වෙනස් පරිසර අත්දැකීමකට ඔබව කැඳවාගෙන යන උස්සන්ගොඩ

vinivida

අම්බලන්තොට ප්‍රදේශයේ නෝනාගම සිට මීටර් පන්සීයක් පමණ ඉදිරියට ගියවිට මුහුදු තීරයට ආසන්නයේ පිහිටි ඉතාමත් සුන්දර ස්ථානයක් පිළිබඳව මේ විස්තර කරන්නෙ. කලමැටිය අභය භූමියේ හෙක්ටයාර් 111 ක පමණ ප්‍රදේශයක පිහිටා ඇති මෙය උස්සන්ගොඩ ජාතික උද්‍යානය යි. මේ පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස නම් කර තිබෙන ප්‍රදේශයක්. ජාතික උද්‍යානයක් ලෙස උස්සන්ගොඩ නම් කරනු ලැබුවේ 2010 වසරේදි . අපේ රටේ 21 වෙනි ජාතික උද්‍යානය වන මෙය ICUN ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය මගින් ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.

උස්සන්ගොඩ භූමියෙහි දක්නට ලැබෙන්නේ වෙන කොහේවත් දක්නට නොලැබෙන අන්දමේ තද රතු පැහැති පසක්. මේ භූමියෙහි පාවහන් නොමැතිව ඇවිද ගියොත් යටි පතුල් සම්පූර්ණයෙන්ම රතු පැහැ වෙන තරමටම මෙහි පස රතු පැහැයෙන් යුතුයි.
උස්සන්ගොඩ සම්බන්ධයෙන් ගෙතී ඇති ජනප්‍රවාද බොහොමයි.
රාවණ රජුගේ දඬුමොනරය මෙම භූමියට ගොඩබැස්වූ නිසා උස්සන්ගොඩ වූ බවද කියනවා.
රාම රාවණා කතාවේ එන හනුමන්තා සැඟවිලා සිටියේ උස්සන්ගොඩ බවත්, රාම රාවණා යුද්ධයේදී තුවාල සිදුවන අය සුව කිරීම සඳහා හනුමන්තා විසින් බෙහෙත් පැළෑටි ඉන්දියාවෙන් ගෙනැවිත් මෙහි සිටවූ බවත් ජනප්‍රවාදයේ එනවා. විෂ්ණුක්‍රාන්ති, චන්ද්‍රක්‍රාන්ති එම ඔසුපැල බවටද එම ජනප්‍රවාදයන්හි වැඩි දුරටත් සඳහන් වෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශය මංගර දෙවියන්ගේ අඩවිය ලෙසයි සැලකෙන්නේ. මංගර දෙවියන්ගේ වාහනය වුණු මීමා ලැගුම් ගත් වැව මෙහි තිබෙන බවත් සඳහන් වෙනවා. මංගර දෙවියන් යනු වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා මිනිසුන් විසින් අදහනු ලබන දෙවියෙක්. එසේම කිරිහරකුන් භාරව සිටින දෙවියා ලෙසින්ද සැලකෙනවා. ජන විශ්වාසය වන්නේ මංගර දෙවියන් සුදු ඇඳුමෙන් සැරසී නිතර හරකුන් සමග සැරිසරන බවයි. රුහුණ මීකිරිවලට මුල් තැන ලැබී ඇත්තේ මේ දෙවියන් නිසා බවටද එම ප්‍රදේශවල විශ්වාසයක් පවතිනවා.
අතීතයේ මෙය ඉතා අනුහස් සහිත භූමියක් වී තිබූ බවට ද ප්‍රකටයි. මෙම භූමියට ඇතුල්වූ අයට උණ රෝගය වැළඳුණු බව ජනප්‍රවාදයෙහි එනවා. එනිසාම මෙහි කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් පවතින බවයි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වන්නේ.
මානාභරණ රජුගේ රජමාලිගාවක් ද උස්සන්ගොඩ ඉදිකර තිබූ බව පැවසෙනවා. පසුකලෙක මුහුදට බිලි වී තිබෙන මෙම මාලිගාව ඉදිකර තිබෙන්නේ මෙහි පරෙයිගල නම් ස්ථානයේ යි.

ඒ කෙසේ වෙතත් මෙහි කඳු ගැටය මත හාත්පස විහිදී තිබෙන තැනිතලාවේ කිලෝමීටරයක් තරම් වූ බිම් ප්‍රමාණයක තිබෙන රතු පැහැති පස් තට්ටුව මත අතරින් පතර කුඩා පඳුරු තිබුණත් මෙහි වැවෙන්නේ තෘණ විශේෂයක් පමණයි.
උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ වසර මිලියන පහළොවකට පමණ පෙරදී උල්කාපාතයක් කඩා වැටීම හේතුවෙන් මෙම සුවිශේෂී වූ භූමිය නිර්මාණය වී තිබෙන බවයි. එසේ නැතහොත් මේ ප්‍රදේශයට ආසන්න වායු ගෝලයේ දී උල්කාශ්මයක් පිපිරී ගොස් තිබෙන බවයි. මෙහි පස රතු පැහැ වී තිබෙන්නේ ඒ මොහොතේ පිටවන අධික තාපය හේතුවෙන් පිළිස්සීම නිසා බවත්, මෙහි දැන් තැන දක්නට තිබෙන උණු වූ යකඩ බඳු බරැති පාෂාණ එම පිළිස්සීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ ඒවා බවත් විද්‍යාඥයන් වැඩිදුරටත් පවසනවා. මෙම භූමියෙහි පසෙහි ෆෙරස් ඔක්සයිඩ් 27% ක්, සිලිකන් ඔක්සයිඩ් 53%ක් අඩංගු බවද පර්යේෂකයන් පවසනවා. මෙහි ශාක පැළ නොවීමට හේතුව මෙලෙස අධික ලෝහ සාන්ද්‍රනයක් මෙම පසෙහි අඩංගුව තිබීමයි.

මෙය තවදුරටත් සනාථ කරවන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවකට අනුව මෙය දැනට වර්ෂ මිලියන ගණනාවකට පෙර සක්‍රීයව තිබූ භූ තල මායිමක්. එසේ සක්‍රීය භූතල මායිම් ආශ්‍රිතව මැග්මා නොහොත් උණු වූ පාෂාණ ක්‍රියාකාරිත්වයක් පැවතිය හැකියි . එම භූතල මායිම් අතර තිබෙන කුස්තූර හරහා මෙම මැග්මා පෘථිවිය මතුපිටට පැමිණ ඝනීභවනය වී පාෂාණ හට ගන්නවා. මැග්මා ලෙසින් හඳුන්වන ද්‍රවමය පාෂාණයන්ගේ සංයුතියට අනුව සම්භවය වන පාෂාණ වෙනස් වෙනවා. කෙසේ වුවද මේ භූතල මායිම දැන් අක්‍රිය යි. එනිසා දැන් මේ ආශ්‍රිතව මැග්මා ක්‍රියාකාරීත්වයන් සහ පාෂාණ සම්භවය වීම් සිදු වන්නේ නෑ.

උස්සන්ගොඩ මීට වසර මිලියන ගණනකට පෙර මැග්මා ක්‍රියාකාරීත්වයෙන් හටගන්නා ලද පාෂාණයක් සහිත ප්‍රදේශයක් . මැග්නීසියම්, යකඩ සහ සිලිකා බහුල සර්පෙන්ටීන් නම් ඛණිජයත්, තවත් නොයෙකුත් ඛණිජ වර්ගත් එකතු වීමෙන් සෑදුණු මේ පාෂාණ හඳුන්වන්නේ සර්පෙන්ටිනයිට් (serpentinite) ලෙසින් . මෙම ඛණිජ සහිත පාෂාණය ජීර්ණය වීමෙන් නිර්මාණය වන පස අධික ලෙසින් යකඩ, නිකල් හා මැංගනීස් ලෝහ සංයුතියකින් යුතු බැවින් දැඩි රතු දුඹුරු පැහැයක් ගන්නවා.

මෙලෙස සර්පෙන්ටිනයිට් පාෂාණය ජීර්ණය වීම නිසා රතු දුඹුරු පැහැය සහිත පසක් අපේ රටේ හමුවන්නේ උස්සන්ගොඩින් පමණක් නොවෙයි. උඩවලවේ ප්‍රදේශයේ ගිනිගල්පැලැස්ස, ඉඳිකොළපැලැස්ස, වස්ගමුවට ආසන්න යුදඟනාපිටිය යන ප්‍රදේශවල ද මෙම රතු දුඹුරු පස දැක ගත හැකියි. මේ හැම ප්‍රදේශයකම දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණය නම් ශාක රහිත තැනිතලා බිමයි. එහි හට ගන්නේ ද එම පසට ආවේණික වූ තෘණ විශේෂයක් . ඒ හැරුණු විට පඳුරු සහිත තවත් සුවිශේෂී ශාක තැනින් තැන දැකගත හැකියි.
පාරිසරික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින්ද යුත් අපේ රටේ අතීතයේ සිට මේ දක්වාම විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් ද දිනා ගත් සුන්දර ජාතික උද්‍යානයක් වූ උස්සන්ගොඩ නැරඹීම ඔබට සොඳුරු අත්දැකීමක් වනු නිසැක යි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව