ඔබ මේ මොහොතේ ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා හිතේ අවුලෙන්ද ?
දුකෙන් ? ආත්ම අනුකම්පාවෙන්? තරහෙන්?
සාධාරණයි! ප්‍රශ්න ආපුවම බොහෝ දෙනෙකුගේ හිත් අවුල් වෙනව.
හැබැයි ප්‍රශ්න නැතුව අපිට මේ ලෝකයේ ජීවත් වෙන්න බැහැ. අලුතෙන් ඉපදෙන කිරි දරුවාගේ ඉඳලා අවසන් සුසුම් හෙලන මහල්ලා දක්වා හැමෝටම ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්නයක් විසදෙනකොට තව එකක්.
ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්නවලට විසඳුම් සොයමින් ඉදිරියට යන ගමනක් නේද?
අපිට තුන් විදිහකින් ප්‍රශ්න එනවා.
1.ස්වභාව දහමෙන් ඇතිවන ප්‍රශ්න
2.අනිත් මිනිස්සු අපට ඇති කරන ප්‍රශ්න
3. අපිම ඇතිකරගන්න ප්‍රශ්න
අධික වර්ෂාව ,ගංවතුර, අධික උෂ්ණත්වය ,නියඟය , භව භෝග විනාශ වීම, වගේ ස්වභාවධර්මයෙන් අපට ප්‍රශ්න ඇතිවෙනවා.
ඊළඟට, අපිට අනිත් මිනිස්සු නිසා බොහෝ කරදර ප්‍රශ්න ඇති වෙනවා. මිනිසුන්ගේ කුහක කම, ඊර්ෂ්‍යාව , ආත්මාර්ථකාමී කම, තණ්හාව, අධික කාමුකත්වය, බීමත්කම, කෝපය, අර පරිස්සමක් නැතිකම, වංචාව, වංකකම, හොරකම,ඉවසීම නැතිකම, උඩඟුව, බොරුව, තරගකාරී බව, බල ලෝභය, නිල ලෝභය ,කෘතඥතාවයක් නැතිකම, යනාදී බොහෝ සෘණාත්මක ගති පැවතුම් නිසා අපට අනන්තවත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
තුන්වෙනුව, අපි බොහෝ ප්‍රශ්න ඇති කරගන්නේ විහින්.
දෙමව්පියෝ වැඩිහිටියෝ දෙන අවවාද අපි ගණන් ගන්නේ නැතුව අමාරුවේ වැටෙනව. වැරදි පෙම්වතුන් පෙම්වතියන් තෝරාගන්නව. හැඟීම් වලට වහල් වෙලා තාවකාලික සුවයක් හඹා ගිහින් සදාකාලික ගින්දරකට වැටෙනවා. වැරදි මිනිසුන්ව ආශ්‍රය කරනවා ,විශ්වාස කරනවා.
දියුණු වෙන්න අවස්ථාව අත ළඟ තියෙද්දී කම්මැලිකමට නිදාගෙන ඉඳලා , පස්සේ ලතවෙනවා.
බොහෝ දුරට මේ දෙවැනි සහ තුන්වෙනියට සඳහන් කළ වර්ග දෙකේ ප්‍රශ්න සම්මිශ්ර වෙලා තමයි අපිට ගිනි පත්තු වෙන්නේ.
ඒ කියන්නේ අපි අනිත් අයට දොස් කිව්වට, අපෙත් වැරදි නිසා තමයි අපි අද විඳවන තත්වයට පත්වෙලා තියෙන්නේ.
පණ වගේ ආදරෙන් හිටපු මිනිස්සු වෙනස් වෙනවා. මුළු ජීවිත කාලයටම එකට ඉන්න හිතාගෙන විවාහ වුණු සමහරු දික් කසාද උසාවිය දක්වා යනවා. බඳින්න ඉස්සෙල්ල හිටපු පුද්ගලයා නෙමෙයි බැන්දට පස්සේ දකින්න ලැබෙන්නේ.
සමහරුන්ගේ සැබෑ ස්වභාවය මතුවෙන්නෙ අවුරුදු ගණන් ගියාට පස්සේ. ඒත් එතකොට පමා වැඩියි. හැබැයි බොහෝ විට වේදනාවෙන් හඬන්න වෙන්නේ , විඳවන්න වෙන්නේ අහිංසක පාර්ශවයට. අවංකව ආදරය කරපු තැනැත්තට.
හිත් පිත් නැති මිනිස්සු අපේ දේවල් හොරකම් කරනවා, අපිට වංචා කරනවා අනන්තවත් පාඩු කරනවා .ශාරිරිකව හිරිහැර කරනවා.
සමහර විට ඊටත් වැඩිය භයානක දේ තමයි මානසිකව විඳවන්න සිදුවීම.
ශාරිරික වේදනාවට වැඩිය මානසික වේදනාවෙන් ගොඩ එන්න හරිම අමාරුයි.
අනුන් කරන වරදක් නිසා සමහර විට ජීවිත කාලයක් වුනත් ඔබ අපරාදේ අසාධාරණ විදිහට මානසිකව දුක් විඳින්න ඉඩ තියෙනවා.
ඉතින් අපිට මේ ක්‍රම තුනෙන් මොන විදිහට ප්‍රශ්න ආවත්, මේ ප්‍රශ්න ඇතිවෙච්ච විදිය නෙමෙයි වැදගත් වෙන්නෙ .
මේ ප්‍රශ්න මැද්දෙ කොහොමද හිතේ සැනසීමෙන් ජීවත් වෙන්නේ කියන එකයි වැදගත් වෙන්නේ, නේද?
මේක මතක තියාගන්න. කුරුල්ලෙක් ඇවිත් අපේ ඔලුවේ වහන එක අපිට නවත්තන්න බැරි වෙන්න පුළුවන් .ඒත් අපේ කොන්ඩෙන් කූඩුවක් හදන එකනං අනිවාර්යෙන්ම නවත්තන්න පුළුවන්.
ඒ වගේ, අපට ප්‍රශ්න එන එක නවත්තන්න බැරිවෙන්න පුලුවන්.ඒත් ඒ ප්‍රශ්න වලට අපේ ඔලුව අවුල් කරන්න ඉඩ නොදී බුද්ධිමත්ව අපේ ප්‍රශ්නවලට පිළිතුරු හොයා ගන්න අපට පුළුවන්.
කොහොමද?
මෙන්න උත්තරේ!
ඔබේ හිතට වද දෙන්නෙ ප්‍රශ්නෙ නෙමෙයි, ප්‍රශ්නෙට ඔබ දක්වන ප්‍රතිචාරය අනුව බව තේරුම් ගන්න. හොඳටම තේරුම් ගන්න.
බොහෝ අවස්ථාවල අපට ප්‍රශ්නයක් ආපුවහම අපි කලබල වෙනවා , හිත අවුල් කරගන්නවා, කේන්ති ගන්නවා ,දුකෙන් කඩා වැටෙනවා. එහෙම වුණාම මනස හරියට ක්‍රියාකාරී වෙන්නෙ නැහැ. කලබලකාරී අවුල් සහගත මනසකින් නිවැරදි විසඳුම හොයාගන්න බැහැ.
ඒත් , හිතේ සන්සුන් බව හෝ නොසන්සුන් බව තීරණය කරන්නේ ප්රශ්නය විසින් නෙවෙයි අපි ඒ ප්‍රශ්නයට දක්වන ප්‍රතිචාරය මතයි කියන එක හොඳට තේරුම් ගත්තොත් තත්ත්වය මීට වැඩිය බොහෝ සෙයින් වෙනස් වෙනවා .
කොච්චර හිත දවන අවුල් සහගත ප්‍රශ්නයක් වුණත් නිවැරදිව විසඳගන්න නම් හිත සන්සුන් විය යුතුම බව තේරුම් ගන්න . සමහර විට අමාරුම දේ ඒක වෙන්න පුළුවන්.
ඒත් ඔබ දක්ෂ ලෙස ඔබගේ මනස පාලනය කරගන්න දන්න කෙනෙක් නම් ප්රචණ්ඩ මුහුදක පාවෙන සැහැල්ලු පොරොප්පයක් වගේ, කොතරම් දුෂ්කර ප්‍රශ්න මැද වුණත් හිතේ සාමය පවත්වාගෙන යන්න බැරිකමක් නැහැ.
බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගෙ හිතට සුවය සැනසීම ලබාදීම අනිත් අයගේ වගකීමක් කියල.
නෑ! ඒක එහෙම නෙමෙයි.
ප්රශ්නය විසඳගන්න අනිත් අයගේ උදව් අවශ්‍ය වෙන්න පුළුවන්. අනිත් අය උදව් කරනවා වෙන්න පුළුවන්. ඒත් අපේ හිතේ සන්සුන් බව සැහැල්ලු බව පාලනය කර ගැනීම සම්පූර්ණයෙන්ම අපේ වගකීම. වෙන කාගේවත් නෙමෙයි.
ඒත් ගොඩක් දෙනෙක් ඒක දන්නෙ නැතුවයි වැඩකරන්නේ. ඒකයි හිතෙන් දුක් විදින්නේ.
අද බොහෝ දෙනෙක් කරන්නේ එක්කෝ තරහා අරගෙන මුළු ලෝකෙටම බනිනවා, එහෙම නැත්නම් පලිගන්න සැලසුම් කරලා තවත් ප්‍රශ්න වැඩි කර ගන්න හදනවා. තමන්ට වෙච්ච ප්රශ්නය ගැන මුළු ලෝකයටම කියව කියව ඇවිදිනවා.
තවත් සමහරු කාටවත් කියන්නේ නැතුව ඇඳට වෙලා කොට්ටෙට මූණ ඔබාගෙන අඬනවා, දුක් වෙනවා, නිදි නැතිව රැය පහන් කරනවා.
මේ කිසිම දේක ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. අපරාදෙ ජීවිතය නාස්තිවීමක් විතරයි වෙන්නේ.
ඔබට ප්‍රශ්න ඇතිවුණේ මොන හේතුවක් උඩ වුණත් , කාගෙ වරදක් නිසා වුණත් , ඔබේ හිතේ සන්සුන් බව රැකගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ සතුයි කියන එක අවබෝධ කරගන්න.
අනුන් ඔබට කළ වැරදි අසාධාරණ වෙන්න පුළුවන්. ඔබත් මෝඩ උනා වෙන්න පුළුවන්. ඒත් දැන් ඒ ගැන හිතන එකේ කිසිම තේරුමක් නැහැ. ජීවිතය කෙටියි .අපේ හිතේ සතුට හෝ අසතුට ඇතිකර ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම අප සතුයි.
ඒ හින්දා අනිත් අයගේ අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා. අනවශ්‍ය උදව් බලාපොරොත්තු වෙන්නත් එපා. . ඔබේ සිත අයිතිකරු ඔබයි. ඔබ මානසිකව ශක්තිමත් නම් ඔබව වට්ටන්න කිසි කෙනෙකුට බැහැ. ජීවිත කාලයක් ඔබට වද දුන් ප්‍රශ්නයක් වුණත් විසඳගන්න ඔබට බැරිකමක් නැහැ..
ආත්ම අනුකම්පාවෙන් කොට්ටේ බදාගෙන නිදාගත්තට ප්‍රශ්න විසඳෙනවාද? නැහැනේ…
ලත වීම, තරහා ගැනීම, දුක් වීම සත පහක වැඩක් නැති දෙයක් බව අමාරුවෙන් හරි හොඳට පැහැදිලිව තේරුම් ගන්න.
කිසිම ප්‍රශ්නෙකට ඔබව වහලෙක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සිතිවිල්ලෙන් මානසිකව අළු ගසා දාලා නැගිටින්න.යෝධයෙක් වගේ ප්‍රශ්නයට මුහුණ දෙන්න.
තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන කතාව ඇත්ත.
අපේ හිතේ සැනසීම හෝ නොසන්සුන් බව තීරණය කරන්නේ අපිම මිසක් බාහිරෙන් එන කිසිවක් හෝ කිසිවෙක් විසින් නෙමෙයි කියන එක හොඳට තේරුම් ගත්තොත්…
ඔබේ හිතට වද දෙන්නෙ ප්‍රශ්නෙ නෙමෙයි, ප්‍රශ්නෙට ඔබ දක්වන ප්‍රතිචාරය අනුව බව හොඳටම තේරුම් ගත්තොත්… ජීවිත ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් හොයාගන්න හැකිවේවි. ඔබට ජීවිතය ගොඩාක් පහසුවේවි.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු