ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.ඔහු අපෙන් සමුගත්තත් ඒ ගෞරවනීය මතකයන් ඔස්සේ ඔහු සිහිපත් නොවන දිනයක් අප ගේ ඉදිරි සුළු ජීවිත කාලය තුළ උදා නොවනු ඇත.ශ්‍රී ලංකා පරිපාලන සේවාව ආරම්භ කිරීමේ දී ඊට ඒකබද්ධ කෙරුණු ප්‍රාදේශීය ආදායම් නිලධාරි සේවාවේ නිලධාරියෙකු ලෙස සේවය කළ එතුමා ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පෙ පත්තුවේ ප්‍රාදේශීය ආදායම් නිලධාරියා ලෙස සිය පලමු පත්වීම දරා ඇත ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්ගේ පූර්වගාමී තනතුර ලෙස පහතරට පලාතේ තිබුණේ මුදලි තනතුරයි.ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ පාරම්පරික උරුමයට පත්තුවක් හෝ කෝරළයක් භාරව පත් කළ මුදලි තනතුරු සඳහා තරඟ විභාගයක් මගින් උපාධිධාරී තරුණයින් බඳවා ගැනීම ආරම්භ කළේ 1940 දශකයේ මුල් භාගයේදී ය.මේ කීර්තිමත් තනතුර සඳහා තරුණ උපාධිධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු පත්වන්නේ 1950 දශකය අවසානයේ දී පමණ ය. 1963 දී ලංකා පරිපාලන සේවය පිහිටුවීමේදී ලංකා සිවිල් සේවාවත් ප්‍රාදේශීය ආදායම් නිලධාරි සේවාවත් වෙනත් රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරුවලට අදාල සේවා කීපයකුත් ඊට ඒකබද්ධ කර නු ලැබීය.ඉන් අනතුරුව ලංකා පරිපාලන සේවාවේ නිලධාරියෙකු ලෙස විවිධ තනතුරුවල සේවය කළ එතුමා රටපුරා ප්‍රසිද්ධියට පත්වුණේ යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස පත්වීමත් සමඟ ය.උතුරේ යාපනයේ ජනතාවට ඔහු කොතරම් මිත්‍රශීලී සේවාවක් සැපයුවේද යත් ඒ ජනතා නායකයන් ඔහුව හැදින්වූයේ “අවර් ලයන් “(අපේ සිංහයා )යන අන්වර්ථ නාමයෙනි. දෙමළ ජනතාව ජීවත්වන උතුර ඔහුට කෙතරම් සමීප වී තිබිණි ද යන්න ඔහුගේ මව එහිදී මිය යාමෙන් පසු අවසන් කටයුතු එහිදීම සිදු කිරීමෙන් පැහැදිලි ය. මවගේ අවමඟුලට දකුණේ සිට පැමිණෙන ඥාතීන්මිත්‍රාදීන්ට යාපනය දුම් රියපොල හා දිසාපති මැදුර අතර ප්‍රවාහන පහසුකම නොමිලයේ සැපයීමට යාපනේ ටැක්සි රියදුරන් ක්‍රියා කිරීමෙන් ද යාපනය නගරයේ සුදුකොඩි ඔසවා කඩ සාප්පු වසා දමා මියගිය මැණියන්ට ගෞරව කිරීමෙන්ද යාපනයේ ජනතාව “අවර් ලයන්”(අපේ සිංහයා) කෙරෙහි වූ බැඳීම හා ගරුත්වය මනාව පිළිබිඹු කරයි. විශේෂයෙන් උතුරේ ජන නායකයිනුත් දකුණේ රාජ්‍ය පාලනයත් අතර නිදහස ලැබීමෙන් පසු ඇතිව තිබුණු නොගැලපීම ක්‍රමයෙන් පුළුල් වෙමින් උතුරේ තරුණයින් දකුණේ පාලනයට එරෙහි සන්නද්ධ අරගලයක් ඇරඹීමට ආසන්න වකවානුවේ ඒ තත්වය සමනය කර අපූරු මිත්‍රත්ව පාලමක් ගොඩ නැගීමට “අවර් ලයන්” සමත් විය. ඒ සඳහා ඔහු යොදාගත්තේ සංස්කෘතික සහයෝගීතාවය බව ප්‍රකට ය.ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ “දිවලකඩ ගුණදාස”නම්වූ සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ පුවත්පත් කලාවේදීන්ගේ ඓතිහාසික යාපනය සංචාරයක් ගැන සඳහන් කරමින් මේ පුවත්පත් කලාවේදීන් හා සාකච්ඡා කිරීමට රජයේ මන්ත්‍රීන් කච්චේරියට පැමිණ සිටියත් තමන්ට කොටින් සමග සාකව්ඡා කිරීමට අවශ්‍ය වී ඒ බව ලයනල්ට (දිසාපතිවරයට ) දැන් වූ පසු දුසිම් භාගයක් පමණ කොටින් පසුදින කච්චේරියට ගෙන්වා පැය දෙකක පමන සාකච්ඡාවක් ලබාදුන් බව ගුණදාස ලියනගේ සටහන් කර ඇත.අවසානයේ රජය විසින් ලයනල් ප්‍රනාන්දුව දකුණට ස්ථාන මාරු කළ පසු උතුරේ මන්ත්‍රීවරු ඔහුව යළි උතුරට පත්කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ බව ද ගුණදාස ලියනගේ සඳහන් කර ඇත.එදා මෙදා තුර උතුරේ යාපනයට පත් වූ අවසාන සිංහල දිසාපති වරයා වූ ඔහු මෙන් ශක්තිමත් වූ මහජන සබඳතාවයක් පවත්වා ගැනීමට සමත්වූ වෙනත් කිසිදු නිලධරියෙකු පිළිබඳ නිදහස් ලංකාවේ මෙතෙක් වාර්තා වී නැත.අන්න ඒ නිසා නිදහස් ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම දිසාපති වරයා ලෙස ලයනල් ප්‍රනාන්දු මහතා ව හැඳින්ඊම නිවැරදි ය.
මේ කීර්තිමත් චරිතය මට මුණ ගැසුණේ මා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම්ලෙස සේවය කළ 1993 අවුරුද්දේ පමණ ය.එවක උතුරු නැගෙනහිර ඒකාබද්ධ පලාත් සභාවේ පලමු ආණ්ඩුකාරවරයා වූ ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්නයන්ගේ ධුරකාලය අවසානයේදී කීර්තිමත් සිවිල් නිලධාරියෙකුවූ ලයනල් ප්‍රනාන්දු ඊට පත් කිරීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කටයුතු කළේය
“සුනිල් මම මහඔය දවසක් දෙකක් ගත කරන්න කැමතියි.බැරිද ලැහැස්ති කරන්න”.කියා නව ආණ්ඩුකාරතුමා මට පැවසුවේ මුල්වරට අම්පාර දිසාපති මැදුරේදී ඒ අයි වික්‍රම දිසාපති වරයා මාව ඔහුට හදුන්වා දුන් මොහොතේය.
” අපොයි පුලුවනි සර්; කොයි දවස් වලටද ?”
කියා මා සැනෙන් පැවසුවේ ඒ දිනවල බලවත් ත්‍රස්තවාදී තර්ජනයක් එල්ලවී තිබුණු මහඔය පැත්ත පලාතකවත් අමුත්තෙක් එන්නේ නැති නිසාම ය.
එතුමා එවක ප්‍රධන ලේකම් හා ආණ්ඩුකාර ලේකම් ධුර දෙකම දැරූ තවත් ජ්‍යේෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකු වූ ගණේෂනාදන් මහතා සමඟ කතාකර දිනයක් ලබා දුන්නේ.
“හබැයි එක කොන්දේසියක් තියෙනවා මගෙ සංචාරෙ සද්ද බද්ද බෑ .වාහන පෙලපාලි බෑ.පොලිසිය වට කරගෙන හිරකාරයෙක් වගේ නැතුව. මට ඕන නිදහසේ මහඔය ඇවිදලා මිනිස්සුන් එක්ක ටිකක් කතාබහ කරන්න” යැයි අවධාරණය කළේය. මම ඊට එකඟ වීමි.
නියමිත දිනට ආණ්ඩුකාරතුමාගේ නැවතීමට මහඔය මහවැලි සංචාරක බංගලාව වෙන් කළෙමි.පොලිස් ස්ථානාධිපති ප්‍රේමචන්ද්‍ර සමග සාකච්ඡා කර සන්නද්ධ පොලිස් භටයින් තිදෙනෙකු සිවිල් පිට සංචාරක බංගලාවේ ගෝලයන් සේ පෙනී සිටින ගමන් ආරක්ෂාව සැපයීමට සූදානම් කළෙමි.සංචාරක බංගලාවේ ඉදිරිපස ඉහලින් තිබුණු කෘෂි ව්‍යාප්ති නිලධාරී නිල නිවසේ මිදුලේ පොලීසිය රඳවා සංචාරක බංගලාවට පිටතින් ආරක්ෂාව සූදානම් කළෙමි. ආණ්ඩුකාරවරයා පැවසූ විලස සද්ද බද්ද නැති පොලිසිය පිරිවරා නැති නවාතැනක් ලෙස සංචාරක බංගලාව සකස් කර දැඩි ආරක්ෂාවක් ද නොදැනෙන්නට යොදවා ගනේෂනාදන් මහතාට සියල්ල සූදානම් බව දැන්වුයෙමි.
“සුනිල් ආණ්ඩුකාරතුමා ඔය සිකුරිටි ගැන වැඩිය හිතන්නෙ නෑ එයා හිතන්නෙ සිවිල් නිලධාරියෙක් හැටියටයි. ඒ වුනාට මේ පලාතෙ ආණ්ඩුකාර තනතුර දරණ කෙනාට ලොකු තර්ජනයක් තියෙනවා.ඔයා එයාට නොදැනෙන්න ආරක්ෂාව ගැනත් සුදුසු දෙයක් කරන්න ඕනෙ” ඔහුගේ උපදෙස විය
නියමිත දින අම්පාර සෞඛ්‍ය සේවා කාර්‍යාලයේ පැජරෝ ජීප්‍ රථයෙන් අම්පාරේ සිට ආණ්ඩුකාරතුමාත් ගනේෂනාදන් ප්‍රධන ලේකම් වරයාත් මහඔය සංචාරක බංගලාවට පැමිණියේ ආරක්ෂක පෙර ගමන් පසු ගමන් රථ කිසිත් නැතිව කිසිදු ආරක්ෂක නිලධාරියෙකු ද නැතිව ය.ඔවුන් ත්‍රිකුණාමලයේ සිට අම්පාරට ගුවනින් පැමිණ අම්පාරෙන් ජීප්‍ රථයක් ලබාගෙන පැමිණි බව මට පැහැදිලි විය. පැමිණි විගස ප්‍රධාන ලේකම්තුමා මා පසෙකට ගෙන හිමින් විමසුවේ ආණ්ඩුකාරතුමාගේ ආරක්ෂාව ගැන ය.මම සංචාරක බංගලාවේ ගෝලයින් පෙන්වා ඒ සියල්ලෝම ආරක්ෂක නිලධාරීන් බව පැවසුවෙමි. ආණ්ඩුකාර තුමා පිළිගෙන සිසිල් බීම සංග්‍රහයක් පිළිගන්වා මහඔය සංචාරය ගැන කතාබහ කළේ දිවා ආහාරය පිළියෙල වනතුරු ය.මේ අතර සතුටු සාමිචියේ යෙදී සිටි මම අසුන් ගත් තැන සිට පෙනෙන සංචාරක බංගලාවේ ඉදිරිපස ඒ5 මහා මාර්ගයේ ඉදිරිපසින් මහඔය සුදු බණ්ඩා ආරච්චි කුඩයත් පිටුපසට කර අල්ලාගෙන සංචාරක බංගලාව දෙස බලමින් මහඔය දෙසට ගමන් කරනු දුටුවෙමි. සංචාරක බංගලා මිදුලේ මගේ වාහනයත් ආන්ඩුකාරතුමා පැමිණි වාහනයත් නවතා තිබූ බැවින් අමුත්තෙකු පැමිණ ඇතිබව සුදු බණ්ඩා ආරච්චි දැන ගන්නට ඇත.ඒසැනෙන් ඔහු ඒලෙසම ආපහු පදියතලව දෙසට පිය නගමින් මහත් විමසිල්ලෙන් සංචාරක බංගලාව දෙස බලමින් යනු දුටු මට හිනා පහල වූයේ ආරච්චි මහතා ගේ සිතේ පවතින කුතුහලය තේරුම් ගිය නිසා ය.
“ඒයි මොකද ගෙදර මතක් වුනාද ?”ආන්ඩුකාරතුමාගේ හඩට මම යළි පියවි තත්වයට පත්විය.
“සොරි සර් ”
“සොරි සර් නෙවෙයි ගනේශ් මූ මොකක් හරි බර කල්පනාවකට වැටිල හිටියෙ. හිනාත් ගියා මොකක්ද වුනේ?”
“නෑ සර් අර පාරෙ යන මනුස්සය දැකල. එයා මේ වෙලාවෙ හිතාගෙන ඉන්න දේ මට තේරිලයි හිනා ගියෙ” “.
“කෝ ආ අර මාර්ටින් වික්‍රමසිංහ ශෛලියෙන් කුඩයක් අරගෙන යන කෙනාද ?”
(එතකොටයි මට මතක්වුනේ මාටින් වික්‍රමසිංහගෙ ප්‍රසිද්ධ පිංතූරෙක මේ ආරච්චි වගේම කුඩේ පිටිපස්සට කරගෙන ඇවිදිනව තියෙනව නේද කියල )
“ඔව් සර්; ඔය බින්තැන්න රටේ මහත්තුරු පාලනය කරන කාලෙ මහඔය හිටපු ආරච්චි.මේ මහ ඔය හැම කටයුක්තක්ම බලා සොයා ගෙන පොදු වැඩ කරවන්නෙ එයා.ඔය දැන් එහාට මෙහාට යන්නෙ කවුරුහරි අමුත්තෙක් ඇවිත් කියල තේරිල.ඒක ගැන අහන්න කෙනෙක් එළියට එනකම් ඔය ඇවිදින්නෙ.”
“ඈ යකෝ මට මහඔයට එන්න ආරච්චිගෙන් අවසර ගන්නත් ඕනද එතකොට ?,”
“නෑ සර් ආරච්චි මහත්තය මේ දවස්වල මහඔය වැව කැඩිල ගිහින් ඒක රෙපයාර් කරගන්න උදව්වක් ගන්න කවුරුවත් හොයාගන්න විදියක් නැතුව කණගාටුවෙන් ඉන්නෙ.ඔය බලන්නෙ මේ ආපු අමුත්ත කවුද වැව හදා ගන්න උදව්වක් ගන්න පුලුවන් කෙනෙක්ද කියලයි දැන් මෙතනට ආවොත් ඉල්ලන්නෙ වැව හදාදෙන්න කියලයි.”මම සිනාසෙමින් කීවෙමි.
“එහෙනම් කතා කරපං බලන්න. හැබැයි ඔහොම ඉඳලම කතා කරපං. එළියට යන්නෙ නැතුව.”
මම ජනේලය ලඟට ගොස් අත්පුඩි ගසා ආරච්චි මහත්තයට අත වනා කතා කළෙමි.මා කතා කරනු දුටු ඔහු සිනාමුසුව කඩිනමින් ගේට්ටුවෙන් ඇතුලු විය.අප අසුන් ගෙන සිටි විසිත්ත කමරයේ දොර අසලට පැමිණ එබිකම් කළ ඔහුට මම “ආ එන්න එන්න ආරච්චි මහත්තයා මේ අමුත්තෙක් ඉන්නව අඳුන්වල දෙන්න”.කියා පැවසුවෙමි..
ඒක තමයි සර් මමත් බැලුවෙ මේ කවුද? ඇවිත් ඉන්නෙ කියලා” කියමින් ඇතුලු වූ ඔහුට “මේ ඉන්නෙ අපේ පලාතෙ ආණ්ඩුකාරතුමා.අර ඉන්නෙ පලාතෙ මහ ලේකම්තුමා මහඔය බලන්න ඇවිල්ල” .යනුවෙන් ද පැවසුවෙමි.
එවිට ආණ්ඩුකාරතුමා ආසනයෙන් නැගිට දෑත් එක්කර ආයුබෝවන් ආරච්චි මහත්තයා කිය ඔහුව පිළිගත්තේය.සුදු බණ්ඩා ආරචිචි මහත්තයා ද අතේ තිබූ කුඩය බිම දමා දෑත් එක්කර ආයුබෝවන් “ආණ්ඩුකාරතුමනි ඔබතුමා යහපත් වුනු එකනම් මේ වෙලාවෙ ඉතාම වටිනව අපේ වැව හදාගන්න අපිට උපකාරයක් ගන්නත් පුලුවන්ද බැලිය හැකියි අද නම්” කියා සිනාසුණි.
ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු මහතාගේ මුහුණ පුරා නැඟි සිනාව තවත් පුළුල්වූයේ මා කලින් කියූදේ හරියටම හරිගිය නිසා විය යුතු ය.එතැන් සිට පුරා පැයදෙකක් පමණ බරපතලම සාකච්ඡාව පැවැත්වුණේ ආරච්චි මහත්තයාත් ලයනල් ප්‍රනාන්දු ආණ්ඩුකාරතුමාත් අතර ය.මහඔය, රටේ මහත්වරුන්ගේ පාලනය, ගහ කොල සතා සීපාවා ගැන කෘෂි කර්මාන්තය වැව් ගැන වැදි ජනතාවගේ සංස්කෘතිය හෝලිකේ වන්නකු තිසාහාමි ගේ රජයට භාරවීම ආදී තොරතුරු ගොන්නක් සුදු බණ්ඩා ආරච්චි විස්තර කරද්දී මනමේ නාට්‍යයේ පලමු වැදි දෙටුවාට රඟපෑ ආණ්ඩුකාරතුමා බින්තැන්න වැදි සමාජය ගැන ඉමහත් උනන්දුවෙන් සවන් දෙනු දුටුවෙමි.එවෙලේම කැඩුණු මහඔය වැව බැලීමට ගිය ආණ්ඩුකාරතුමාගෙන් වැව අලුත්වැඩියාවට මුදල් වෙන්කිරීම ද සිදුවිය.එදින රාත්‍රි අපගේ සාකච්ඡාවේදී ආණ්ඩුකාරතුමා පැවසුවේ සුදුබණ්ඩා ආරච්චි මහතා පොදු කටයුතු වෙනුවෙන් කැපවුණු අපේ පැරණි ජන සමාජය නියෝජනය කරන පරාර්ථකාමී සාම්ප්‍රදායික ගැමි නායකයෙකු බවයි. ඉන්පසු පරපුරේ වැඩියෙන් ඉන්නේ සාමදාන විනිශ්චයකාර කමක් ගෙදරට යන පාර හදා ගැනීමක් තමන්ගේ ගෙදර ඇති පාරට විදුලිය ඉල්ලීමක් ආදී ආත්මාර්තකාමීව සිතන නායකයින් බවත් අපට පැහැදිලි කරමින් සමාජ විකාශය තුළ මිනිසුන් ලෙස අපේ පිරිහීම ද පෙන්වා දුන්නේය.දින දෙකක් පුරා මහඔය ගම්වල ඇවිද මිනිසුන්ගේ ප්‍රශ්න මැනවින් සාකච්ඡාකර බැලූ එතුමා මහඔයෙන් නික්ම ගියේ ආරච්චි මහතාගේ නිවසට ද ගොඩ වැදී ඔහුගෙන්ද සමු ගනිමිනි.
ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයත් ලේක්වුස් ආයතනයේ සභාපතිධුරයත් හෙබවූ එතුමා ඉඳ හිට අපට දුරකතනයෙන් කතා කර අම්පාරේ යම් යම් තොරතුරු විමසීම කළේය.
ඔය අතරේ එක් දිනක දහවල් ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් හිටපු දිසාපතිවරයෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කෙරිණ.අප දන්නා හිටපු දිසාපති ලයනල් ප්‍රනාන්දු නම් මෙතුමා ය මමත් එවක අම්පාර ප්‍රාදේශීය ලේකම් මගේ මිත්‍ර පී බී අමරසේකරත් දෙදෙනා ඉමහත් ශෝකයෙන් ඒ ගැන විස්තර දැන ගැනීමට ගනේෂ් සර්ට කතා කර දුක සැප විමසා කොහොමද? අපේ ලයනල් ප්‍රනාන්දු සර් සනීපෙන් ඉන්නවාදැයි ඇසුවෙමු..ඊට දින දෙකකට පෙරත් හමුවූ බවත් කොළඹ යන බොහෝ දිනවල එතුමාව මුණගැසෙන බවත් පැවසුණි. පසුව අප තීරණය කළේ ලයනල් ප්‍රනාන්දු මහතාගේ ගෙදරටම දුරකතන ඇමතුමක් ගන්නය. මම දුරකතන අමතුම ගත්තෙමි.
“හලෝ” කවුදෝ කාන්තාවක් පිළිතුරුදුන්නාය.මම හිතන්නේ ඒ සෝමලතා මැඩම් වියයුතුය.(හඬ ගැඹුරුය ශෝකබරිත බවක් නැත.)
“මැඩම් මම අම්පාරෙ මහඔය ප්‍රාදේශීය ලේකම්. ලයනල් ප්‍රනාන්දු සර්ට කතා කළ හැකිද?”
“ආ පොඩ්ඩක් ඉන්න”.(මළ ගෙදරක් බවක් නොඇඟවේ)
“හලෝ සුනිල් කොහොමද?ඉතින් “ලයනල් ප්‍රනාන්දු මහතා මා අමතයි
“ආ සර් හොඳින් ඉන්නවා. මේ අමරසේකර කෝල් එක ගන්න කිව්වෙ,මම ෆෝන් එක දෙන්නම්” කියා අමරෙට රිසීවරය දුන්නෙමි.
මට හිනාව වලක්වා ගන්න. බැරිය මැරුණායැයි ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වලට නිවේදනය කළ ලයනල් ප්‍රනාන්දු හිටපු දිසාපතිවරයා දුරකතනයෙන් පිළිතුරු දෙමින් සිටියි. කීමට දෙයක් නැතිව අමරසේකරගේ ඇඟේ ගැසූ දුරකතන ඇමතුමට දැන් පිලිතුරු දීගත නොහැකිව අමරේ ඒ මේ අත ඇඹරෙනු පෙනෙයි.
“ඔව් සර්” “අනේ නෑ සර්” “එහෙම හිතුවෙ නෑ” ” නිකං සර්” ආදී උත්තර දිදී සිටි අමරේ “හරි සර් මෙන්න සුනිල් ඉන්නවා ”
කියා රිසිවරය මගේ අතටම දුන්නේය.
“ඈ යකෝ තොපි දෙන්න හිතුවෙ මම මළා කියල නේද?ඒකනේද මේ හදිසියෙ කතා කළේ.කියපියව්”
“අනේ නෑ සර් රේඩියෝ එකේ හිටපු දිසාපති කෙනෙක් මැරිල කියල කිව්වලු; ඒ ගැන සර්ගෙන් අහන්නයි කතා කළේ.”
“අනේ පල නිකම් බොරු කෙළින්නෙ නැතුව. දවල් ප්‍රවෘත්ති වලින් පස්සෙ අපේ මේ ටෙලිෆෝන් එකට රට වටෙන්ම කෝල් එනව මළගේ කවද්ද අහන්න තොපි දෙන්නටත් උනේ ඒකනෙ. මම තාම මළේ නෑ යකෝ ”
“අනේ සර් අපිත් ප්‍රවෘත්ති ඇහුව උං කිව්වෙ හිටපු දිසාපතිවරයෙක් වූ ලයනල් ප්‍රනාන්දු මහතා අභවප්‍රාප්ත වෙයි කියලනෙ.ගනේෂ් සර්ගෙනුත් වටින් ගොඩින් අහල දැනගන්න බැලුව එහෙම එකක් ගැන දැනගන්න බැරිවුණෙ නිසයි ගෙදරට කතා කලේ.රේඩියෝ එකේ මෙහෙමත් බොරු කියනවද සර්”
“රේඩියෝ එවුන්ගෙ ඇති වරදක් නෑ යකෝ ලයනල් ප්‍රනාන්දු කියල හිටපු මොනරාගල දිසාපති කෙනෙක් හිටිය. එයාගෙ මරණෙ තමයි උන් කිව්වෙ.”කොහොම හරි මම තාම මළේ නෑ හරිද? උඹ ඕක ගනේෂ්ට කිව්වෙ නෑනෙ. නැත්නම් මිනිහත් කතාකරයි කොහොම උනත් උඹලා මං ගැන හොයල බැලුවට ස්තූතියි’ කියා එතුමා ඒ මොහොතේ කී අන්දම මට දැනුදු මැවී පෙනෙයි.
ලයනල් ප්‍රනාන්දු මහතා එදා සුදුබණ්ඩා ආරච්චි සමග ඔහු ගොඩ නගාගත් සම්බන්ධය ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්ව කොළඹට පැමිණි පසුත් දිගුකලක් දෙදෙනා අතර ලිපි ගනුදෙනු හරහා පැවතුණි. අලුතින් එතුමාගෙන් ලැබෙන ලිපි මට පෙන්වීමට ආරච්චි මහතා ගේ පුරුද්ද විය.”මගේ මිත්‍ර සුදු බණ්ඩා ආරච්චි මහතා” ලෙස ආමන්ත්‍රණය කර අත්කුරෙන් ලියූ ඒ ලිපි ආරච්චි මහතා ප්‍රවේසම් කළේ ඉඩම් ඔප්පු වලටත් වඩා ආරක්ෂා සහිතව ය. කවර තනතුරක හිටියත් ලයනල් ප්‍රනාන්දු යනු සුදු බණ්ඩා ආරච්චිට අපේ ආන්ඩුකාරතුමාම විය දිගු කලකට පසු මා අම්පාර දිසාපතිකම කරද්දී හදිසියේ කොළඹ ගොවි කටයුතු පර්‍යේෂණායතනයේදී මා මුණගැසුණි. අවස්‍ථාවේදී ලායනල් ප්‍රනාන්දු මහතා මුලින්ම ඇසුවේ කොහොමද සුනිල් ; අපේ සුදු බණ්ඩා ආරච්චි මහත්තය එහෙම ?කියා ය.ආරච්චි මහත්තයා අප හැර ගොස් කලක් ගතවී බව පැවසූ විට ‘අනේ බොහොම ගුණ යහපත් මනුස්සයා කියා ශෝකයද පල කළේය. මේ මා දන්නා ලයනල් ප්‍රනාන්දු ය.මා කොළඹ දිසාපතිව සිටියදී එතුමා සමග යම් යම් කමිටුවල ද කටයුතු කිරීමට මට හැකි විය.විවිධ උත්සවවලදී මුණ ගැසුණි.එතුමා ජනාධිපති මෛත්‍රීපාල දී තිබුණු උපදේශක කමෙන් ඉල්ලා අස්වුණේ උපදෙස් ඉල්ලන්නේ නැති ජනාධිපති කෙනෙකුගේ උපදේශක ධුරය දැරීම නුසුදුසුය කියා බව ද මතකය. මුණ ගැසුණු කවදත් ඒ පැරණි සුහදත්වය බිඳක්වත් වෙනස් වූයේ නැත.එතුමාගේ ජීවිත කතාව පොත දොරට වැඩීමේ උත්සවයට ඇරයුමක් ලැබී යාමට සිටියදී කොවිඩ් වසංගතය නිසා එම උත්සවය කල් දැමීමට සිදුවීමෙන් ඒ මුණගැසීම අහිමි විය. දැන් ඉතින් යළිත් ලයනල් ප්‍රනාන්දු නම් වූ රූපකාය යළිත් දැක ගන්නට නොහැකි ය.එනමුදු ඔහු විසින් ගොඩ නැගූ විශිෂ්ට මහජන සම්බන්ධතාවයේ ගුණ සුවඳ රාජ්‍ය සේවය තුළ පරමාදර්ශීය සලකුණක් ලෙස තව බොහෝ කාලයක් පවතිනු ඒකාන්ත ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

පහන් ටැඹ