බංග්ලාදේශයේ නැවතත් උණුසුම් තත්වයක්

vinivida

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ගේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් බංග්ලාදේශයේ නැවතත් දැවැන්ත විරෝධතා රැල්ලක් පැන නැගී තිබේ. සති අන්තයේ මෙම විරෝධතා වඩාත් උණුසුම් ස්වරූපයක් ගෙන තිබූ අතර විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් තවත් 90 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. හසීනා ගේ ආණ්ඩුව ඉල්ලා අස්වන තෙක් තමුන් විරෝධතා අත් නොහරින බව විරෝධතාකරුවෝ පවසති.
පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ විවිධාකාරයෙන් විරෝධතා මර්දනය කිරීමට උත්සාහ ගනිමින් සිටියත් එම උත්සාහයන් සාර්ථක වී නැති ආකාරයක් දැකිය හැකි වේ.

අගමැතිනි ෂෙයික් හසීනා

විරෝධතා මුලින්ම ආරම්භ වූයේ මෙයට සති කිහිපයකට පෙර ය. මුල් අවස්ථාවේ එය පැන නැංගේ විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් ලෙසිනි. ඔවුන් විරෝධතා දැක්වූයේ හසීනාගේ රජයේ රැකියා ප්‍රතිපත්තියකට එරෙහිව ය. එම ප්‍රතිපත්තියට අනුව රජයේ රැකියාවලින් සියයට 30 ක් 1971 වසරේ බංග්ලාදේශයේ නිදහස වෙනුවෙන් කළ යුද්ධයේ දී මිය ගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අය වෙනුවෙන් වෙන් කර තිබිණි. නමුත් සිසුන් පැවසුවේ මෙය අසාධාරණ බව යි.

මෙම විරෝධතා මුලින්ම ආරම්භ වූයේ මෙයට සති කිහිපයකට පෙර ය. මුල් අවස්ථාවේ එය පැන නැංගේ විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් ලෙසිනි. ඔවුන් විරෝධතා දැක්වූයේ හසීනාගේ රජයේ රැකියා ප්‍රතිපත්තියකට එරෙහිව ය. එම ප්‍රතිපත්තියට අනුව රජයේ රැකියාවලින් සියයට 30 ක් 1971 වසරේ බංග්ලාදේශයේ නිදහස වෙනුවෙන් කළ යුද්ධයේ දී මිය ගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අය වෙනුවෙන් වෙන් කර තිබිණි. නමුත් සිසුන් පැවසුවේ මෙය අසාධාරණ බව යි. මෙවැනි ප්‍රතිපත්තියක් ඇති කර තිබෙන්නේ හසීනාගේ පක්‍ෂය වන අවාමි ලීගයේ ආධාරකරුවන්ට රැකියා ලබා දීමේ කූඨ අරමුණෙන් බවට ද ඔවුහු චෝදනා කළහ. සිසුන් පැවසුවේ මෙම කෝටා ක්‍රමය අවලංගු කර දක්‍ෂතා මත පමණක් රැකියා ලබා දෙන ක්‍රමයක් ඇති කළ යුතු බව යි.

මුලින් ඉතා සාමකාමී ආකාරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පසුව දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයකට හැරිණි. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පොලිසිය සහ හසීනාගේ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍යයන් විරෝධතාකරුවන් සමග ගැටුම් ඇති කර ගැනීම යි. මෙම ගැටුම් නිසා එම සති කිහිපය තුළ 200 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූහ.

පසුගිය දිනවල තත්වය උත්සන්න වෙද්දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම ප්‍රශ්නයට මැදිහත් විය. රණවිරුවන්ගේ පවුල්වලට ලබා දෙන කෝටාව සියයට 3 දක්වා අඩු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ශිෂ්‍යයන් ද මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබිණි.

මෙම පසුබිම තුළ විරෝධතා යම් දුරකට සමනය වුවත් මුළුමනින් අවසන් වූයේ නැත. ඒ වනවිට මෙම විරෝධතා සිසු විරෝධතාවක තත්ත්වය ඉක්මවා වඩා පුළුල් ආණ්ඩු විරෝධී විරෝධතාවක් බවට පත්ව තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. විරෝධතා තුළට සිය දේශපාලන විරුද්ධවාදීන් ද රිංගා ගෙන ඇතැයි හසීනාගේ ආණ්ඩුව චෝදනා කරන්නට විය.

විරෝධතා මේ ආකාරයෙන් වඩාත් පුළුල් ස්වරූපයක් ගන්නට ජනතාව තුළ ආණ්ඩුව පිලිබඳ පැවැති අප්‍රසාදය ද හේතු වූ බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. වංචා දූෂණ, ජීවන වියදම ඉහළ යාම, ෂෙයික් හසීනාගේ නායකත්වය වඩාත් ඒකාධිපති ස්වරූපයක් ගනිමින් තිබීම වැනි කාරණා නිසා පසුගිය කාලයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගිලිහී යමින් තිබිණි.

බංග්ලාදේශය මේ වනවිට වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්වන රටකි. නමුත් මෙම වර්ධනයෙන් වැඩි වාසි හිමි කරගනිමින් සිටින්නේ හසීනාට සහ ඇයගේ පක්‍ෂයට සමීප උදවිය බවට ද චෝදනා එල්ල වෙයි. අගමැතිනියගේ හිතවතුන්ව සිටි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම එරෙහිව පසුගිය කාලයේ දූෂණ චෝදනා එල්ල විය. හිටපු පොලිස්පතිවරයකු වන බෙනසීර් අහ්මඩ් එයින් කෙනෙකි. අයථා ක්‍රමවලින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

බංග්ලාදේශය මේ වනවිට වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්වන රටකි. නමුත් මෙම වර්ධනයෙන් වැඩි වාසි හිමි කරගනිමින් සිටින්නේ හසීනාට සහ ඇයගේ පක්‍ෂයට සමීප උදවිය බවට ද චෝදනා එල්ල වෙයි. අගමැතිනියගේ හිතවතුන්ව සිටි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම එරෙහිව පසුගිය කාලයේ දූෂණ චෝදනා එල්ල විය. හිටපු පොලිස්පතිවරයකු වන බෙනසීර් අහ්මඩ් එයින් කෙනෙකි. අයථා ක්‍රමවලින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. අහ්මඩ්ට එරෙහිව මේ වනවිට දියත්ව ඇති විමර්ශනයක් විශාල අවධානයක් දිනාගෙන තිබේ. ඔහු කලක් ෂෙයික් හසීනාට සමීපව සිටි නිලධාරියකු බව සඳහන් ය.

පසුගිය කාලයේ බංග්ලාදේශයේ පැවැති මැතිවරණ සම්බන්ධයෙන් ද විවිධ පාර්ශ්වවලින් බොහෝ චෝදනා එල්ල විය. ඒ, එම මැතිවරණ නිදහස් සහ සාධාරණ ආකාරයෙන් නොපැවැත්වුණු බවට ය. බංග්ලාදේශයේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන, ඛලීඩා ෂියා නායකත්වය දරණ බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය කිහිප අවස්ථාවකම මැතිවරණ වර්ජනය කිරීමට කටයුතු කළේය. භාරකාර ආණ්ඩු යටතේ මැතිවරණ පවත්වන ලෙස විරුද්ධ පක්‍ෂ විසින් කරන ලද ඉල්ලීම් අගමැතිනි ෂෙයික් හසීනා පිලිගත්තේ නැත. විරුද්ධ පක්‍ෂ ක්‍රියාකාරිකයන් අතුරුදන් කළ අවස්ථා ගැන ද පසුගිය කාලයේ වාර්තා විය.

මැතිවරණ නිදහස්, සාධාරණ ආකාරයෙන් නොපැවැත්වීම නිසා ආණ්ඩු විරෝධී ජනතාවට සිය විරෝධය මැතිවරණ හරහා ප්‍රකාශ කිරීමට ක්‍රමයක් නොවීය. මේ දිනවල පැවැත්වෙන විරෝධතා හරහා ජනතාවගේ එම යටපත් කළ අප්‍රසාදය ද පිට වෙමින් ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වෙද්දී නැවත වටයකින් උත්සන්න වී ඇති විරෝධතා තුළ දේපළ විනාශ කිරීම්, ගිනි තැබීම් ආදිය ගැන ද වාර්තා වෙයි. රජයට ගෙවිය යුතු බදු සහ වෙනත් බිල්පත් ආදිය නොගෙවන මෙන් ද විරෝධතාකරුවෝ ජනතාවගෙන් ඉල්ලති. ප්‍රවාහන සේවා අඩාල වීම නිසා බොහෝ දෙනෙකුට රැකියා සඳහා වාර්තා කිරීම ද දුෂ්කර වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. නැවතත් රට පුරා ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් ගැන ද මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබිණි. අන්තර්ජාල සේවා ආදිය අවහිර කිරීමට ද රජය පියවර ගෙන ඇතැයි සඳහන් ය.

මෙම විරෝධතා සැලකෙන්නේ මෑත කාලයේ හසීනා ගේ ආණ්ඩුව මුහුණ දුන් දරුණුම අභියෝගය ලෙසිනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර