මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් සහ සාර්ථක ගමනක් යමින් සිටින චීනය තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සූදානම් වෙයි. එනම් සඳෙහි කිසි දිනෙක පෘථිවියට නොපෙනෙන එහි ‘අඳුරු අර්ධය’ නමින් හැඳින්වෙන කලාපයෙන් ගල් සහ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම යි. මේ සඳහා වන යානයක් පසුගිය 3 වැනි දින චීනය අභ්‍යවකාශගත කළේය. මෙම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘චැංග්ඊ 6’ යන නමිනි. චැංග්ඊ යනු චීන පුරාණ කතාවල එන සඳට අධිපති දෙවඟනකගේ නමකි.
සඳෙහි ‘අඳුරු අර්ධය’ යනුවෙන් හැඳින්වෙන කොටස කිසි දිනෙක පෘථිවියට පෙනෙන්නේ නැත. ලංකාව වැනි රටවල සිටින අයට නිතරම පෙනෙන්නේ හාවකුගේ වැනි රූපයක් පෙන්වන මුහුණතක් බව රහසක් නොවේ. මෙය සිදුවන්නේ සඳ තම අක්‍ෂය වටා එක් වරක් කැරකීමට ගතවන කාලය සහ එය පෘථිවිය වටා එක් වරක් ගමන් කිරීමට ගන්නා කාලය සමාන වීම නිසා ය.
පෘථිවියට කිසි දිනෙක නොපෙනෙන අර්ධය අඳුරු අර්ධය ලෙස හැඳින්වුව ද එය සැබැවින්ම අන්ධකාරයෙන් වැසුණු අර්ධයක් නොවේ. ඊට ද සාමාන්‍ය ආකාරයෙන් හිරු එළිය ලැබේ. නමුත් එය අඳුරු අර්ධය ලෙස හඳුන්වන්නේ කිසි දිනෙක පෘථිවියට නොපෙනෙන නිසා ය.
සඳෙහි මෙම අඳුරු අර්ධය මත යානයක් ගොඩ බැස්සවීම ඉතා දුෂ්කර කටයුත්තක් ලෙස සැලකේ. එයට එක් හේතුවක් නම් එම අර්ධය මත ගොඩ බසින්නට යාමේ දී යානය සඳට මුවා වීම නිසා එය සහ පෘථිවිය අතර සන්නිවේදන සංඥාවලට බාධා එල්ල වීමයි. සඳ ගවේෂණ කටයුතුවල දැවැන්තයා වන ඇමරිකාව පවා මේ වනතෙක් සඳෙහි මෙම අර්ධය මත යානයක් ගොඩ බස්සවා නැත. නමුත් චීනය මෙයට වසර කිහිපයකට පෙර මෙම දුෂ්කර අභියෝගය ජය ගත්තේය. ඔවුන් මෙම සන්නිවේදන බාධකය ජය ගත්තේ ඒ වෙනුවෙන්ම වෙනම සන්නිවේදන චන්‍දි්‍රකාවක් සඳට ඉහළින් ස්ථානගත කර ඒ හරහා යානය සමග සබඳතා පවත්වා ගනිමිනි. සඳෙහි අඳුරු අර්ධය මත යානයක් ගොඩ බැස්ස වූ මෙම පළමු මෙහෙයුම හැඳින්වුණේ චැංග්ඊ 4 යන නමිනි. එය එහි ගොඩ බැස්සේ 2019 වසරේ යි.
පසුගිය දා අභ්‍යවකාශගත කළ චැංග්ඊ 6 එම අර්ධය මත ගොඩ බසිනවාට අමතරව එහි පස් සහ ගල් සම්පල පෘථිවියට රැගෙන ඒම ද සිදු කරයි. සඳෙහි මෙම අර්ධයෙහි සාම්පල රැගෙන ඒමක් සිදු වන්නේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය සඳහා දින 53 ක කාලයක් ගතවන බව සඳහන් වේ.
චැංග්ඊ 6 ගොඩ බසින්නේ අයිට්කන් ද්‍රෝණිය නමින් හැඳින්වෙන ප්‍රදේශයට ය. එය සුවිසල් ආවාටයක් වන අතර කි.මී. 2,500 ක (සැතපුම් 1,550 ක) පමණ විශ්කම්භයකින් යුතු බව සඳහන් වේ. එහි ගැඹුර කි.මී. 8 ක් (සැතපුම් 5 ක්) පමණ වන බව ද සඳහන් ය. චැංග්ඊ 6 මෙහි ගොඩ බැසීමෙන් පසු විදුම් උපකරණයක් සහ යාන්ත්‍රික හස්තයක් උපයෝගි කරගනිමින් පස් සාම්පල එකතු කරනු ඇත.
විද්‍යාඥයන් මෙම පස් සාම්පල පරීක්‍ෂා කරන්නේ ඒ තුළින් සඳෙහි, පෘථිවියෙහි සහ සූර්ය ග්‍රහ මණ්ඩලයෙහි ආරම්භය සහ ඉතිහාසය ගැන තොරතුරු දැන ගැනීමට හැකි වන නිසා ය.
ඉදිරියේදී ද චීනය සඳ ඉලක්ක කර මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. චැංග්ඊ 6 ව්‍යාපෘතියෙන් පසු මෙම දශකය තුළ තවත් සඳ ගමන් දෙකක් ඔවුන් සැලසුම් කර ඇත. ඒ චැංග්ඊ 7 සහ චැංග්ඊ 8 යන සඳ ගමන් දෙකයි. චැංග්ඊ 7 සඳ ගමනේ අරමුණ වන්නේ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයේ ජලය ඇති තැන් පිලිබඳ අධ්‍යයනය කිරීම යි. සඳෙහි මෙම කලාපයේ ඇති ගැඹුරු ආවාට තුළ අයිස් ජලය ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. කිසි දාක හිරු එළිය නොවැටෙන මෙම ආවාට තුළ අධික ශීතලක් පවතී. මේවායේ ඇති ජලය සොයා ගතහොත් එය ඉදිරි සඳ ගවේෂණ කටයුතුවලට මහෝපකාරී වන කාරණයක් වනු ඇත. වැඩි කල් නොගොස් සඳ මත ස්ථාවර විද්‍යාගාර ඉදි කිරීමට ද විද්‍යාඥයන් තුළ බලාපොරොත්තුවක් තිබේ. මෙවැනි විද්‍යාගාරවල දීර්ඝ කාලයක් නතර වී කටයුතු කිරීමට අජටාකාශගාමීන්ට සිදු වෙයි. ඔවුන්ගේ භාවිතය සඳහා ඉහත කී ජලය යොදා ගැනීමට හැකි වනු ඇත. එසේ නොමැති වුවහොත් ජලය පෘථිවියේ සිට රැගෙන යාමට සිදු වේ. එය දුෂ්කර සහ වියදම් අධික කටයුත්තකි.
චැංග්ඊ 8 නැමැති සඳ ගමනෙන් බලාපොරොත්තු වන්නේ සඳ මත ස්ථාවර විද්‍යාගාරයක් ඉදි කිරීමට ඇති හැකියාව පිලිබඳ වැඩි දුරටත් අධ්‍යයනය කිරීම යි. චැංග්ඊ 8 සඳ ගමන දියත් කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේ ය.
2030 වනවිට සඳ මත අජටාකාශගාමියකු ගොඩ බැස්සවීමට ද චීනය බලාපොරොත්තු වේ. මේ වනවිට මෙම වික්‍රමය කිරීමට සමත්ව ඇත්තේ ඇමරිකාව පමණි.
නිහාල් පීරිස්