චීන කාබනික පොහොර අර්බුදය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ඔඩු දුවා අවසාන ය. චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් දක්වනුයේ චීන රජයේ හඬ මිස ඔහුගේ පෞද්ගලික මතයක් නොවේ. චීන රජයේ නියෝජිතයා ලෙස ඔහු මෙරට කියන කරන සෑම දෙයකම වගකීම පවතින්නේ චීන රජය සතුව ය. එම නිසා ඔහු චීන රජයේ අනුදැනුමකින් තොරව කිසිවක් කියනු ඇතැයි සිතිය නොහැකිය.ඒසේ කියන්නේ නම් ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවේ.
මෙරට චීන තානාපතිවරයා පසුගිය දා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවේය. මහනුවර හා චීනයේ චින්ඩාවෝ නගරය සමගාමීව දියුණු කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වුවද එහි යට තිබුණේ මෙරට දී ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර අර්බුදය ය.
කාබනික පොහොරවල ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවියෙකු සිටින බවට හෙළිදරව් වීමත් සමඟ එම පොහොර මෙරටට ගොඩ බෑම තහනම් කරනු ලැබීය. නමුත් චීනය දිගින් දිගටම කියා සිටියේ සිය රටේ පරික්ෂණාගාරවලදී කළ පරීක්ෂා කිරීම්වල දී එවැනි ක්ෂුද්‍ර ජීවියෙකු හමු නොවූ බව ය. එම නිසා දෙපාර්ශවයම එකඟ වන තුන්වන පාර්ශවයක් හරහා පොහොර තොගය පරීක්ෂා කළ යුතු බවට ඔවුහු යෝජනා කළහ..
මෙරටට කාබනික පොහොර ආනායනය කරනු ලැබුවේ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම හරහා ය. එම කාබනික පොහොර සාම්පල මෙරට රසායනාගාරවල දී පරීක්ෂා කොට ප්‍රතිඵල ලැබෙන්නටත් පෙර පොහොර තොගය මෙරටට එවීමට නැව් ගත කර තිබුණි. කටුනායක පිහිටි ශාක නිරෝධායන සේවයේ පරීක්ෂණාගාරයේ දී කළ පරික්ෂාවේදී මෙහි අර්වේනියා නම් පසට අහිතකර ක්ෂුද්‍ර ජීවියෙකු සිටින බවට අනාවරණය වන්නේ මේ අතර ය.
දෙවන තුන්වන පරික්ෂාවන්ගෙන් ද පොහොරවල මෙම ව්‍යාධි ජනක පවතින බවට තහවුරු වීම නිසා චීන කාබනික පොහොර මෙරටට ගොඩ බෑම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා තහනම් කළේය. නමුත් පොහොර තොගය රැගත් නැව සති කිහිපයක් තුළ මෙරටට ආසන්න ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලා ගත්තේය.
නමුත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා පොහොර තොගය ගොඩබෑමට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා චීන වාණිජ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහජන බැංකුවේ අසාදු ලේඛන ගත කළේය. මන්ද ලංකා පොහොර සමාගම මහජන බැංකුව හරහා පොහොර ආනයනයට ණයවර ලිපි නිකුත් කර තිබූ නිසා ය. කෙසේ වෙතත් රජය පෙන්වා දුන්නේ වාණිජ බලපත්‍ර නිකුත් කිරීමට පෙර පොහොර තොගය නැව්ගත කිරීම තුළ චීන සමාගම වරදක් කොට ඇති බව ය.
මේ අතර චීනය ද ලංකාවේ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටියි. ඒ අනුව චීන කාබනික පොහොර ආනයනයට ණයවර ලිපි නිකුත් කර තිබියදී පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් සිය සමාගමට ඩොලර් මිලියන 8 ක පාඩුවක් සිදුව ඇති බව ඔවුහු පවසති. අනෙක් කාරණය චීන රජය ද තුන්වන පාර්ශවයකින් පොහොර සාම්පල පරික්ෂා කළ බවත් එහි ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවින් නොමැති බවට තහවුරු වී ඇති බවත් පවසමින් චීන සමාගම සහතිකයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දුන්නේය.
ලංකාවේ ශාක නිරෝධායන සේවයට පරිබාහිර කිසිදු වාර්තාවක් පිළිගැනීමට ශ්‍රී ලංකා රජය බැඳී නැතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මේ කාලය අතරතුර ය. නමුත් චීන රජය දිගින් දිගටම ඉදිරිපත් කළ යෝජනාව වූයේ තුන්වන පාර්ශවයක් හරහා පොහොර පරික්ෂා කළ යුතු බවට ය. චීන තානාපතිවරයා එක් අවස්ථාවක කියා සිටියේ රජය තුන්වන පාර්ශවයක පරීක්ෂාවකට අනුමැතිය දුන් බව ය. එවන්නක් තමන් නොදන්නා බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
එසේම ශාක නිරෝධායන පනත ප්‍රකාරව මෙරට ශාක නිරෝධායන සේවයක් පවතින බැවින් තුන්වන පාර්ශවයක පරික්ෂාවක් කළ නොහැකි බව ද ඔහු පැවසුවේය. එම නිසා පෙහොර ගොඩබෑමක් සිදු නොවන බව ද ඔහු කියා සිටියේ ය. එසේ වුවත් චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාව කලුතරට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලා සිටියි.
මේ අතර මෙරට ප්‍රධානීන් කිහිප දෙනෙක් ද චීන පොහොර ගොඩබෑමට උත්සාහ කරමින් සිටිති. චීනය සමග පවතින ජාත්‍යන්තර සම්බන්ධතා පොහොර ප්‍රශ්නයක් හේතුවෙන් පළුදුකර ගත නොහැකි බව ඔවුහු පෙන්වා දෙයි. නමුත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වරයා ඊට එකඟතාවය පළකර නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් චීන සමාගම කියන ඩොලර් මිලියන 8 ක පාඩුව ගෙවීමට රජයට සිදුවන තත්ත්වයක් උදාව ඇතැයි වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ පොහොර තොගය රැගෙන ගොස් ශ්‍රී ලංකාවට ගැලපෙන පොහොර තොගයක් යොමු කළ හොත් බාර ගැනීමට සුදානම් බවය. එහිදී සමාගමට සිදුවූ පාඩුව හවුලේ බෙදා ගැනීමට එකඟ වී ඇති බවට ද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එතනදී ද ඩොලර් මිලියන 5.6 ක් ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු බවට කොන්දේසියක් ද චීනයෙන් ඉදිරිපත්ව තිබේ. ඊට අමතරව නැව් ගාස්තු ද ගෙවන ලෙස චින සමාගම දන්වා ඇත.
එසේම චීන රජය කියන තවත් කරුණක් වන්නේ පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ආනයන බලපත්‍රයකින් තොරව මෙරටට ආනයනය කිරීම හේතුවෙන් මිසක පොහොරවල විස සහිත බැක්ටිරියාවක් තිබීම හේතුවෙන් නොවන බවට රජය ප්‍රකාශයක් කළ යුතු බවකි.
චීනය මේ ගැටළුවේදී ලෙහෙසියෙන් පසු බසින බවක් දක්නට නැත.එමෙන්ම “ගෙම්බර් පාට්” දානවා යන අපගේ ජන වහර සහ චීනයේ මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය අතර සම්බන්ධයක් නැත්තේම යැයි කීමට ද නොපුළුවන.එමෙන්ම එහි අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකි දැයි තවමත් කීමට ද නොහැකිය.
ලසන්ත වීරකුලසූරිය