ජනපතිවරණයට පොදු පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක්;මන්ත්‍රීවරු වැඩි පිරිස ජනපති රනිල් සමඟ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ජනාධිපතිවරණයට තම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරුද්ධ වී තිබේ.ඒ මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර,රමේෂ් පතිරණ,ප්‍රසන්න රණතුංග,බන්දුල ගුණවර්ධන,එස්.බී. දිසානායක,මොහාන් පී ද සිල්වා,කනක හේරත්,කෝකිලා ගුණවර්ධන,ප්‍රදීප් උඳුගොඩ සහ සහන් ප්‍රදීප් යන මහත්ම මහත්මීන් ය.ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කළ අතර දේශපාලන මණ්ඩල සභිකයින් 82 න් 79 දෙනෙකු මෙම රැස්වීමට පැමිණ තිබේ.ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි. නමුත් ඒ අය අතර සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණක් බව වාර්තා වේ.මෙහි දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණයක් බැවින් එයට සියලු දෙනා එකඟ විය යුතු බවයි. එම තීරණයට විරුද්ධ පිරිස රැස්වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් ඇති බව දැනගන්නට තිබේ. ඉහත විරුද්ධවීම් වලදී නිහඩව සිටි නමුත් තමාත් තමාගේ පියා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ. මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණ ඇති අතර ඔවුන් එහිදි ජනාධිපතිවරයාට සිය පූර්ණ සහය ලබා දෙන බව පවසා ඇතැයි පැවසේ. ඒ අනිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම තීරණයත් සමග පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් පක්ෂයේ ප්‍රබල දෙදරා යාමක ලකුණු පහළව ඇති බවත් දේශපාලන ආරංචි පවසයි.ජනපති වරයා හමුවී ඇතැම් පිරිස් පවසා ඇත්තේ ජතතාව විසින් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ පවුල්වාදය නැවත ඉස්මතු කොට පක්ෂය විනාශ කිරීමට පක්ෂ ලේකම් සාගර කාරියවසම් කටයුතු කරමින් යන බවයි.

කාලීන පුවත්