අපේ ජීවිතයට කරදර සිදු කරන සතුරන් විවිධාකාර වේ. ඉන් එක සතුරකු වන්නේ කොලෙස්ටරෝල් ය. මෙසේ කොලෙස්ටරෝල් සතුරකු බවට පත් වන්නේ එය පමණට වඩා වැඩි වූ කල ය. හොද්දට ලුණු වැඩි වුණොත් අපට එය කෑමට ගත නොහැකි ය. එනිසා අපි එය බැහැර කරමු. නමුත් ලේවල කොලෙස්ටරෝල් නොකඩවා වැඩිවී තිබුණත් එය බැහැර කර ගන්නට ක්‍රමයක් නැතිව ශරීරය නිහඬව ම අනේක විධ වේදනා විඳියි. ඒ නිසා ශරීරය තුළ සිදුවන විනාශකාරී දේ සොයා බැලීම ඔබගේත් වෛද්‍යවරුන් වන අපගේත් වගකීමයි.
යම් ප්‍රමාණයකට කොලෙස්ටෙරෝල් ශරීරයට අවශ්‍ය වේ. එය අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට ශරීරයටම හැකියාව ඇත. ආහාර ලෙස වැඩිපුර ශරීරයට ඇතුල් වන කොලෙස්ටරෝල් අපට කරදරයක් වීමට ඉඩ තිබේ.
ශරීරය සෑම කොටසක්ම ක්‍රියාකාරීව හොඳින් පැවතීමට නම් ශරීරය පුරාම ලේ දහරාවක් ගලා යා යුතු ය. විනාඩියක් තුළ ලීටර පහක ප්‍රමාණයක් මෙසේ හෘදයෙන් ඉවතට යවයි . මේවා තෙරපුමක් යටතේ පිටත් කර යවන්නේ නහර දිගේ ය. එය හරියට බටයක් දිගේ වතුර ගලා යන්නාක් මෙනි. කල් ගතවන විට වතුර බටවල ඇතුල් පැත්තේද කාරම් බැඳෙනවා සේ මෙම නහර වල ඇතුල් පැත්තේ ක්‍රම ක්‍රමයෙන් කොලෙස්ටරෝල් තැන්පත් වෙයි. මේවා මෙතනට එන්නේ ලේවල දිය වීමෙනි. ආමාශයේ දී ආහාර වලින් උරාගත් කොලෙස්ටරෝල් ශරීරය පුරාම පැතිරෙන්නට පුළුවන. නහරයක් තුළ මේවා තෙල් ගුලියක් ලෙස බැඳෙන්නට හැකි සීමාවක් තිබේ. තෙල් ගුලිය ක්‍රමයෙන් විශාල වන විට මෙම ගුලියේ පොත්ත පුපුරා යයි. මෙම පිපිරීම සිදු වන්නේ නහර දිගේ ගලා යන ලේ දහරාව ඇතුලටම ය. ලේ දහරාව මෙය දකින්නේ නහරයේ සිදු වූ තුවාලයක් ලෙසිනි . ඇඟිල්ලක් කැපුනු විට ටික වෙලාවකින් ලේ ගැලීම නවතින්නේ කැපුණු නහර තුළ ලේ කැටි සෑදෙන නිසා ය. මේ ආකාරයෙන්ම පිපිරුණු තෙල් ගුලිය මත ලේ කැටියක් වර්ධනය වෙන්නට ඉඩ තිබේ. ලේ කැටිය සෑදෙන්නේ තුවාලයක් යැයි සිතා සත්භාවයෙනි. නමුත් සිදුවන්නේ කවුරුත් නොසිතන දෙයක්. මේ අලුත හැදෙන ලේ කැටිය ක්‍රමයෙන් විශාල වී මුළු ඇතුළාන්තය ම සිරකරනු ඇත.
ශරීරය තුළ විවිධ අවයව වල නඩත්තුව සපයන නහර වෙන වෙනම තිබේ. ශරීර කොටසකට ලේ සපයන නහරයක් හිර වුණොත් ශරීරයේ එම කොටස ඒ වෙලාවේ ම පෝෂණයක් නැති වීමෙන් මිය යයි.මොළයේ එවැනි හිරවීමක් අංශ භාගයකට ලෙස හෝ සිහිසුන් වීමක් බවට පත් විය හැකිය. හදවත තුළ නම් හෘදයාබාධයක් බවට පත් වීමට පුළුවන. මෙවැනි අවස්ථාවක රෝගියා ක්ෂණිකව මිය යාමට වුවද ඉඩ තිබේ.
මේවා සියල්ලම සිදුවන්නේ එක්වරම නොවේ. ජීවිත කාලය පුරාවටම ටිකෙන් ටිකය.මේවා මුලදීම අල්ලාගන්නට නම් ඔබත් වෛද්‍යවරයාත් දෙදෙනාම දක්ෂ විය යුතුය. යමක් සිදු වූ පසු “වෙන්න තියෙන දේ ” යනුවෙන් පැවසීම සිත හදා ගැනීමක් පමණි.
කොලෙස්ටරෝල් ලේවල විවිධ අංශුමාත්ර ලෙස පවතී. කොලෙස්ටරෝල් නමැති තෙල් වර්ගයට ලේ වල දිය වෙන්නට නොහැකි ය. ඒ නිසා විවිධ අංශුමාත්ර තුළ කොලෙස්ටරෝල් තෙල් හිර කර පවතී. ඝනත්වය අඩු අංශුමාත්ර සහ ඝනත්වය වැඩි අංශු මාත්‍ර වශයෙන් මේවා ප්‍රධාන කොටස් 2කට බෙදේ. ශරීරය පුරා කොලොස්ටරෝල් බෙදාහරින්නේ ඝනත්වය අඩු වර්ගයයි. ශරීරය පුරා දිව ගොස් කොලොස්ටරෝල් ඉවත් කරන අංශුමාත්ර නම් ඝනත්වය වැඩි කොටසයි. ඝනත්වය අඩු කොලෙස්ටරෝල් කරදරකාරී වන අතර, ඝනත්වය වැඩි වර්ගය ශරීරයට සිදු කරන්නේ මහඟු සේවයකි. ලේවල සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය පමණක් දැන ගැනීම ප්‍රමාණවත් නොවේ. ඝනත්වය අඩු වර්ගය සහ වැඩි වර්ගය කොයි තරම් ප්‍රමාණවලින් පවතින්නේ ද යන්න වෙන් වෙන් වශයෙන් දැනගත හැක්කේ සම්පූර්ණ සවිස්තරාත්මක කොලෙස්ටරෝල් වාර්තාවකින් පමණි. මේ සඳහා පැය 12ක් නිරාහාරව සිටිය යුතු ය. කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා ඉන්දු පෙරේරා