කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කොළඹට සම්බන්ධ වන “කල්‍යාණි රන් පිවිසුම” නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා “සැර” කතාවක් කළේ ය.
ඒ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලනවා නම් එය ක්‍රියාත්මක කරන්න ලැහැස්ති බවත් කොමිසමේ වාර්තාවෙන් හිටපු ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයම මෙම සිද්ධියේ වගකීම බාරගත යුතු යැයි දක්වා තිබෙන බවත් ඔහු කීවේ ය.
එසේම තම ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන බැවින් මේ පිරිසේ ප්‍රජා අයිතීන් ඉවත් කිරීමට හැකි යැයි අනතුරු ඇඟවූ ජනාධිපතිවරයා අවශ්‍ය එය නම් එය කිරීමට ද සුදානම් බවද ප්‍රකාශ කළේ ය.
සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රකාශයක් ප්රජාතන්ත්රවාදයේ “අ” යනු “ආ” යනු හෝ කියවා ඇති කෙනෙකු කියන ප්‍රකාශයක් නොවන බව බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.
ප්රජාතන්ත්රවාදී රටක නායකයෙකු මෙවැනි ප්‍රකාශයක් කිසි ලෙසකින් වත් ප්‍රසිද්ධියේ නොකියන්නකි. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග සිහිපත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියූ කතාවකි.
ජනාධිපතිවරණයට පෙර ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ ප්‍රාදේශීය සභාවකවත් නොසිටි ප්‍රද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙනවාට තමන් මුල සිටම විරුද්ධ බව ය.
වෙල්ගම එදා සිටියේ රාජපක්ෂ කඳවූරේ ය. ඔහු රාජපක්ෂ කදවුරෙන් ගැලවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමත් සමඟ ය. දැන් ඔහු නියෝජනය කරන්නේ විපක්ෂ කඳවුර ය.
පාර්ලිමේන්තුවේ දී ඔහු නැවතත් මෙම ප්‍රකාශය තහවුරු කරමින් අදහස් දැක්වූ අතර අපි ඒ ගැන ද ලිපියක් පළ කළෙමු.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ජනාධිපතිවරයා සතු බව කියමින් ඔහු මේ කියන්නට උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් මණ්ඩලය නියෝජනය කළ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බවකි. තුනෙන් දෙකක බලයක් පැවැති පමණින් එය කළ හැකි ද?
මෑත ඉතිහාසයේ දේශපාලනය මැදිහත් වී ප්‍රජා අයිතිය අහෝසි වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ය. ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් පත් කළ කමිටුවක් මගින් ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ අතර ඒ අනුව පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යෝජනාවක් ප්‍රකාරව මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි විය..
ප්‍රජා අයිතිය අහෝසිවීමෙන් සාමාන්‍ය ප්‍රද්ගලයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව තිබෙන මූලික අයිතිවාසිකම් කිහිපයක් අහෝසි වෙයි. දේශපාලඥයෙකුට අත්‍යවශ්‍යම කාරණයක් වන ඡන්ද අයිතිය අහෝසිවීම ඒ අතුරින් මුල් තැනක් ගනී. ඡන්ද අයිතිය අහෝසි වූ කෙනෙකුට දේශපාලනයට සම්බන්ධ විය නොහැක..
වත්මන් ජනාධිපතිවරයා ද මේ යෝජනා කරන්නේ දැනට සක්‍රිය දේශපාලනයේ සිටින පිරිසක් නිවසට කොටු කිරීමට ය.නමුත් පසුව ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී කතා කළේ ය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පසු දින පාර්ලිමේන්තුව අමතමින් හිටපු ජනාධිපතිවරුන් කළ වැරදි කිහිපයක් නිසා ආණ්ඩු පක්ෂයේ සිටි පිරිස් විපක්ෂයට යාම ගැන ද කීවේය.
ජනාධිපති ප්‍රේමදාසගේ වැරදි තීන්දු නිසා ලලිත් – ගාමිණි විපක්ෂයට යාමත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිගේ යම් යම් තීන්දු හේතුවෙන් එස්.බි දිසානායක ඇතුළු පිරිසක් විපක්ෂයට ගිය ආකාරයත් ඔහු කීවේ ය.
එසේම තමන්ට ද ආණ්ඩුවෙන් එළියට පැමිණි විපක්ෂයට එක්වී ජනාධිපති අපේකෂකයා වූයේ ද තමන් එදා නියෝජනය කළ රජයේ වැරදි හේතුවෙන් බවද ඔහු කියා සිටියේ ය. එම නිසා තුනෙන් දෙකක බලය යනු ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයක් බවට ඔහු ඉඟි කළේ ය.
එසේම වත්මන් ආණ්ඩුව සුළු පක්ෂ රැසක එකතුවකින් සකස් වූ ආණ්ඩුවක් බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා තුනෙන් දෙකක ආණ්ඩු පක්ෂ නියෝජනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා ද සිටින බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද තමන්ගේ තුනෙන් දෙකක බලය භාවිතා කරමින් හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක “ගෙදර යැව්වේය”. ඒ මහින්ද රාජපක්ෂගේ බලයේ උච්ඡතම අවධියේ ය.
එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිසට උඩින් මැස්සෙක්වත් පියාසර නොකළ යුගයක් විය. නමුත් අවසානයේ ඔහුට ද ජනාධිපති ධූරය අහිමි වී දැන් නාම මාත්‍රික අගමැතිධූරයකට සීමා වී දුක් සුසුම් හෙළීමට සිදු වී තිබේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එදා තිබූ බලය වත්මන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ තිබේ ද යන්න සැක සහිත ය. ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනාධිපතිවරයාට “පිස්සා’ යැයි ඇමතීමට තරම් අද පාර්ලිමේන්තු නිදහස තහවුරුවී ඇති බව ය. ඒ වෙල්ගම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු සපයමිනි.
“පිස්සා” යැයි ඇමතීමට නිදහසක් තිබෙනවා කියන්නේම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා ගෙනෙන යෝජනාවකට ඡන්දය භාවිතා නොකර සිටීමට හැකියාවක් පවතින බවක් නොවේද? යන පැනය මතුවේ. මෙදා අය වැය ඡන්ද විමසීමට පවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහභාගී වූයේ නැත.
විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය දීම හේතුවෙන් 153 ක් රැගෙන තුනෙන් දෙක තහවුරු කිරීමට හැකිවුව ද මෙයින් මන්ත්‍රීවරු තුන් දෙනකු නොපැමිණියහොත් තුනෙන් දෙක ද අවසන් වන්නේ ය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනියමින් තහවුරුව වන තවත් කරුණක් තිබේ. ඔහු මේ වන විට රාජ්‍ය පාලනයේදී අවසන් බිත්තියටම සිරවී ඇති බවකි.
ඔහු දැන් උත්සාහ කරන්නේ 2015 ට පෙර සිටි හිතුවක්කාර ආරක්ෂක ලේකම්ගේ භූමිකාව වුව ද තමන්ට රඟපෑ හැකි බව කියා සිටීමට ය. එම නිසා තමන්ගේ මතයට විරුද්ධ නොවන ලෙස තර්ජනයක් මේ තුළ තිබෙන බව පැහැදිලි ය.එහෙත් ඔහු අනුගමය කිරීමට යන තර්ජනාත්මක දේශපාලනයනය අදට වලංගු නැත.
පොලිස් අත් අඩංගුවට පත් සැක කරුවන් එළිපිටම මරා දැමීම සේම මෙවැනි ප්‍රකාශ තුළින් ද ශ්‍රීලංකාව තව තවත් ප්රජාතන්ත්රවාදය අහිමි රටවල් ගොඩට ජාත්‍යන්තරව තල්ලුවී වැළැක්විය නොහැකි ය.
ජිනිවා මානව හිමිකම් කොමිසම හමුවේ තව තවත් චෝදනාවන්ට ලක්වීම ද නොවැරදීම සිදු වනු ඇත..එවිට දැනටමත් ඩොලර් සාගතයකින් පෙළෙන ලෝක දේශපාලනයේ කුණු බක්කියටම වැටෙනු නියත ය.
ඒ අනුව අපට හැඟී යන්නේ කල්‍යාණි රන් පිවිසුම විවෘත කරමින් ජනාධිපති වරයා කළ කතාව මෙරට ප්රජාතතන්ත්රවාදය සම්බන්ධ වැරදි පිවිසුමක් බව ය.
ලසන්ත වීරකුලසූරිය