“පිස්සන් රජ වුණත් එකයි. රජුන් පිස්සෝ වුණත් එකයි. කාගේ ගෑණු කොහේ ගියත් අපේ නමට ලැබෙයි ළමයි.” මේ 1980 දශකයේ වේදිකා නාට්‍යයක දෙබස් කණ්ඩයකි. රටේ වත්මන් තත්ත්වය එදා එම නාට්‍ය රචකයා දිවැසින් දුටුවාද යන සැකය අද රට තුළ සිදුවන දේ දුටු විට මතු වෙයි.රටේ ජනතාව අද අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන තත්ත්වයකට පත් ව හිඳිති.
වත්මන් දේශපාලන තත්වය පිළිබඳව පවත්නා පොදු ජනතා සමාලෝචනයක් තිබේ.එනම් ආණ්ඩුව පිස්සු කෙළිනවා යන්න ය.අය වැය විවාදයට එක් වූ කුමාර වෙල්ගම මන්ත්‍රී වරයා මේ කතාව මෙලෙසින්ම කීය.ආණ්ඩුව කෙළින පිස්සුවල අනිටු ප්‍රතිඵල භුක්ති විදීමට සිදුව ඇත්තේ ආණ්ඩුවට ඡන්දය දුන්, නොදුන් සමස්ත ජනතාවටම ය. රට වැසියා අද තමන් පත්ව ඇති ඉරණම ගැන කරන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිව තුෂ්නිම්භූතව සිටියි.
අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගේ හිඟයක් පවතින අතර තිබෙන භාණ්ඩ ද ගිණි ගණන් ය. ගෑස් රට තුළ ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. එම නිසා භාණ්ඩ සොයා ගැනීම වෙනුවෙන් තරඟයක් නිර්මාණය වී තිබේ. එසේම වෙළෙන්දා ද සිතූ සිතූ මුදලට භාණ්ඩ අලෙවි කරමින් සිටියි. පාලන මිලක් නැත. අද පැවැති මිල හෙට නැත. හෙට පැවැති මිල අනිද්දාට නැත.
අතීතයේ දී මිල පාලනය කළේ මිල පාලන දෙපාර්තමේන්තුව විසිනි. ඊට ඇති බලතල ප්‍රමාණවත් නොවන බව කියමින් පාරිභෝගික සේවා අධිකාරිය පිහිටුවනු ලැබීය. නමුත් ඉකුත් කාලසීමාව තුළ ජනාධිපතිවරයා විසින්ම මිල පාලන ගැසට් කිහිපයක් අවලංගු කරමින් නිකුත් කළ ගැසට් නිවේදන හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ තටු කැපී ගියේය.අද වන විට පාරිභෝගික සේවා අධිකාරිය පොට්ට කාසියකි.
අත් තටු කපා දැමූ පාරිභෝගික අධිකාරිය නම් පක්ෂියාව ආණ්ඩුව අහසට වීසිකර ඇති අතර ජනතා පියාසර කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටී. නමුත් පාරිභෝගික අධිකාරියට අද කළ හැකි දෙයක් නොමැත. මේ බව දන්නා වෙළෙඳුන් සිතු මනාපෙට භාණ්ඩ අලෙවි කරමින් සිටිති.
ලාෆ් ගෑස් ඇත්තේම නැත. ලිට්රෝ ඇත්තේ සීමිත ප්‍රමාණයක් පමණකි. ගෑස් නොමැති වීම හේතුවෙන් රටේ වැඩි පිරිසකට තුන් වේලක් කන්නට සිදුව ඇත්තේ කඩෙනි. එය ආහාර අලෙවි කරන්නන් ද හොදින් දන්නා කාරණයකි. මේ නිසා ඔවුහු තමන්ගේ හිතු මනාපෙට ආහාර මිල තීරණය කරති. .
ආර්ථික අර්බුදය පැමිණීමට පෙර සෑම ආපන ශාලාවකම ඉඳි ආප්පයක් අලෙවි වූයේ රුපියල් 4.00 ට ය.නමුත් දැන් එවැනි තත්ත්වයක් නැත.පසුගිය 20 වනදා අප හිතවතෙකුට ඉඳිප්ප දහයක් , බිත්තර කරියක්,පොල් සම්බෝල ටිකක් හා ප්ලේන්ටියක් වෙනුවෙන් හෝටලයකට ගෙවීමට සිදුවූ මිල රුපියල් 200 කි. ඉඳි ආප්පයක් රුපියල් 4.00 ක මිලම දමා ගණනය කළත් ඉදිආප්ප දහයට රුපියල් 40 කි. ඒ අනුව ඉතිරි 120 ගෙවා ඇත්තේ බිත්තර කරියට,පොල් සම්බෝල ටිකට හා ප්ලේන්ටියට ය.
ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ප්‍රදර්ශනය කළ යුතුවීම අනිවාර්ය කාරණයක් වුව ද බොහෝ ආපන ශාලා හා හෝටල්වල ඒවැනි මිල දර්ශකයක් ඇත්තේම නැත. සමහර තැන් වල ආහාර ලැයිස්තුවට ඉදිරියේ ඇති මිල දර්ශනය හිස් ව තබා ඇත.ඒ එම ආහාර නිකම් දෙන බවක් පැවසීමට මෙනි.තරු පන්තියේ හෝටලයකට හෝ ඉහළ පැලැන්තියේ ආපන ශාලාවක් වෙත ගියහොත් මෙනු පතක් හා අවසානයේ බිල් පතක් ද ලැබේ. නමුත් සාමාන්‍ය හෝටල්වල එවැනි තත්ත්වයක් නැත.මෙය සපුරාම නීති විරෝධී ය.හෝටල් හිමියා මිල පමණක් ප්‍රකාශයට පත් කරයි. පාරිභෝගිකයා ද බිල ගෙවා යන්නේ සිතින් බැන වදිමිනි. මන්ද කා,බී අවසන් කළ දේට ඔවුන් සමග වාද කොට ඵලක් නොවන බවක් සිතමිනි.
රට තුළ ඇත්තේ මෙවැනි අවාසනාවන්ත වටපිටාවකි. ජනාධිපතිවරයා පාලන මිල ගැසට් ඉවත් කිරීමත් සමග පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ද උනන්දුවෙන් තමන්ගේ රාජකාරිය කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් දැන් රැකියාවක් කරනවාට කරන බවක් පෙනෙන්නට තිබේ. ගෑස් ගැටළුව හේතුවෙන් වේලක් හෝ කඩෙන් කන පිරිසට දෙවියන්ගේම පිහිට මිස වෙන සරණක් නොමැත.
අද “පොඩි මිනිහා”ගේ උදේ ආහාර වේලක් රුපියල් 200 පැන තිබේ. දිවා ආහාර වේලක් රුපියල් 300 කටත් වැඩි ය. එම නිසා රාත්‍රී ආහාරයේ මිල ගැන කතා කොට ඵලක් නැත. ඒ අනුව තුන් වේලම කඩෙන් කන්න එක් පුද්ගලයෙකුට රුපියල් 600 ක පමණ මුදල් දිනකට වැයවේ. එය දින 30 න් වැඩි කළ විට එක් පුද්ගලයෙකුගේ මාසික ආහාර වියදම පමණක් රුපියල් 18000 කි.
ඒ අනුව හතර දෙනෙකුගෙන් යුතු පවුලක මාසික ආහාර වියදම රුපියල් 72000 කි. නමුත් රජයේ සේවකයෙකුගේ සාමාන්‍ය වැටුප රුපියල් 35000 ඉක්මවන්නේ නැත. ජනතාව කෙසේ ජීවත් වුවත් පාලකයන් කිසිවෙකුට ගැටළුවක් නොමැත. මන්ද ජනතාව පාලකයන් රැක බලා ගැනීමට රජයට බදු ගෙවන බැවිනි.
ජනතාව ද කෙසේ හෝ ජිවිතය රැක ගැනීමට අවශ්‍ය බැවින් කියන මුදලට අහාර ගනිති. බනිස් හා කෙටි ආහාර මිල ද එලෙසම ය. චූන් පාන් රථයක පවා රෝල්ස් කට්ලට් පවා රුපියල් 60 ඉක්මවා තිබේ.
අතීතයේ ලාබෙටම ආහාර ගන්න තිබුණ තැන සයිවර් කඩය ය. දැන් වැඩිම මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ ද සයිවර් කඩේ කෑම වෙනුවෙනි.පසුගිය යුද සමයේ අප රටේ ප්‍රධාන නගර වල සයිවර් කෑම මිල එක් වරම ඉහළ නැංවිණි.ඒ සමඟම පැතිර ගිය මතයක් වූයේ සයිවර් කඩ වලින් කොටි කප්පම් ගන්නා නිසා එසේ සයිවර් කෑම මිල ඉහළ දමන්නට ඔවුනට සිදු වූ බව ය.නමුත් අද කොටි ක්‍රියාකාරිත්වයක් නැත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමට පෙර ඔහු “ද හින්දු” පුවත් පතේ මාධ්‍ය වේදිනී මීරා ශ්‍රී නිවාසන් හමුවේ හෙළි කළ පරිදිම එවක යුද හමුදාපති යුද්ධයට නායකත්වය දී එය නිමා කොට ඇත.ඒ අනුව අද කීමට ඇත්තේ අද කොටි වෙනුවට ආණ්ඩුව සයිවර් කඩවලින් සෙසු කඩවලින් ඔවුනට චන්දය දුන් හැට නව ලක්ෂය ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේන්ම බරපතල ලෙස කප්පම් ගනිමින් හිඳින බවකි.
ලසන්ත වීරකුලසූරිය