විශේෂතා රැසක් සමග එන ප්‍රංශ ඔලිම්පික් තරගාවලිය

2024 ඔලිම්පික් තරගාවලිය පසුගිය 26 වැනි දින අති උත්කර්වත් සහ වර්ණවත් ආකාරයෙන් ආරම්භ වුණා. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ යි. 26 වැනි දින ඇරඹුණු තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 11 වැනි දින යි.

ප්‍රංශයේ ඔලිම්පික් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 100 කට පසුව යි. මෙයට පෙර අවස්ථා දෙකක ප්‍රංශයේ ඔලිම්පික් තරගාවලි පවත්වා ඇති අතර ඒ 1900 සහ 1924 යන වසරවල යි. ප්‍රංශය හැරුණුකොට තුන් වරක් ඔලිම්පික් තරගාවලි පවත්වා ඇත්තේ තවත් එකම රටක් පමණයි. ඒ බි්‍රතාන්‍යය යි. 1908, 1948 සහ 2012 යන වසරවල ඔලිම්පික් තරගාවලි පැවැත්වුණේ ලන්ඩන් නරගයේ යි.

මෙවර තරගාවලියේ සමාරම්භක උළෙල ලෝකයේම සුවිසල් අවධානයක් දිනාගත් උළෙලක් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාමාන්‍යයෙන් ඔලිම්පික් සමාරම්භක උළෙලවල් පැවැත්වෙන්නේ ප්‍රධාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගනයේම බව කව්රුත් දන්නා කාරණයක්. නමුත් මෙවර ප්‍රංශය ඉතිහාසයේ පළමු වරට එම සම්ප්‍රදාය වෙනස් කරමින් ඔලිම්පික් සමාරම්භක උළෙල ක්‍රීඩාංගනයකින් පිටතට රැගෙන ගියා.

ප්‍රංශ ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල පැවැත්වුණේ පැරිසිය හරහා ගලා යන සේන් නදිය ආශ්‍රිතව යි. මෙයට පෙර කිසි අවස්ථාවක ගංගාවක ඔලිම්පික් සමාරම්භක උළෙලක් පවත්වා නැහැ. ඒ නිසා මෙම සමාරම්භක උත්සවය අලුත්ම නිර්මාණාත්මක කටයුත්තක් හැටියට බොහෝ දෙනා හඳුන්වා තිබුණා.

රටවල් 200 කට කිට්ටු ගණනක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 6,800 ක් මෙම අවස්ථාවට සහභාගි වූ බවයි වාර්තා වුණේ. වෙනදා ක්‍රීඩකයන් සමාරම්භක උළෙලට ඇතුල් වන්නේ පයින් ඇවිදගෙන වුවත් මෙවර ඔවුන් පැමිණියේ අලංකාර යාත්‍රාවල නැගීගෙන යි. සේන් නදියේ කි.මී. 6 ක දුරක් පුරා මෙම උත්සවය පැවැත්වුණා.

ක්‍රීඩකයන්ගේ මෙම අපූරු පෙලපාලිය ආරම්භ වුණේ ඔස්ටර්ලිට්ස් පාලම ආසන්නයෙනුයි. එය අවසන් වූයේ අයිෆල් කුලුන කිට්ටුව තැනකින්. එයින් පසුව ඔලිම්පික් ගිනි සිළුව දල්වනු ලැබුවා. ලේඩි ගාගා, සෙලින් ඩියොන් වැනි ලෝක ප්‍රකට ගායිකාවන් ද ඇතුළු කලාශිල්පීන් රැසක් මෙහි දී ප්‍රසාංගික අංග ඉදිරිපත් කරමින් නරඹන්නන් කුල්මත් කළා.

මෙවර ඔලිම්පික් තරගාවලියට අදාළව තවත් විශේෂ කාරණා කිහිපයක්ම තිබෙනවා. දිය මත ලිස්සා යාමේ ඉසව්ව මෙවර පැවැත්වෙන්නේ ප්‍රධාන ක්‍රීඩාංගනයේ සිට කි.මී. 15,000 ක් පමණ දුරින් පිහිටි ස්ථානයක යි. ප්‍රංශයේ පාලනය යටතේ ඇති ටහිටි දිවයින ආසන්නයේ යි මෙම ඉසව්ව පැවැත්වෙන්නේ. ප්‍රධාන ක්‍රීඩාංගනයේ සිට මේ තරම් දුරකින් වෙන කවදාවත් ඔලිම්පික් ඉසව්වක් පවත්වා නැහැ. ඒ නිසා මෙයත් ඔලිම්පික් ඉතිහාසයේ අලුත් වාර්තාවක්.

මෙවර ඔලිම්පික් තරගාවලියට අදාළව තවත් විශේෂ කාරණා කිහිපයක්ම තිබෙනවා. දිය මත ලිස්සා යාමේ ඉසව්ව මෙවර පැවැත්වෙන්නේ ප්‍රධාන ක්‍රීඩාංගනයේ සිට කි.මී. 15,000 ක් පමණ දුරින් පිහිටි ස්ථානයක යි. ප්‍රංශයේ පාලනය යටතේ ඇති ටහිටි දිවයින ආසන්නයේ යි මෙම ඉසව්ව පැවැත්වෙන්නේ. ප්‍රධාන ක්‍රීඩාංගනයේ සිට මේ තරම් දුරකින් වෙන කවදාවත් ඔලිම්පික් ඉසව්වක් පවත්වා නැහැ. ඒ නිසා මෙයත් ඔලිම්පික් ඉතිහාසයේ අලුත් වාර්තාවක්.

මෙයට පෙර කිසි දිනෙක ඔලිම්පික් තරගාවලියකට ඇතුළත් නොවූ අලුත්ම තරගයකුත් මෙවර තරගාවලියට ඇතුළත් වෙනවා. එනම් බ්රේක්ඩාන්සින් (Breakdancing) තරගය යි. පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙන් වෙන වෙනම ඉසව් දෙකක් මෙහි දී පැවැත්වෙනු ඇති. මෙය බොහෝ ප්‍රේක්‍ෂකයන් ආකර්ශනය කරගන්නා ඉසව්වක් වනවාට සැකයක් නැහැ. මෙම ඉසව් පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 9 සහ 10 යන දිනවල යි.

ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුලුන යටත් තරග ඉසව්වක් පැවැත්වෙනු ඇති බව සඳහන්. මෙවර Beach Volleyball ඉසව්ව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ අයිෆල් කුලුන යට ඉදිකරන ලද පිටියක යි.

ප්‍රංශ වැසියන්ට තවත් අලුත්ම ඔලිම්පික් අත්දැකීමක් ලබා දීමටත් සංවිධායකයන් සැලසුම් කර තිබෙනවා. මැරතන් ධාවන තරගය පැවැත්වෙන ධාවන මාර්ගයේ ම ඔවුන්ටත් දුවන්නට අවස්ථාව සලසා දීම තුළිනු යි ඒ. මැරතන් තරගය පැවැත්වෙන දිනයේ ම මේ අයටත් ධාවනයේ යෙදෙන්නට අවස්ථාව ලැබෙනු ඇති. ආධුනික ධාවකයන් 35,000 ක් පමණ මෙම අවස්ථාවට එක් වනු ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර ප්‍රංශ වැසියන්ට තවත් අලුත්ම ඔලිම්පික් අත්දැකීමක් ලබා දීමටත් සංවිධායකයන් සැලසුම් කර තිබෙනවා. මැරතන් ධාවන තරගය පැවැත්වෙන ධාවන මාර්ගයේ ම ඔවුන්ටත් දුවන්නට අවස්ථාව සලසා දීම තුළිනු යි ඒ. මැරතන් තරගය පැවැත්වෙන දිනයේ ම මේ අයටත් ධාවනයේ යෙදෙන්නට අවස්ථාව ලැබෙනු ඇති. ආධුනික ධාවකයන් 35,000 ක් පමණ මෙම අවස්ථාවට එක් වනු ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙවර තරගාවලිය සම්බන්ධයෙන් ඇති තවත් විශේෂ කාරණයක් වන්නේ මෙයට සහභාගි වන පිරිමි තරගකරුවන් සහ කාන්තා තරගකාරියන් සංඛ්‍යා අතින් සමාන වීම යි. තරගාවලියට සහභාගි වන තරගකරුවන් 10,500 න් 5,250 ක් පිරිමින් වන අතර 5,250 ක් කාන්තාවන්. මෙවැන්නක් සිදු වන්නේ ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට යි.

2024 ඔලිම්පික් තරගාවලියේ මෙම විශේෂතා ගැන මෙන්ම මෙවර තරගාවලිය සඳහා යොදා ඇති ආරක්‍ෂාව ගැන ද මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක් වුණා. මේ වනවිට ප්‍රංශය සැලකෙන්නේ බොහෝ සතුරන් සිටින රටක් හැටියට යි. මෙයට මාස කිහිපයකට පෙර ප්‍රංශයේ ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක් පැවැත්වුණු අවස්ථාවක ද අයි.එස්. සංවිධානයෙන් යම් තර්ජනයක් එල්ල වූ බව වාර්තා වුණා. එම තරගවලට ද දැඩි ආරකෂාවක් සැපයීමට ප්‍රංශය පියවර ගත්තා.

මෙයට පෙර අවස්ථා කිහිපයක ඔලිම්පික් තරගාවලි අතරතුර ත්‍රස්ත ප්‍රහාර එල්ල වී තිබෙනවා. 1972 වසරේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ඔලිම්පික් තරගාවලිය අතර එල්ල වූ ප්‍රහාරය ඒ අතරින් ප්‍රධාන යි. පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ් 11 දෙනෙක් මරණයට පත් වුණා. 1996 වසරේ ඇමරිකාවේ ඇට්ලන්ටා නුවර ඔලිම්පික් තරගාවලිය අතරතුර ද බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් කාන්තාවක මිය ගොස් 100 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රියාත්මක කර ඇති ආරක්‍ෂක මෙහෙයුම සාමකාමී කාලයක ප්‍රංශයේ ක්‍රියාත්මක වූ විශාලම ආරක්‍ෂක මෙහෙයුම බවයි සඳහන් වන්නේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර