බළල් මොළයත් මිනිස් මොළයට තරමක් සමානලු

vinivida

ඔබ බළලුන්ට ආදරය කරන කෙනෙක් නම් බළලුන් ගැන බොහෝ තොරතුරු දැනගන්න කැමති වේවි.
සාමාන්‍යයෙන් සුරතලයට ඇති කරන සතුන් අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ සුනඛයන්ට සහ බළලුන්ටයි. මේ දෙගොල්ලන් අතර විශාල වෙනසක් තියෙනවා. සුනඛයන් තමන්ගේ හාම්පුතාට ඉතාමත්ම ලෙන්ගතු, කීකරු, සමීප, බොහෝ ආදරය දක්වන, යටහත් පහත් සතුන් විශේෂයක්.
බළලුනුත් තමන්ගේ හාම්පුතාට ආදරය දක්වනවා. නමුත් ඔවුන් ආදරය දක්වන්නේ සුනඛයන්ට වඩා වෙනස් විදිහකට. ඒ වුණත් බළලුන් තමන්ගේ හාම්පුතාට යටහත් පහත් වෙන්න නම් කැමති නෑ. හාම්පුතාට දෙවෙනි වෙන්නට ඔවුන් අකමැතියි. එනිසා බළලුන් බොහොම උඩඟු, හිතුවක්කාර, මුරණ්ඩු ගති ස්වභාවයක් තමයි බොහෝ වෙලාවට පළ කරන්නේ. නමුත් සුරතල් පෙනුම නිසාත්, ඉතාමත් සිනිඳු ලොම් නිසාත් බළලුන් හාම්පුතුන්ගේ විශේෂ ආදරයට ලක් වෙනවා. සත්ව විද්‍යාඥයන් නම් පවසන්නේ බළලුන් කියන්නේ හරිහැටි තේරුම් ගැනීමට අපහසු අද්භූත ප්‍රහේලිකාවක් බවයි.

බළලා තමන්ගේ හාම්පුතාගේ සිරුරේ ඇතිල්ලෙමින් සිටින විට උගේ වලිගය වෙව්ලන්නේ නම් එයින් හැඟවෙන්නේ ඌ තම හාම්පුතාට ඒ මොහොතේ ඉහළම ආදරය පෙන්වන බවයි. බළලුන් පුරුපුරු ගාමින් තමන්ගේ හාම්පුතුන්ට ළං වන්නේ එක්කෝ උණුසුම පතාගෙන, එහෙම නැත්නම් කුසගිනි දැනුණු විටදී.
බළලුන් තමන්ගේ ජීවිත කාලයෙන් 2/3 ක්ම කරන්නේ නිදාගන්න එක. තවදුරටත් කිව්වොත් ජීවිත කාලයෙන් 70% ක පමණ කාලයක් ඔවුන් නින්ද සඳහා වැය කරනවා. ඒ අනුව වයස අවුරුදු නවයක් පමණ වන බළලෙකු සිය ජීවිත කාලය තුළ අවදිව ගතකර ඇත්තේ අවුරුදු තුනක පමණ කාලයක් කිව්වොත් නිවැරදියි.
බළලුන්ට පැණි රස දැනෙන්නේ නෑ. ඒ වගේම බළලුන් යම් ආහාරයක් දුන් පසු විශ්වාසයෙන් යුතුව එය ආහාරයට ගන්නේ තුන් වරක් පමණ දිවගා බැලීමෙන් පසුව යැයි සත්ව විද්‍යාඥයන් සිය පර්යේෂණ මගින් තොරතුරු දක්වනවා. කෑම සමඟ ඔබේ බළලාට යම් ඖෂධයක් ලබා දීමට ඔබට අවශ්‍ය නම් එය මුලින්ම ලබාදීමෙන් වැළකී උගේ තුන්වෙනි හතරවෙනි කටට එම ඖෂධය සහිත කෑම එකතු කිරීම තමයි වඩාම සුදුසු වන්නේ.

බළලුන්ගේ කන්වල පමණක් මාංශ පේශීන් තිස් දෙකකට වඩා ඇති බවයි පැවසෙන්නේ. ඒ නිසාම ඔවුන්ට තමන්ට ඇසෙන විවිධාකාර වූ හඬවල් අතරින් තමාට අවශ්‍ය හඬ පමණක් තෝරා බේරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඌ කන් කරකවමින් විවිධ හඬවල්වලට අවධානය දෙන්නේ මෙම මාංශපේශීන්ගේ උපකාරයෙනුයි.
බළලුන් සම්බන්ධයෙන් වන අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීමක් තමයි බළලුන්ගේ මොළය සහ මිනිස් මොළය අතර සමානකම් පවතින බව. විශේෂයෙන් මිනිසුන්ගේ මොළයෙහි සහ බළලුන්ගේ මොළයෙහි හැඟීම් දනවන කොටස් එකිනෙකට සමාන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
මිනිසුන් දෙදෙනකුගේ ඇඟිලි සලකුණු කිසිසේත් එකිනෙකට සමාන නැති බව ඔබ දන්නවා. නමුත් බළලුන්ට ඇඟිලි සලකුණු නෑ. බළලුන්ගේ පතුල් ඉතාම මෘදුයි. ඔවුන්ට දහඩිය දමන්නේ අත්ලට. බළලුන්ගේ විශේෂත්වය තමයි ඔවුන්ගේ නාසයේ තිබෙන සියුම් රටා. එම සියුම් රටා සෑම බළලෙකුගෙන් බළලෙකුටම වෙනස්. හරියට මිනිසුන්ගේ ඇඟිලි සලකුණු වගේ.

බළලුන් කුප්පමේනියාවලට ඉතාමත් ප්‍රිය බව ඔබ දන්නවා. ඊට හේතුව එම ශාකයෙහි අඩංගු ට්‍රාන්ස්නෙප්ටා ලැක්ටෝන් නම් රසායන ද්‍රව්‍යය මගින් නිකුත් කරනු ලබන ගන්ධයයි. එම ගන්ධය බළලුන් ඉතා ප්‍රිය කරනවා.
බළලුන්ට වර්ණ අන්ධතාවය තිබෙනවා. නමුත් වර්ණ නොපෙනුණාට ඔවුන්ගේ දෘෂ්ටිය ඉතා තියුණුයි. ඔවුන් සන්නිවේදනය සඳහා යොදාගන්නේ විවිධ ශබ්ද, ශරීර චලනය සහ නොයෙකුත් රසායනික සංයෝගයි. එසේම විවිධ හැඟීම් පළ කරන්නට ඔවුන් එකිනෙකට වෙනස් ආකාරයට ශබ්ද පිට කිරීම ද කරනු ලබනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ පණිවිඩ ලබාදෙන තවත් ආකාරයක් තමයි ශරීරය ඇතිල්ලීම. තමන්ගේ නිවසේ අයගේ වගේම නිවසේ තිබෙන නොයෙකුත් පුටු මේස ආදී භාණ්ඩවලත් ඔවුන් මෙසේ ශරීරය ඇතිල්ලීම කරනවා. ඔවුන්ගේ තවත් ප්‍රකට ශරීර අංග චලනයක් වන්නේ වලිගය එසවීමයි. මේවා තමයි බළලුන් තමන්ගේ පණිවිඩ අනික් අයට ලබා දෙන ක්‍රම.

නමුත් බළලුන් ඔවුනොවුන් සමඟ කරනු ලබන සන්නිවේදනයේදී ශරීරයෙන් නොයෙකුත් රසායනික සංයෝග පිට කරනු ලබනවා. පිරිමි සතුන්ගේ මෙවැනි දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ තමන් සිටින තැන කුමක් හෝ භාණ්ඩයකට, එහෙම නැත්නම් දොරකට බිත්තියකට, වනා තිබෙන රෙද්දකට හරි වලිගය කෙළින් කර ඔසවා එය වෙව්ලුවමින් මුත්‍රා ස්වල්පයක් පිට කිරීම. සුනඛයන් මෙන් බළලුන්ද තමන්ගේ සීමාව ලකුණු කිරීම සඳහා මේ ක්‍රමය යොදා ගන්නවා. සත්ව විද්‍යාඥයන් පවසන්නේ බළලුන් මුත්‍රා සහ මළ සමග පිට කරන රසායන ද්‍රව්‍ය මගින් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ බව, වයස වැනි තොරතුරු පවා සන්නිවේදනය කරන බවයි. එසේම බළලුන්ට විවිධ ශබ්ද සියයකට වඩා නගන්න පුළුවන්. නමුත් සුනඛයන් ට නැගිය හැක්කේ විවිධ ශබ්ද දහයක් පමණක් බව සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
බළලා අයිති වන්නේ කොටියා සිංහයා වැනි සතුන් අයිති පවුලටමයි. නමුත් සත්ව විද්‍යාඥයන් පවසන්නේ බළලුන්ගේ ජාන 95 % ක් ව්‍යාඝ්‍රයින්ට සමාන බවයි. කෙසේ වුවද බළලාගේ ගමන සමාන වන්නේ ඔටුවන්ගේ සහ ජිරාෆ්ගේ ගමනට බවද සත්ව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබෙනවා.
බළලුන් මිනිසුන්ගේ නිවෙස්වල සුරතල් සතුන් බවට පත්වීමේ අතීතය වසර 9500 කටත් වඩා පැරණි බව පුරාවිද්‍යාඥයන් විසින් කරන ලද කැණීම් මගින් 2004 වසරේ දී තහවුරු කරතිබුණා. ඒ සයිප්‍රසයේ එම යුගයේ බළලෙකුගේ පැරණි සොහොනක් හමුවීම තුළිනුයි.
මිසරයේ, එනම් පුරාණ ඊජිප්තුවේ වැසියන් බළලුන්ට දේවත්වයක් ආරූඪ කර තිබූ බව පැරණි ඉතිහාසඥයකු වූ හෙරඩෝටස් ක්‍රි. පූ. 400 දී ලියූ ඉතිහාස වාර්තාවල සඳහන්. ඒ අනුව මිසර පවුලක සුරතල් බළලෙකු මිය ගියොත් පවුලේ සාමාජිකයන් ඇයි බැමි බූගෑම සිරිතක් වශයෙන් කරගෙන ගියා. ඒ බළලා මියගිය ශෝකය පළ කරන්නටයි.

ගුරුත්වාකර්ශණය පිළිබඳව ලෝකයට පළමු වරට අනාවරණය කළ සර් අයිසැක් නිව්ටන් ගේ බළල් ප්‍රේමය පිළිබඳ සුප්‍රකට කතාව ඔබ අසා ඇති.
සර් අයිසැක් නිව්ටන් පර්යේෂණ කටයුතු කළේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු ලෙසයි. එම විශ්ව විද්‍යාලයේ ඔහුට ඉතා ලෙන්ගතු බළල් මවක් සිටියා. නිතරම මේ බළල් මව සිය පැටවුන් ද සමග අයිසැක් නිව්ටන් සිටින කාමරයට පැමිණීම සඳහා එම දොර පහුරු ගානවා. අන්තිමේ අයිසැක් නිව්ටන් මේ සඳහා අපූරු උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි විශ්ව විද්‍යාලයේ තමන්ගේ කාමරයේ දොර පහළින් කුඩා කොටසක් ඉවත් කර එතුළින් එම මවට සිය පැටවුන් සමග කාමරයට යාමට ඒමට පහසුවෙන් ඉඩ සලසා දීම. අදටත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සර් අයිසැක් නිව්ටන් පාවිච්චි කළ කාමරයේ එම දොර එලෙසින්ම පවතිනවා. එපමණක් නොවෙයි ඇමරිකාව ආදී සමහර බටහිර රටවල සුරතල් බළලුන් හෝ සුනඛයන් ඇති කරන නිවෙස්වල දොරෙහි මෙවැනි කුඩා කොටසක් වෙනම සකස් කිරීම සිදුකරනවා. “කැට් ඩෝ” නමින් හඳුන්වන මෙම දොර සතා ඇතුලට ගියපසු ඉබේම වැසෙන ආකාරයටයි සකස් කරන්නේ.
ලෝකයේ ධනවත්ම බළලා ලෙස සලකන්නේ එංගලන්තයේ බ්ලැකී නැමැති බළල් සුරතලෙක්. බ්ලැකී ගේ බිලියනපති හාම්පුතා තම පවුලේ අයට වඩා මෙම බ්ලැකීට ආදරය කළා. ඒ නිසා ඔහු මිය යන විට සිය අන්තිම කැමති පත්‍රයෙන් පවුම් මිලියන හතක් බ්ලැකීවෙනුවෙන් වෙන් කර තිබුණා.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය