රජයට පාරක් ඇති නැති ගාණය

ලසන්ත වීරකුලසූරියශාක පෝෂක පොහොර ආනයනය කිරීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කරයි. ශාක පෝෂක යනු කුමක්දැයි ඔහු එහිදි සදහන් කළේ නැත. නමුත් වල් නාශක, කෘමි නාශක හා රසායනික පොහොර ඒ අතර තිබෙන බව නම් පැහැදිලි ය. රසායනික පොහොර හැදින්වීම වත්මන් ආණ්ඩුව යොදා ගත් නව නාමය ශාක පෝෂක බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කරන ප්‍රකාශවලින් පැහැදිලි ය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කියන අන්දමට උසස් තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක මෙරටට ආනයනය කිරීමට නියමිත ය. මන්ද කාබනික පොහොර හේතුවෙන් බලාපොරොත්තු වූ ආකාරයේ අස්වැන්නක් නොලැබෙන බවට පුරෝකතනයක් ඉදිරිපත්ව ඇති බැවින් මෙලෙස රසායනික පොහොර ආනයනය කිරීමට අවසර දීමට හේතුව වී තිබේ.

මහාචාර්යවරයා කියන අන්දමටකාබනික පොහොර භාවිතය එකවර අත්හදා බැලීමට යාම මේ තත්ත්වය ඇතිවීමට හේතුවී ඇත. වඩාත්ම අවශ්‍යතාවය වන්නේ නියමිත අස්වැන්න ලබාගැනීම බැවින් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියි.

මේ අනුව රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක මෙරට භාවිතාව සහ ගෙන්වීම මුළුමනින්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබූ තීරණය මුළුමනින්ම ආපසු හැරවීමට නියමිත ය. මහාචාර්යවරුන් 11 දෙනෙකු එකතුවී සකස් කළ ප්‍රතිපත්ති වාර්තාවක් මේ වන විට ජනාධිපතිචරයා වෙත බාරදී තිබේ.

“කෘෂි ප්‍රතිපත්තිය නිර්මාණය කරන්න එකතු වූ ජ්‍යෙෂ්ඨතම මහචාර්යවරුන් සහ පරිපාලක නිලධාරීන් 11 දෙනෙකු එකතු වෙලා අපි හැදුවා අවදානම් කළමනාකරණ සැලැස්මක්. ක්‍රමානුකූලව, විද්‍යාත්මකව ශාක පෝෂක සහ ශාක ආරක්ෂන නියමිත නිර්දේශ ප්‍රමිතීන්ට සහ ඉතා ඉහළ ගුණාත්මකත්වයෙන් යුතු ඒවා අරගෙන අපි මේ ගමන යන්නේ කොහොමද කියන එක අපි ඉතා විස්තරාත්මක වාර්තාවක් හැදුවා. එම සංකල්ප පත්‍රිකාවත්, කෘෂිකර්ම සිතියමත් අපි ජනාධිපතිතුමාට දුන්නා.” මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මාධ්‍ය හමුවේ කීවේ ය.

“ඇතිවෙලා තිබෙන කාලගුණික තත්ත්වයන් අවදානයට ලක් කොට දැනට ඇති වෙලා තියෙන තත්ත්වයන් තුළ අපිට ආහාර සුරක්ෂිතතාවය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න තියෙන නිසා අපි අර කියන හොඳ පාහොර වර්ග හැකි ඉක්මණින් ලබා දෙන්න තීරණය කළා.

විශේෂයෙන්ම එළවළු වගාවන්ට, වී වගාවන්ට සහ හානියට පත් වෙන්න හැකියාවක් තියෙන බඩ ඉරිගු වැනි වගාවන්ට අවශ්‍ය නිර්දේශ ප්‍රමාණය අනිකුත් කාබනික පොහොර සමහග මේවා ලබා දෙන්න තමයි අපි තීරණය කළේ.” මහාචාර්යවරයා වැඩි දුරටත් කීවේ ය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ එසේ කීවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. ඔහු කියන්නේ වී හා එළවළු හැර අනෙකුත් වගාවන් වෙනුවෙන් රසායනික පොහොර ලබාදීමට තීරණය කළ බව ය. ඒ අපනයන වගාවන් වන තේ, පොල් හා රබර් වෙනුවෙන් රසායනික පොහොර ආනයනය කිරීමට තිරණය කළ බව ය.

අමාත්‍යාංශ ලේකම්වරයා එකක් කියද්දී අමාත්‍යවරයා තව එකක් කියති. මේ අතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ තවත් එකක් කියයි. එනම් මෙවර රසායනික පොහොර භාවිතයට අවසරය දෙන බව ය. අනෙක් කාරණය ඉදිරි කන්න තුන තුළ සියයට සියයක් කාබනික ගොවිතැනට යොමු වන බවක් ද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියි.

මෙයින් පිළිගන්නේ කවර පුද්ගලයාගේ කතාවද? යන්න ගැන ගොවීන්ට මෙන්ම සමස්ත මහජනතාවට ගැටළුවකි. රසායනික පොහොර තහනම් කරමින් සම්පූර්ණයෙන්ම කාබනික පොහොර ගොවිතැනට යාමේ ගැසට් නිවේදනය නිකුත් වූයේ ඉකුත් මැයි මාසයේදී ය. එම අවස්ථාවේදී කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය පිළියම් සපයන බව කීවත් මහ කන්නයේ ගොවිතැන් ආරම්භ කිරීමට ගොවියා කටයුතු කරද්දී රජය කියූ ආකාරයේ සැලසුමක් නොමැති බව හෙළිදරව් විය.

මෙම හෙළිදරව්වත් සමග ගොවීන් පොහොර ඉල්ලා පාරට බැස්සේය. නමුත් ගොවීන්ට රසායනික පොහොර තබා කාබනික පොහොරවත් ලැබුණේ නැත. ලැබුණු කාබනික පොහොරවලට විදුරු කැබලි, කම්බි කැබලි ආදී ලෝහ ද්‍රව්‍ය තිබීම හේතුවෙන් ගොවීහු තව තවත් අපහසුතාවයන්ට පත්වූහ. ගොවිතැන් කිරීම පසෙකලා ගොවීහු මහමගට පැමිණියහ.

තවත් පිරිසක් ඉකුත් කන්නවලදී ඉතිරි කර ගත් රසායනික පොහොර යොදා ගනිමින් ගොවිතැන් ආරම්භ කළහ. කාබනික පොහොර යොදා එළවළු වගා කළ ගොවීන්ගේ අස්වැන්න බාලවීම මත තත්ත්වය තවත් උග්‍ර විය. මේ අනුව කෘෂි විද්‍යාඥයන් පුරෝකතනය කරනු ලැබූවේ ලබන කන්නයන්හී දි වී, එළවළු පළතුරු ආදී සෑම වගාවකම අපේකෂිත අස්වැන්න හීන වී යනු ඇති බව ය.

එම කාරණය පදනම් කරගනිමින් මහාචාර්යවරුන් පිරිසක් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ජනාධිපතිවරයා නැවත මෙම ගැසට් නිවේදනය ද “රිවස්” කිරීමට තීරණය කර තිබේ.

එය එසේ වුව ද අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් අද (22) දින කෘෂි ඇමතිවරුන් හා කෘෂි විද්‍යාඥයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහිදි රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය රිවස් කරනවාද නැතිද යන්න ගැන තීරණයක් ගනු ඇත.

කෙසේ වෙතත් කෘෂිකර්ම ැමතිවරයා එකක් කියද්දී කෘෂිකර්ම ලේකම්වරයා තවත් එකක් කීම නිසා පොහොර ප්‍රශ්නය තවමත් විසඳී නැති බව පැහැදිලි ය. ඉතිහාසයේ වැඩිමඑළවළු මිල වාර්තා වෙමින් තිබේ.

ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්තීන් හේතුවෙන් ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම අද වන විට අපහසුතාවයට පත්ව සිටිති.

ආණ්ඩුව කරන්නේ කුමක් ද යන්න රටේ ජනතාව තබා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වත් නොදන්නා බව පැහැදිලිය.ඒ අනුව දැන් නම් පැහැදිලිවම කීමට ඇත්තේ රජයට පාරක් ඇති නැති ගාණය කියාය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර