ෂාරුක් ගේ ‘පතාන්- 2’ ගැන ආරංචියක් !

vinivida

ෂාරුක් ඛාන් රඟ පෑ ‘පතාන්’ චිත්‍රපටය සිනමාලෝලීන් වසඟයට ගත් සිනමාපටයක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය රස විඳි ප්‍රේක්‍ෂකයන්ට මේ දිනවල තවත් සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා. එනම් එහි දෙවැනි කොටසේ රූපගත කිරීම් මේ වසර අවසන් භාගයේ ආරම්භ කෙරෙනු ඇති බවයි.

පසුගිය වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ‘පතාන්’ ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වුණා. ඉන්දියාව ඉලක්ක කර බිහිසුණු ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වන ත්‍රස්තවාදියකුට එරෙහිව දේශප්‍රේමියකු කරන සටනක් පසුබිම් කරගත් මෙම සිනමාපටයේ දීපිකා පාදුකෝන්, ජෝන් ඒබ්‍රහම් වැනි ජනප්‍රිය නළු නිළියන් ද චරිත නිරූපනය කළ අතර සල්මාන් ඛාන් ද එහි කෙටි චරිතයක් සඳහා එක් වුණා.

2023 වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කරගත්තේ ‘පතාන්’ චිත්‍රපටය යි. එය ලොව පුරා ප්‍රදර්ශණයෙන් ඉ.රුපියල් කෝටි 1,050 ක් උපයන්නට සමත් වුණා. ඉහත කී ලැයිස්තුවේ පළමු තැන හිමි කරගෙන සිටින්නේත් ෂාරුක් ගේම චිත්‍රපටයක්. ඒ ‘ජවන්’ චිත්‍රපටය යි. එය උපයා ඇති සම්පූර්ණ මුදල ඉ. රුපියල් කෝටි 1,148 ක්.

කෙසේ හෝ වේවා, මේ දිනවල මාධ්‍ය තුළ පළවන තොරතුරුවලින් පෙනෙන්නේ ‘පතාන්’ දෙවැනි කොටසේ රූපගත කිරීම් බොහෝ දුරට මේ වසර අවසන් හරියේ ආරම්භ කිරීමට ඉඩ ඇති බව යි. මේ වනවිට එහි තිරනාටකය සම්පූර්ණ කර ඇති බවත් මාධ්‍ය සඳහන් කර තිබුණා.

පතාන් පළමු කොටසේ ප්‍රධාන කාන්තා චරිතය රඟ පෑ දීිපිකා පාදුකෝන් ‘පතාන්-2’ සඳහාත් එක් වනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මේ වනවිට දීපිකා සිටින්නේ රඟපෑමෙන් කෙටි විරාමයක් අරගෙන යි. ඒ ඇය මව් පදවිය සඳහා සූදානම් වෙමින් සිටින නිසා යි. මාධ්‍ය වාර්තාවල සඳහන් වූ ආකාරයට ඇයට දරුවා ලැබෙන්නට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මාසයේ යි. එයින් පසු ඇය රඟපාන පළමු සිනමාපටය බොහෝ දුරට ‘පතාන්-2’ වනු ඇති.

පසුගිය දිනවල පළ වූ ආරංචිවලින් පැවසුණේ දීපිකා ගේ සැමියා වන රන්වීර් සිං ද ඉදිරි දිනවල නිවාඩුවක් ගනු ඇති බව යි. ඔහු රඟපෑමට සිටි චිත්‍රපටයක් හදිසියේ අවලංගු වීම නිසා කොහොමටත් ඔහුට යම් නිවාඩුවක් ලැබී තිබුණා. රන්වීර් ඒ වෙනුවට වෙනත් චිත්‍රපට කිසිවක් බාර නොගනු ඇති බවත්, ඒ කාලය දීපිකා සහ දරුවා වෙනුවෙන් වෙන් කරනු ඇති බවත් සඳහන් වුණා. ඒ අනුව පෙනේනේ දීපිකා මාතෘ නිවාඩු ගනිද්දී රන්වීර් ද පීතෘ නිවාඩු ගන්නට සැරසෙන බව යි. දීපිකා ‘පතාන්-2’ හි රඟපාද්දී දරුවා බලාකියා ගැනීමේ කටයුතුත් සමහර විට රන්වීර් අතින් ඉටු වේවි.

පතාන් 2 හි රඟපෑමට සිටින ෂාරුක් මේ දිනවලත් තවත් සිනමාපටයක රඟපාන්නට ලෑස්ති වෙමිනුයි ඉන්නෙ. එම චිත්‍රපටයේ නම King . මේ චිත්‍රපටයත් මේ වනවිට මාධ්‍ය තුළ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කරන්නේ ෂාරුක්ගේ දියණිය වන සුහානා ඛාන් වීම යි. තාත්තාත්, දුවත් එකට රඟපාන පළමු සිනමාපටය මෙය යි.

23 වැනි වියෙහි පසුවන සුහානා රංගනයෙන් දායක වන දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය යි මේ. මෙයට පෙර ඇය The Archies නැමැති චිත්‍රපටයක රඟපෑවා. එය ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ පසුගිය වසරේ යි. නමුත් The Archies සිනමා ශාලාවල තිරගත කෙරුණේ නැහැ. එය ප්‍රදර්ශණය කෙරුණේ නෙට්ෆ්ලික්ස් සේවාව ඔස්සේ යි. ඉන්දියාවේ තවත් ප්‍රසිද්ධ සිනමා පවුල් දෙකක තරුණ සාමාජිකයන් දෙදෙනෙක් ද මෙහි රඟපෑවා. ඒ, ශ්‍රීදේවි ගේ බාල දියණිය කුෂි කපූර් සහ අමිතාභ් බච්චන්ගේ මුණුපුරා වන අගස්ත්‍යා නන්ද යි. මෙම චිත්‍රපටයේ රඟපාද්දි අගස්ත්‍යා සහ සුහානා අතර ආදර සම්බන්ධයක් ඇති වූ බවටත් පසුගිය කාලයේ කටකතා පැතිරුණා. මෙම කටකතා පැතිරෙන්නේ නිතරම වාගේ ඔවුන් දෙදෙනා එකට කාලය ගත කරන ආකාරය දැක්වෙන ඡායාරූප සහ විඩියෝ මාධ්‍ය හරහා එළියට එන නිසයි. නමුත් තමුන් අතර ආදර සම්බන්ධයක් ඇති බවක් ඔවුන් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

King චිත්‍රපටය ගැන තවත් විශේෂ කාරණයක් පසුගිය දිනවල වාර්තා වී තිබුණා. එනම් වසර 10 කට පමණ පසු පළමු වතාවට ෂාරුක් සහ අභිෂේක් බච්චන් මෙහි එකට රඟපානු ඇති බව යි. ඔවුන් දෙදෙනා අවසන් වරට එකට රඟපෑවේ 2014 වසරේ තිරගත වූ ්‍ය්චචහ භැඅ ශැ්ර චිත්‍රපටයේ යි. 2006 වසරේ තිරගත වූ “කභි අල්විදා නා කෙහ්නා’ චිත්‍රපටයේත් ඔවුන් දෙදෙනා රඟපෑවා.

King චිත්‍රපටයේ අභිෂේක් රඟපාන්නේ දුෂ්ඨයකුගේ චරිතයක් ලු ! එහි දුෂ්ඨයන් කිහිප දෙනෙකු සිටින බවත් සඳහන් වෙනවා. ඒ අතරින් ප්‍රධාන දුෂ්ඨයාගේ චරිතය යි අභිෂේක් රඟපාන්නේ.
අභිෂේක් මෙම චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතය රඟපාන බව ඔහුගේ පියා අමිතාභ් බච්චන් ද සිය ඞ පිටුව තුළින් තහවුරු කර තිබුණා. “අභිෂේක්, ඔබට මගේ සුබ පැතුම්! ” යනුවෙන් අමිතාභ් සඳහන් කර තිබෙනු දැකිය හැකි වුණා.

අභිෂේක් බච්චන් වැනි නළුවන් දුෂ්ඨ චරිත රඟපාන්නේ ඉතා කලාතුරකින් බව රහසක් නොවෙයි. ඔහු මෙම චරිතය රඟපෑමට කැමති වුණේ එම චරිතයේ ඇති අපූර්වත්වය නිසා බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණා.

King චිත්‍රපටයේ රූපගත කිරීම් ද තවම ආරම්භ වී නැහැ. ‘පතාන් 2’ හි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ King හි රූපගත කිරීම් අවසන් වීමෙන් පසුව යි.

නිහාල් පීරිස්

රසගඟුල