සුරතල් සතුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දිය යුත්තේ ඇයි?

සුරතලයට ඇති කළත්, ආරක්ෂාව සඳහා ඇති කළත් සුරතලා නිරෝගීව සිටීම ඔබට වගේම ඒ සතාටත් හරිම සහනයක්. මෙසේ නිරෝගීව තබා ගැනීම සඳහා ගතහැකි ඉතා වැදගත් පියවරක් තමයි සතාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම. ඔබ ඇතිදැඩි කිරීම සඳහා අභිජනනය කරන ලද සුනඛ පැටවකු මිලදී ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහමග සිටි අසරණ වූ සුනඛ පැටවකු ගෙදරට ගෙන එනවා වෙන්නත් පුළුවන්. මේ කොයි විදිහට ගෙනාවත් ඔබේ සුනඛ පැටවා කුඩා වයසේදී සිටම ක්‍රමානුකූලව එන්නත් කිරීම ඉතා වැදගත්.

මෙම ප්‍රතිශක්තීකරණ එන්නත් මගින් සිදුකරනු ලබන්නේ සතාට මාරාන්තික වන රෝග කිහිපයකින් වැළකීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කිරීමයි. බොහොමයක් වෛරස් රෝගවලට ඖෂධ නැති බව ඔබ දන්නවා. එවැනි රෝග වැළඳීමෙන් වළක්වා සතා නිරෝගීව තබා ගැනීමට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් ඉවහල් වෙනවා.

එන්නත් මගින් ප්‍රතිශක්තිය ඇති වන්නේ කොහොමද?

එන්නත් ශරීර ගත කළාට පස්සේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එහි සෛල මගින් මෙම වෛරසය හඳුනාගත් පසු එම වෛරසයට සතාගේ ශරීරය ආක්‍රමණය කිරීම සඳහා මතු ඉඩ නොදීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ නිසා තමයි එන්නත් කරපු සතෙකුට එම රෝගය වැළඳෙන්නෙ නැත්තේ. යම්කිසි විදියකින් වැළඳුනත් එම වෛරසයට සතාගේ ශරීරයේ සඳහා කළ හැකි හානිය ඉතාමත්ම සුළුයි.

එන්නත් නිපදවන්නේ විද්‍යාගාර තුළ යි. කිසියම් රෝගයක් සඳහා එන්නතක් නිපදවන විට එම රෝගය ඇති කරනු ලබන වෛරසයම තමයි ඒ සඳහා යොදාගන්නේ. සමහර එන්නත්වලට එම රෝගකාරක වෛරසයේ අජීවී වෛරස් යොදා ගන්නවා. තවත් සමහර එන්නත්වල සැර බාල කරන ලද සජීවී වෛරසය අඩංගු වෙනවා. තවත් සමහර එන්නත්වල තිබෙන්නේ එම රෝගකාරක වයිරසයට අදාළ ප්‍රෝටීන් වර්ගයි.
මෙම එන්නත් ශරීර ගත කළාට පස්සේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එහි සෛල මගින් මෙම වෛරසය හඳුනාගත් පසු එම වෛරසයට සතාගේ ශරීරය ආක්‍රමණය කිරීම සඳහා මතු ඉඩ නොදීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ නිසා තමයි එන්නත් කරපු සතෙකුට එම රෝගය වැළඳෙන්නෙ නැත්තේ. යම්කිසි විදියකින් වැළඳුනත් එම වෛරසයට සතාගේ ශරීරයේ සඳහා කළ හැකි හානිය ඉතාමත්ම සුළුයි. මනුෂ්‍යයන් සඳහා ලබාගෙන ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් ශරීරයට කරන්නේත් මෙවැනිම මෙහෙයක් තමයි. කොහොම වුණත් සුනඛයෙකුට හෝ බළලෙකු වැනි ඕනෑම සතෙකුට වුවද එන්නත් විදීම කළ යුත්තේ සුදුසුකම් ලත් පශුවෛද්‍යවරයකු විසිනුයි. එන්නත් කිරීම යනු නිකන්ම නිකන් ඉන්ජෙක්ෂන් එකක් විදීමම නොවෙයි. එන්නතක් ශරීරය තුළ ක්‍රියාත්මක වීම සඳහා බලපාන සාධක රාශියක් තිබෙනවා. ඒවා ආවරණය වෙන විදිහට තමයි එන්නත් කිරීම සිදු කළ යුත්තේ. ඒක නිසයි මේක නිකන්ම නිකන් ඉන්ජෙක්ෂන් එකක් පමණක් නොවෙයි කියලා කීවේ. ඒ වගේම මෙය සුදුසුකම් ලත් පළපුරුදු පශුවෛද්‍යවරයකු වෙතින්ම විදවා ගැනීම වැදගත් වන්නේත් ඒ නිසයි.

සුනඛයන් සඳහා එන්නත් ලබා දෙන රෝග:

* ජලභීතිකා එන්නත

මෙය ඉතාමත් වැදගත් එන්නතක් වන්නේ මෙම රෝගය මාරාන්තික නිසයි. රෝගය වැළඳුණු සතෙකු වෙනත් නිරෝගී සතෙකුව හෝ මනුෂ්‍යයෙකුව සපා කෑවොත් කෙළ මගින් එය වැළඳෙනවා. සතාගේ සපා කෑමෙන් පසු එම නිරෝගී පුද්ගලයාට පැය 72 ක් තුළදී රෝහලකින් නිසි ප්‍රතිකාර නොලැබුණහොත් රෝගය වැළඳී මාරාන්තික වනු ඇති. එනිසා ඔබ ඇතිදැඩි කරන සුනඛ පැටවාට ජලභීතිකා එන්නත දීම අනිවාර්යයෙන්, අමතක නොකර කළ යුතු දෙයක්.

පාවෝ රෝගය

මෙයද මාරාන්තික රෝගයක්. බඩවැල්වල තුවාල ඇතිවී එයින් වහනය වන රුධිරය මළ සමග පිටවීම මෙහි ස්වභාවයයි. විදින ආකාරයෙන් දියර ලෙස මළ පිටවන අතර එම මළ අධික දුගඳකින් යුතුයි. කුඩා පැටවුන්ට මෙම රෝගය වැළඳුනහොත් මිය යාමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.

පක්ෂාඝාත රෝගය

ඩිස්ටෙම්පර් නමින් හඳුන්වන මෙය ද ඉතා ඉක්මනින් බෝවෙන වෛරස් රෝගයක්. පිටුපස ගාත්‍රා දෙක අප්‍රාණික වන අතර මෙයද මාරාන්තික යි.

අක්මා ප්‍රදාහය හෙවත් හෙපටයිටිස් රෝගය :

රෝගී වූ සතෙකුගේ මළ මුත්‍රා හෝ වෙනත් දියර මගින් බෝවෙන මෙම රෝගය සුව කිරීම අපහසුයි. සුව වුවත් විවිධ සංකූලතා පැවතිය හැකියි.

මී උණ රෝගය :

රෝගී සතෙකුගේ මුත්‍රා මගින් බෝවෙන මෙම රෝගයට ප්‍රතිකාර කළ හැකි වුවත් බොහෝ විට මාරාන්තිකයි.

එන්නත් වර්ග:

විවිධ ආයතන මගින් නිෂ්පාදනය කරන ලද විවිධ එන්නත් වර්ග තිබෙනවා. ඒ අනුව තනි එන්නත් ලෙසින් වගේම, රෝග දෙකක හෝ තුනක එකතුවක් විදිහට නිෂ්පාදනය කරන ලද එන්නත්ද තිබෙනවා.

DHL එන්නත

පක්ෂාඝාත රෝගය (Distemper ) , අක්මාප්‍රදාහය (Hepatitis ), මීඋණ (Leptospirosis) යන රෝග තුන සඳහා තමයි DHL එන්නත නිපදවා තිබෙන්නේ.

DHPL එන්නත

ඉහත කී රෝග තුනට අමතරව පාවෝ රෝගයද එකතු කර මෙම එන්නත නිපදවා තිබෙනවා .

මේ හැරුණු විට අනෙක් ප්‍රධාන එන්නත වන්නේ ජලභීතිකා එන්නත යි.

සුනඛ පැටවාට එන්නත් ලබාදිය යුත්තේ කුමන කාල වලදීද?

සාමාන්‍යයෙන් එන්නත් ලබාදීම සඳහා පශු වෛද්‍යවරයකු වෙතට ගෙනගිය පසු එම වෛද්‍යවරයා විසින් සතාව පරීක්‍ෂාවට ලක් කරනු ලබනවා. සතාගේ වයස, බර, සෞඛ්‍ය තත්ත්වය යන මේ සියල්ල පරික්ෂාවට ලක් කරනවා. මේ සියල්ල නිසි ලෙස සම්පූර්ණ නම් පමණයි එන්නත් ලබාදීම ආරම්භ කරන්නේ. සුරතලා පශු වෛද්‍යවරයකු වෙතට ගෙන ගොස් එම වෛද්‍යවරයා ලවාම එන්නත් ලබාදීම වැදගත් බව ඉහත සඳහන් කළේ ඒ නිසයි.

කුමන හෝ බ්‍රීඩ් එකකට අයිති සුනඛ පැටවෙක් නම් එම සුනඛ පැටවාගේ දෙමාපියන් එන්නත් ලබාදුන් අයයි. එවැනි මවකගේ පැටවකු ඉපදී මාස 2 – 3 ක් පමණ යනකල් මව්කුසේ සිටියදී මවගෙන් ලැබුණු ප්‍රතිශක්තිය ශරීරයේ ක්‍රියාත්මක වෙනවා.
එවැනි පැටවෙකුට වයස මාස එකහමාරක් දෙකක් පමණ වනවිට පාවෝ රෝගයට අදාළ එන්නත ලබාදිය යුතුයි. මව්කුසේ සිටියදී ලැබුණු ප්‍රතිශක්තිය තිබෙන නිසා එවැනි පැටවෙකුට සති හයකට කලින් එන්නත ලබා දුන්නොත් එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන්න ඉඩ තිබෙනවා.
මේ අනුව සති 6 දී පාවෝ එන්නත දී , ඉන්පසු සති 8 දී DHL එන්නතත්, සති 10 දී ජලභීතිකා එන්නතත් ලබාදීම සුදුසුයි.
මේ එන්නත්වල පළමු මාත්‍රාව යි. ඉන්පසු දෙවන මාත්‍රාව ලෙස සති 12 දී පාවෝ එන්නතත්, සති 14 දී DHL එන්නතත්, සති 16 දී ජලභීතිකා එන්නතත් ලබාදීම සුදුසුයි.


නමුත් මේ කාලසටහන වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් එන්නත් ලබාදීම සඳහා පශු වෛද්‍යවරයකු වෙතට ගෙනගිය පසු එම වෛද්‍යවරයා විසින් සතාව පරීක්‍ෂාවට ලක් කරනු ලබනවා. සතාගේ වයස, බර, සෞඛ්‍ය තත්ත්වය යන මේ සියල්ල පරික්ෂාවට ලක් කරනවා. මේ සියල්ල නිසි ලෙස සම්පූර්ණ නම් පමණයි එන්නත් ලබාදීම ආරම්භ කරන්නේ. සුරතලා පශු වෛද්‍යවරයකු වෙතට ගෙන ගොස් එම වෛද්‍යවරයා ලවාම එන්නත් ලබාදීම වැදගත් බව ඉහත සඳහන් කළේ ඒ නිසයි. පශු වෛද්‍යවරයා වෙතට සතා ගෙන ගියපසු සතාගේ උණ පරීක්ෂා කර බලනවා. ඒ වගේම සතා කෑම කනවද, හොඳට සෙල්ලම් කරනවද වැනි ප්‍රශ්න එම වෛද්‍යවරයා ඔබෙන් විමසාවි. මේ කිසිවක ගැටලුවක් නැත්නම් සතාට එන්නත් ලබාදීම වෛද්‍යවරයා විසින් ආරම්භ කරනවා. යම්කිසි විදියකින් අසනීපයක් තිබෙන විට එන්නත් කළොත් එම රෝගය වැඩි වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා තමයි එන්නත් කිරීමට පෙර සුනඛ පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නේ. සතාගෙන් සතාට එම සතාගේ තත්ත්වය අනුව ප්‍රතිශක්තිකරණ කාලසටහනේ සුළු වෙනස්කම් ඇතිවිය හැකියි.

සුනඛ පැටවාගේ මව නිසි ලෙස එන්නත් කර නැත්නම් හෝ මව ගැන විස්තර නොදන්නේ නම්, එසේත් නැතහොත් පැටවා මහපාරේ හිඳ ලබාගත් කෙනෙක් නම්, පැටවාට පළමු එන්නත ලෙස ලබාදෙන්නේ ජලභීතිකා එන්නතයි. ඉන් සති 2 කට පසු පාවෝ එන්නතත්, එයින් සති 2 කට පසු DHL එන්නතත් ලබාදිය යුතුයි.
ඉන්පසු දෙවන මාත්‍රාවත් ලබාදීමෙන් අනතුරුව වසරක් පාසා එන්නත් කිරීම සිදු කළ යුතුයි.
කිසි දිනක එන්නත් කර නැති වැඩුණු සුනඛයෙකු නම් පශු වෛද්‍යවරයෙකුට පෙන්වා නිවැරදි කාලසටහනකට අනුව එන්නත් කිරීම ආරම්භ කිරීම ඉතා වැදගත්.

එන්නත් කිරීමෙන් දින කීපයක් යනතුරු සතාව නෑවීම නොකළ යුතුයි. ඊට හේතුව එන්නත් කිරීමෙන් පසු සතාට සුළු උණ තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබීමයි. එවැනි තත්ත්වයකදී නෑවීම මගින් උණ වැඩි වෙන්න පුළුවන්.
එසේම සමහර සුනඛයන්ට එන්නත් කළ සැනින් අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා එන්නත් කළ දිනයේ සතා කසනවාද, සතාගේ සමේ පළු හටගෙන තිබෙන්නේද වැනි දේවල් පරීක්ෂා කර බැලිය යුතුයි. අසාත්මික ලක්ෂණ තිබේ නම් එන්නත් කරන ලද වෛද්‍යවරයාටම පෙන්වන්න.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය