් බවක ලක්ෂණයක් යැයි පැවසෙන්නේ මන්දැයි අපට මෙසේ කතා කළ හැකිය.
19 හැවිරිදි ඇය පකිස්තානු ජාතික දැරියකි. නමින් අයේෂා රාෂිද් ය. ඇය වසර දහයක් තිස්සේ හෘදයාබාධයකින් පීඩා විඳි දැරියක විය. පකිස්තානු අගනුවර වූ කරච්චියේ රෝහල්වලින් මෙයට ප්‍රතිකාර පැතූ මුත් එහි වෛද්‍ය පහසුකම් එතරම් දියුණු නැති මට්ටමක පැවතුණි. එබැවින් අයේෂාගේ පවුලට තිබුණු එකම බලාපොරොත්තුව වූයේ ඉන්දියාවට පැමිණීම පමණි. ජාතිවාදී ආගම්වාදී මිනිසුන් විසින් ඉන්දීය – පකිස්තානු හදවත්වලට වෛරයේ ගිනි පුපුරු අවුලුවා තිබුණ ද ඔවුහු ඉන්දියාවට පැමිණියහ. ඒ 2019 වසරේ දී ය.
චෙන්නායි මලර් රෝහලේ හෘද සැත්කම් සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කේ. ආර්. බාලක්‍රිෂ්ණන් මේ දැරිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැවසූයේ ඇගේ වම් කෝෂිකාව දැඩි ලෙස අඩපණ වී ඇති බැවින් හැකි ඉක්මනින් හදවත් බද්ධයක් කළ යුතු බවය. නමුත් මේ සඳහා වැය වන ඉන්දීය රුපියල් ලක්ෂ 35 ක පමණ මුදල අයේෂාගේ පවුලට කෙසේවත් දරා ගත නොහැකි තත්ත්වයක පැවතුණි. එබැවින් වෛද්‍යවරු ඇයට යාන්ත්‍රික හෘද පොම්පයක් සවි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ වම් කෝෂිකාවේ වැඩකටයුතු එකී යන්ත්‍රය හරහා කර ගැනීමට හැකියාව ලැබිණි. නමුත් මේ යන්ත්‍රය සමග ඇයට වැඩි කාලයක් ජීවත් වන්නට වාසනාව ලබා දුන්නේ නැත. 2023 වසර වන විට ඇගේ හෘදය වස්තුවේ දකුණු පැත්ත ද අඩපණ වන්නට පටන් ගැනුණි. අයේෂාට හදවත් බද්ධ කිරීමක් හැර වෙනත් විකල්පයක් ඉතිරි වුණේ නැත.
හදවත් බද්ධ කිරීමක දී වියදම පමණක් නොව ඒ සඳහා යම් නීති පද්ධතියක් ද පවතී. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව විදෙස් ජාතිකයකුට බද්ධ කිරීම සඳහා හදවතක් ලබා දෙන්නේ නම් මුලින්ම බැලිය යුතු කාරණයක් තිබේ. එවැනි හදවත් බද්ධයක් කළ හැක්කේ හදවතක් අවශ්‍ය කරන ඉන්දීය ජාතිකයකු නොමැති නම් පමණි.
අයේෂා බොහෝ වාසනාවන්ත දැරියක වූවාය.
ඇය වෙනුවෙන් පවතින්නේ යැයි පැවසුණු හදවත වෙනුවෙන් කිසිදු ඉන්දීය ජාතිකයකුගෙන් ඉල්ලීමක් ලැබී තිබුණේ නැත. මේ හදවත ලැබී තිබුණේ මොළය මිය ගිය 69 හැවිරිදි ඉන්දීය ජාතිකයකුගෙනි.
මේ වසරේ ජනවාරි මාසයේ දී අයේෂාගේ පවුලට ඉන්දියාවෙන් ඇමතුමක් ලැබිණි. ඒ චෙන්නායි රෝහලේ වෛද්‍යවරුන්ගෙනි. හදවත් බද්ධ කිරීම සම්බන්ධව ඉන්දියාව ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලයි. හදවත් සැත්කම් සම්බන්ධව සිටින ඉන්දීය වෛද්‍යවරු පවසන්නේ ඇමරිකාවේ පවා නොකරන හදවත් බද්ධයන් ඉන්දියාව තුළ සාර්ථකව සිදු කළ හැකි බවය. ඉන්දියාවේ වෛද්‍ය පහසුකම් ලෝකයේ බොහෝ දියුණු රටවල මට්ටමටම පවතී.
“ඇය මගෙම දුව වගේ” මේ හදවත් බද්ධය සිදු කරන්නට ඉදිරිපත් වූ චෙන්නායි රෝහලේ වෛද්‍යවරු පැවසූහ. කෙසේ වෙතත් මේ තරම් වියදමක් අයේෂාගේ පවුලට දරා ගත නොහැකි තත්ත්වයක් තිබූ බැවින් රෝහල් ගාස්තු අය නොකර සිටීමට වෛද්‍යවරු තීරණය කළහ. රෝහල් ගාස්තු අය නොකළ ද අයේෂාගේ පවුලේ පිරිස ඉන්දියාවට පැමිණ ගත කරන කාලය සඳහා සැලකිය යුතු වියදමක් දරන්නට සිදු වේ. එය දරාගන්නට තරම්වත් ඔවුන් අත මිල මුදල් ඉතිරිව තිබුණේ නැත. එහිදී චෙන්නාහි ඇති අයිෂ්වර්යම් අරමුදල ඉදිරිපත් වී ඔවුන්ගේ සියලු වියහියදම් සඳහා අනුග්‍රහය දැක්වූයේය. අයිෂ්වර්යම් අරමුදල දශක ගණනාවකට පෙර චෙන්නායි හි පරිත්‍යාගශීලීන්ගේ එකමුතුවකින් ගොඩ නැගුණකි.
69 හැවිරිදි නම නොදත් පුද්ගලයාගේ හදවත අයේෂාට බද්ධ කරනු ලැබිණි. එම හදවත් බද්ධය ඉතාමත් සාර්ථක වූ අතර ඇය දැන් ඉන්දීය හදවත සමග සාමාන්‍ය පරිදි ජීවත් වෙයි. පසුගිය සතියේ ඇය රෝහලෙන් පිටවී සිය පවුලේ පිරිස සමග යළි සිය මව් රට වූ පකිස්තානය බලා ගමන් කළාය. අයේෂාත් ඇගේ පවුලේ පිරිසත් ඉන්දියාවටත්, ඉන්දීය ජනතාවටත් සීය කෘතඥතාව පළ කළහ.
ඇය පවසන්නේ අනාගතයේ දී තම අපේක්ෂාව වන්නේ ඇඳුම් මෝස්තර නිර්මාණ කරන්නියක බවට පත්වීම බවය. ඇගේ බලාපොරොත්තුව මල්පලගන්වන්නට ඉන්දීය හදවත ඇයට ශක්තියක් වනු නිසැකය.
ඉන්දිියාවත් පකිස්තානයත් කලක් එක රටක් ලෙස පැවතුණු භූමියකි. ජාතිවාදය, ආගම මුල්කරගනිමින් ඔවුහු බෙදී වෙන් වූහ. කෙසේ නමුත් සියවස් ගණනක් තිස්සේ එක් භූමියක ජීවත් වූ ඔවුන් කිසිසේත් නොවටිනා කාරණා නිසා වෙන්ව සිටිය ද හදවතින් වෙන්ව සිටින්නට ඕනෑකමක් නැත. පකිස්තානු මුස්ලිම් දැරියක වූ අයේෂාට ඉන්දීය ජාතිකයකුගේ හදවත බද්ධ කිරීම සඳහා ඉන්දියාව තුළින් කිසිදු බාධාවක් ඇති නොවුණේ මේ නිසාමය. රටවල් දෙකක් හදවතකින් යා කළ මේ සැත්කම මගින් ලෝකයට ලබා දෙන පණිවිඩය එයයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක