සුරංගනාවියන් ශ්‍රී පාදය වඳින්න ගිය පාර හරහා වැටී ඇති මාපලාන ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගයට මීටර් පන්සියයක් පමණ නුදුරින් පිහිටි අලංකාර දිය ඇල්ලක් ගැනයි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසින් සිවුවැනි ස්ථානය ගන්නා මාපලාන ඇල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ දිය ඇලි අතරින් උසින් පළමු ස්ථානය හිමි කරගෙන සිටිනවා.
සිරිපා කඳු මුදුනේ දකුණු පස පිහිටා ඇති බෑන සමනොළ ( උස මී.1868) කන්දෙන් ආරම්භ වන ඇල්ලේ ඔය නමින් හඳුන්වන ජල මූලාශ්‍රය කොණ්ඩගල නම් ස්ථානයේ සිට හීන් ඇල්ල ඔය ලෙස ගලා ඇවිත් පටු නිම්නයකින් ගැඹුරු ප්‍රපාතයකට ඇද හැලෙනවා. එතැනින් මහල් තුනක් ලෙස නිර්මාණය වී පහළට කඩා හැලෙන මේ මාපලාන දිය ඇල්ලේ උස මීටර් 141 ක් පමණ වෙනවා. මහල් තුනක් ඔස්සේ කඩා හැලුනත් වැසි කාලයට මේ මහල් වැසී ගොස් එකම මහා ජල කඳක් ලෙසයි පහළට ඇද හැලෙන්නේ. වැසි කාලවල දී සහ සමනල අඩවියට වැසි ඇතිවූ විට ක්ෂණිකව මෙහි ජල කඳ වේගයෙන් වැඩි වෙනවා. විශේෂයෙන් සංවහන වැසි ඇදහැලෙන මාර්තු අප්‍රේල් මාසවල මේ දිය ඇල්ලේ ජල ධාරාව දකින්නට ලැබෙන්නේ එකම දිය කඳක් ලෙසින්. එනිසා මෙහි දිය නාන්නට යාමේදී ඔබගේ ආරක්ෂාව ගැන ඉතාමත් විමසිලිමත් විය යුතුයි. මෙසේ මාපලාන ඇල්ලේ ජල කඳ වැඩිවූ කාලයට දිය ඇල්ලේ නාදය කිලෝමීටර් තුනක් පමණ දුරට ඇසෙන බව ඒ ප්‍රදේශයේ ගැමියන් පවසනවා.

මාපලාන ඇල්ල සම්බන්ධ කදිම පුරාවෘත්තයක් තිබෙනවා. අතීතයේ රාජකීය පරපුරකට අයත් මාපාවරයකු දිය නෑ නිසා මෙය මුලදී “මාපා නාන ඇල්ල” වශයෙන් හැඳින්වුනු බවයි ජනප්‍රවාදවල පැවසෙන්නේ. මාපානාන ඇල්ල මාපලාන ඇල්ල වශයෙන් කට වහරට අනුව වෙනස් වී තිබෙනවා.

මේ දිය ඇල්ල ගලාගෙන ගොස් වැටෙන්නේ මස්කෙළි ඔයටයි. (මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි මස්කෙළිය නොවේ.) ඉන් පසු එය සමනල කඳුවැටියෙන් ආරම්භ වෙන කළු ගඟට එකතු වෙනවා.
මේ දිය ඇල්ල නරඹන්නට බොහෝ විට පැමිණෙන පිරිස අතර සිරිපා වන්දනාකරුවන් ප්‍රමුඛ යි. මාපලාන ඇල්ලට යා යුතු ගමන් මාර්ගය රත්නපුර මල්වල හරහා කිලෝමීටර් විසි තුනක දුරක් ගෙවා ශ්‍රී පලාබද්දල කඩමණ්ඩියට පැමිණ ශ්‍රී පාද මහා විද්‍යාලය අද්දරින් හැරෙන පාර ඔස්සේ යි. එම පාරේ මීටර් පන්සියයක පමණ දුරක් යන විට මාපලාන ඇල්ල සමීපයට යා හැකියි. නමුත් ඇල්ල සමීපයට වාහනයකින් නම් ගමන් කරන්න අමාරුයි. මාපලාන ඇල්ලට පහළින් තිබෙන ලෑලි පාලමෙන් එගොඩ වී ගල් කුළු උඩින් පැන පහසුවෙන්ම ඇල්ල අසලට ළඟා වන්න පුළුවන්.
මාපලාන ඇල්ල පිහිටි ගම හඳුන්වන්නේ ද එම නමින්මයි. ගම්මානයේ සිට දිය ඇල්ල දක්වා සැතපුම් එකහමාරක පමණ දුරක් ගමන් කළ යුතු වෙනවා. මේ අතරතුර මාර්ගයේදී හමුවෙන තවත් සුන්දර දිය ඇල්ලක් තමයි හාල්මැලි ඇල්ල.
මාපලාන ඇල්ල සම්බන්ධ කදිම පුරාවෘත්තයක් තිබෙනවා. අතීතයේ රාජකීය පරපුරකට අයත් මාපාවරයකු දිය නෑ නිසා මෙය මුලදී “මාපා නාන ඇල්ල” වශයෙන් හැඳින්වුනු බවයි ජනප්‍රවාදවල පැවසෙන්නේ. මාපානාන ඇල්ල මාපලාන ඇල්ල වශයෙන් කට වහරට අනුව වෙනස් වී තිබෙනවා.

මේ ඇල්ල හරහා ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්නට ගිය සුරංගනාවියන්, රාත්‍රියේ ඉතාමත් සුන්දර මිහිරි නාදයෙන් බටනලා පිඹින තරුණයන් ආදිය සමහරුන් දැක ඇති බවට ජනප්‍රවාද පවතිනවා. අදටත් මෙවැනි දේවල් ඉඳහිට හෝ දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වුවත් මෙම ඇල්ලෙහි අද්භූත බලයක් තිබෙන බව අදටත් ගම්මුන් විශ්වාස කරනවා. අතීතයේදී මේ ආශ්‍රිතව කොහොඹ කංකාරිය, ගම්මඩු වැනි ශාන්ති කර්ම ගැමියන් විසින් සිදුකළ බව ප්‍රකටයි. ඇල්ල මුල් කරගත් පාරම්පරික විශ්වාස ඇදහිලි පුද පූජා ආදිය තවමත් ගැමියන් අතරේ සම්පූර්ණයෙන් නැතිවී ගොස් නෑ. නියඟය වඩාත් දැඩිව පවතින කාලවලදී මෙම ඇල්ල මුල් කරගෙන පුද පූජා බාරහාර ආදිය ප්‍රදේශයේ ගැමියන් විසින් සිදු කරන අතර ඇල්ල ඉහළට ගොස් සමනළ අඩවියට අධිපති දෙවියන් ලෙස සැලකෙන සුමන සමන් දෙවියන්ට වැසි පතා කන්නලව් කිරීම මේ අතරින් සුවිශේෂයි.
එසේම මෙම ඇල්ල ආශ්‍රිතව අතීතයේ විවිධ ආශ්චර්යමත් සිදුවීම් සිදු වූ බව ගම්මුන් පවසනවා. මේ ඇල්ල හරහා ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්නට ගිය සුරංගනාවියන්, රාත්‍රියේ ඉතාමත් සුන්දර මිහිරි නාදයෙන් බටනලා පිඹින තරුණයන් ආදිය සමහරුන් දැක ඇති බවට ජනප්‍රවාද පවතිනවා. අදටත් මෙවැනි දේවල් ඉඳහිට හෝ දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.
මාපලාන ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ එම ප්‍රදේශයටම ආවේණික වූ ශාක සේම බදුල්ල, කොටසිඹුල, ලාවේනියා, හොර, කැලැණිය, වෙනිවැල්, හාතවාරිය, ගොනු කෑ වැල්, නෙලූ, රහනෙලු, මානුග, කලානුග වැනි ඖෂධ ශාක රාශියක් තිබෙනවා. ඒ හැරුණු විට කටකෑලිය, තෙලබෝ, මුගුණ, පෙලංග වැනි ශාක ද මෙම පරිසර පද්ධතියෙහි දකින්න පුළුවන්.
මෙම වනාන්තරයෙහි දක්නට ලැබෙන සත්වයන් අතර මීමින්නා, ඕලු මුවා, වැලි මුවා, ගෝනා, ඉත්තෑවා, දඬුලේනා, රිලවා, වල් ඌරා, හාවා, දියබල්ලා ආදිය වෙනවා. මාපලාන ඇල්ල ආශ්‍රිත මෙම පරිසර පද්ධතිය වාසභූමිය කරගත් කුරුළු විශේෂ රාශියක් අතරින්
ශ්‍රී ලංකා ගිරා මලිත්තා, රන්මනන් කොට්ටෝරුවා විශේෂ යි. මෙහි ලේ මාපිලා, කුණකටුවා, කරවලා,
හොරපොළ නයා, තෙලිස්සා සහ පොළඟා වැනි උරගයන්ද, උග්‍ර විෂ සහිත දිවි මකුළුවන් ද, දළඹු විශේෂ සහ ගල් ආශ්‍රිතව බෙල්ලන්ද දක්නට පුළුවන්.
සුන්දර දිය ඇලි නරඹනු රිසි ඔබට මාපලාන ඇල්ලත් ඉතා සුවිශේෂී රසවත් අත්දැකීමක් වනු නිසැකයි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව