ඇමරිකානු ජනාධිපති ගේ වයස ප්‍රශ්නය උග්‍ර වෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ වයස මේ වනවිට අවුරුදු 81 කි. 2020 වසරේ ඔහු ජනාධිපති ධුරයට පත් වූයේ ඇමරිකානු ඉතිහාසය තුළ එම ධුරයට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනි. මේ තරම් වයසට ගියත් ඔහුට ජනාධිපති තනතුර බරක් වී ඇති බවක් නොපෙනේ. මන්ද යත්, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීමට ඔහු බලාපොරොත්තු වන බැවිනි. තව මාස කිහිපයකින්, එනම් ලබන නොවැම්බර් මාසයේ එරට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් බයිඩ්න් මෙම ජනාධිපතිවරණයට තරග කිරීමට එරෙහිව මේ වනවිට ඇමරිකාව තුළ යම් මතයක් ගොඩ නැගෙමින් තිබෙනු දැකිය හැකි වේ.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතව සිටින්නේ ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. බයිඩ්න් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ද, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයෙන් ද තරග කිරීමට නියමිත ය. නමුත් බෙහෙවින් වියපත්ව සිටින බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති ධුරයට දැරීමට සුදුසු කායික, මානසික තත්ත්වයක සිටිනවාද යන්න සම්බන්ධයෙන් ඔහුගේ පක්‍ෂයේ අය තුළම පවා සැකසංකා මතුවෙමින් ඇති අතර ඔහු තරගයෙන් ඉවත් විය යුතුය යන අදහස ද කරළියට පැමිණ තිබේ.

ජෝ බයිඩ්න්

බයිඩ්න්ගේ වයස පිලිබඳ ප්‍රශ්නය දැන් ටික කලෙක සිටම සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන්නකි. කලකට පෙර කිසියම් උත්සව අවස්ථාවක ඔහු වේදිකාව මත පය පැකිලී ඇද වැටුණු අවස්ථාවක ද, ව්‍යායාම සඳහා බයිසිකල් පදිමින් සිටිය දී බයිසිකලයෙන් ඇද වැටුණු අවස්ථාවක ද මේ ප්‍රශ්නය වඩාත් උණුසුම් ලෙස කතාබහට ලක් විය. පසුගිය දා ජී-7 කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව පැවැති අවස්ථාවේ එම නායකයන්ගේ එලිමහන් සමූහ ඡායාරූපයක් ගැනීමට සූදානම් වෙමින් සිටිය දී බයිඩ්න් ඒ ගැන කල්පනාවකින් තොරව මෙන් වෙනත් පැත්තකට ඇවිද යන ආකාරය දැක්වෙන විඩියෝවක් ද මහත් අවධානයක් දිනා ගත්තේය. (නමුත් මෙම විඩියෝව වැරදි අරුතක් මතුවන ආකාරයෙන් සංස්කරණය කරන ලද්දක් බවට ධවල මන්දිරය පසුව චෝදනා කර තිබිණි.) කෙසේ හෝ වේවා, එම අවස්ථාවේ බයිඩ්න් හැසිරුණු ආකාරය බොහෝ දෙනා තුළ යම් විමතියක් ඇති කරන්නට සමත්ව තිබුණේය.

අද වනවිට බයිඩ්න්ගේ වයස පිලිබඳ ප්‍රශ්නය පෙරටත් වඩා දැඩි ලෙස මතුවෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකි වේ. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ මෙයට ටික දිනකට පෙර, එනම් ජුනි 27 වැනි දින සිදු වූ සිද්ධියකි.

ජනාධිපතිවරණයට අදාළව අපේක්‍ෂකයන් දෙදෙනා අතර ප්‍රසිද්ධ විවාද දෙකක් සංවිධානය කර තිබිණි. ඉන් පළමු විවාදය පැවැත්වුණේ ජුනි 27 වැනි දින යි. එම විවාදයට බයිඩ්න් මුහුණ දුන් ආකාරය බොහෝ දෙනෙකු තුළ ප්‍රශ්න මතු කරන්නක් විය. ඔහුගේ කටහඬ ඉතා දුර්වල තත්ත්වයක පැවැති අතර සමහර අවස්ථාවල ඔහු කතා කළ දේවල අවුල් සහගත අපැහැදිලි බවක් දිස් විය. බයිඩ්න් ජනාධිපති ධුරය දැරීමට සුදුසු කායික මානසික තත්ත්වයක නොසිටින්නේය යන අදහස වඩාත් පුළුල් ආකාරයෙන් මතු වන්නට පටන් ගත්තේ මෙම විවාදයෙන් පසුව ය.

එකී විවාදය විකාශය වීමෙන් පසු එක්තරා ආයතනයක් විසින් පවත්වන ලද ජනමත සමීක්‍ෂණයකින් අපූරු කාරණයක් ප්‍රකාශයට පත්ව තිබිණි. බයිඩ්න් ජනාධිපති පදවිය දැරීම සඳහා සුදුසු තත්ත්වයක නොසිටින බව ඇමරිකාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 72 කගේම අදහස වී ඇති බව යි. මෙයට ටික කලකට පෙර පවත්වන ලද ජනමත සමීක්‍ෂණයක දී මෙම අදහස දරා තිබුණේ සියයට 65 ක ප්‍රතිශතයක් පමණි.

බයිඩ්න් සහ උප ජනාධිපතිනි කමලා හැරිස්

ඉහත කී සමීක්‍ෂණයට සහභාගි වූ ඩිමොක්‍රටික් පක්‍ෂයේ ඡන්දදායකයන්ගෙන් සියයට 45 කගේ අදහස වී තිබුණේ බයිඩ්න් මෙවර ජනාධිපති තරගයෙන් ඉවත් විය යුතු බව යි. මේ අතර තවත් ජනමත සමීක්‍ෂණ කිහිපයකින් හෙලි වී තිබුණේ ඉහත විවාදයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහය පළ කරන ඡන්දදායකයන් ගේ ප්‍රතිශතය වැඩි වී ඇති බවකි.

මතු වී ඇති මෙම තත්ත්වය බයිඩ්න් අයත් වන ඩිමොක්‍රටික් පක්‍ෂයේ ඉහළ පෙලේ ඇතැමුන්ට ද ප්‍රශ්නයක් වී ඇති බව මාධ්‍ය වාර්තා අනුව පෙනේ. නමුත් මේ මොහොතේ බයිඩ්න් තරගයෙන් ඉවත් කිරීමට මේ කිසිවෙකුට හැකියාවක් නැත. එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කව්දැයි තේරීම සඳහා පසුගිය කාලයේ පක්‍ෂය තුළම පවත්වන ලද ප්‍රාථමික ඡන්ද විමසීම්වලින් තේරී පත් වුණේ ඔහු බැවිනි. මෙම තත්ත්වය තුළ බයිඩ්න් සිය කැමැත්තෙන් අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අසුවුවහොත් හැර ඔහු ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් වේ. යම් හෙයකින් බයිඩ්න් ඉල්ලා අස්වුවහොත් වත්මන් උප ජනාධිපතිනිය වන කමලා හැරිස් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව වීමට වැඩි ඉඩක් තිබේ. එවැන්නක් සිදු වී ඇය ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව ඇය වනු ඇත.

ට්‍රම්ප් සහ බයිඩ්න්

කෙසේ නමුත් තරගයෙන් ඉවත් වීමට බයිඩ්න් තුළ අදහසක් නොමැති බව ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබිණි. ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න් ඇතුළු පවුලේ අයට ද අවශ්‍යව ඇත්තේ බයිඩ්න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු දැකීමට බව ද සඳහන් ය.

මේ වනවිට 81 වැනි වියෙහි පසුවන ජනාධිපතිවරයා නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එයින් ජයගතහොත් ඔහු ගේ දෙවැනි ධුර කාලය අවසන් වන්නේ 2029 වසරේ ය. ඒ වනවිට බයිඩ්න්ගේ වයස අවුරුදු 86 ක් වනු ඇත.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්