ලුණුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත ඊයේ(25)අළුයම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් ඒ බව පොලිස්පති වරයාට කල් ඇතිව දැනුම් තිබියදීම බව වාර්තා වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා හිඳිනුයේ ලසන්තගේ නීතිඥ සංජන ආරියදාස මහතා කරන ලද අනතුරු හැඟවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඒ මොහොතේම පොලිස්පතිවරයාට ඊමේල් මගින් හා කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බවකි.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ද දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩි දුරටත් නිවේදනය කර ඇත.
ඒ මානුෂීය නියෝජිතායතන සාමුහිකයේ (CHA) ප්‍රධානී ධුරය ඔහු දරන හෙයිනි.
එයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන භාර කොමසාරිස්, කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන අධ්යක්ෂ වෙතද ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
වධහිංසා සහ අත් අඩංගුවේ ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා එල්ලවී තිබෙන ශ්‍රී ලංකාවේ පොලිස් බලකායට දශක එකහමාරකට වැඩි කලක් ලබා දුන් පුහුණුව ස්කොට්ලන්ත පොලිසිය විසින් නවතා දමා දින දෙකක් ගත වන්නටත් මත්තෙන් පොලිස් අත් අඩංගුවට පත්වීම බරපතල අර්බුදයක් නිර්මාණය කරන්නක් බව දේශපාලන විචාරකයෝ කියති.