වගා හානිවල වගකීම වන සතුනට පමණක් පැවරීම දේශපාලන බෙලහීනතාවකි

vinivida

වගා හානිවල වගකීම වන සතුනට පමණක් පැවරීම දේශපාලන බෙලහීනතාවකි. අපේ රටේ බෝග වගාවන්ට, වන සතුන්ගෙන් සිදු වන හානි පිළිබඳ විශාල කතාබහක් පැතිර ගොස් තිබේ. මෙය විශේෂයෙන් මැතිවරණ වේදිකාවල දී පවා දේශපාලනඥයන් නිතර පවසනු අසන්නට පුළුවන. එමෙන්ම ඇතැම් අවස්ථාවල දී විවිධ වන සතුන්ගේ ගහනයන් පිළිබඳ පාර්ලිමේන්තුව වැනි රටේ මහජනතාවට වගකිවයුතු ආයතනවල සිට පවා ඇතැම් දේශපාලනඥයන් තමන්ට සිතෙන සිතෙන ප්‍රමාණයන් මුල් කොට පට්ටපල් කෙබර අත හැරීම ද නිතර අසන්නට ලැබෙන්නකි. නමුත් ඔවුන් එවැනි සංඛ්‍යාලේඛන උපුටා ගැනීම සඳහා පාදක කරගත් නිල මූලාශ්‍රයක්, සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කරන්නේ නැත. එමෙන්ම මේ වන සතුන්ගෙන් සිදු වන හානි පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම ද දකින්නට ලැබේ. මේ බොහෝ ඒවා බැලූබැල්මටම හිතලු සේ පෙනෙයි.

එළවළු අළෙවි කර ගැනීමට නොහැකිව ඉවත දමා ඇති අයුරු

වන සතුන්ගේ ගහනය වැඩි වීම යන්නෙහි ඇති සැබෑ විද්‍යාත්මක අර්ථකථනය නම්, වන ගහනයන් අඩු වීමට සාපේක්ෂව ඔවුන් මානව ජනාවාස වෙත සංක්‍රමණය වී තිබෙනවාය යන්නය. මේ නිසා ගොවි බිම් ප්‍රදේශවල වැඩි වන සතුන් ගහනයක් දක්නට හැකිය. ඔවුන් ඊළඟට නොකියා පවසන්නේ මේ සතුන් මරා දැමීම වැනි අදහසකි. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ culling නමිනි. එනම් තෝරා ගත් සතුන් වර්ග ඝාතනය කිරීම තුළින් වන සතුන්ගේ ගහනය අඩු කිරීම යන්න ය. ලෝකයේ විවිධ රටවල මෙය සිදු කොට ඇති අතර ඒවාට උදාහරණ ද ඕනෑ තරම් තිබේ. නමුත් මෙය දීර්ඝ කාලීන වශයෙන් ස්වාභාවික අනර්ථයන්ට මුහුණ දෙන්නට වන ක්‍රියාවක් බව පරිසර විද්‍යාඥයන් ගේ නවතම පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ.

මේ අතර වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පිළිබඳ තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කොට ඇති අතර මේ වන විටත් ගොවීහු මෙයට අදාළ තොරතුරු ලබා දෙමින් සිටිති. කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පවසන ආකාරයට අනුව වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානිවලින් සිදු වී ඇති පාඩුව කෝටි 1800 ද ඉක්මවන බව සඳහන් කොට තිබේ.

අපේ රටේ එළවළු ප්‍රවාහනය කරන ආකාරය. ගමනාන්තයට යද්දී එළවළු බොහොමයක් තැලී පොඩි වී තිබේ

වගා බිමේ දී සතුන්ගෙන් වගාවන්ට හානියක් සිදු නොවේ යැයි අපි නොකියමු. නමුත් එසේ සිදුවන බව බෝග හානිවලට වන සතුන්ම අල්ලා ගත යුතු නැත. මේ කෘෂි අස්වනු ප්‍රවාහනයේ දී, අළෙවියේ දී, බොහෝ විනාශයක් සිදු වන බව ඒකාන්ත සත්‍යයකි. නමුත් ඒ පිළිබඳව වැඩි කතාබහකට ලක් වන්නේ නැත. ඇතැම් අස්වනු අළෙවි කර ගනු නොහැකිව විනාශ වන අවස්ථාවන් ද ඕනෑ තරම් දැකිය හැකිය. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානවල කෘෂි අස්වනු විශාල ප්‍රමාණයක් අපතේ යයි. කෘෂිකර්ම අමාත්‍යංශයේම වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට එළවළුවලින් 19% ක්ද, පලතුරුවලින් 21% ක්ද වාර්ෂිකව අපතේ යයි. මෙය ප්‍රමාණාත්මකව ගෙන බැලුවහොත් එළවළු මෙට්‍රික් ටොන් 221,995 ක් සහ පලතුරු මෙට්‍රික් ටොන් 290,151ක් වේ. මෙය අති විශාල ප්‍රමාණයකි. මෙහි මුදල් වටිනාකම සඳහන්ව නැත. 2021 වසරේ පමණක් මෙසේ අපතේ ගිය එළවළුවලින් මිනිසුන් ලක්ෂ 10කට ආහාර සැපයීමට හැකියාව තිබූ බව ද වෙබ් අඩවියේ සඳහන් වී තිබේ. මේ සා ආහාර අපතේ යාමක් පෙනෙන්නට තිබියදීත් අදාළ බලධාරීන් එහි වරද වන සතුන් පිට පමණක් දමා වගා බිම් ආශ්‍රිතව සිටින සතුන්ව මරා දමා හෝ තුරන් කළ යුතු බවට අදහස් දැක්වීම කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ.

මේ අපතේ යන ප්‍රමාණය වළක්වා ගතහොත් ආහාර සුරක්ෂිතතාව වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නට හැකියාව ලැබෙනු ඇත. අනෙක අස්වනු නෙලීමෙන් පසු අවධියේ දී සහ ප්‍රවාහනයේ දී සිදුවන මේ හානියේ ප්‍රමාණය සුළුපටු නැත. අපේ රටේ තවමත් අවම හානි වන පරිදි එළවළ සහ පලතුරු ප්‍රවාහනය කෙරෙන ක්‍රම භාවිත කෙරෙන බවක් පෙනෙන්නට ද නැත. ඇතැම්විට මෙහි මුදල්මය වටිනාකම වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානියට ආසන්න විය හැකිය. මේ අනුව පෙනෙන්නේ අප රටේ වගාවන්ගෙන් ලැබෙන අස්වැන්න අපතේ යා නොදී කළමනාකරණය කරගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවය.

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු අපතේ ගොස් ඇති ආකාරය

අප රටේ සතුන්ගේ ආරක්ෂාව පිණිස ඇත්තේ 1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත පමණි. මෙහි ඇති විධිවිධාන යල් පැන ගොස් ඇති බැවින් වර්තමානයට ගැලපෙන සත්ව සුබසාධනපනත් කෙටුම්පතක් සඳහා 2016 වසරේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ ද එය සම්මත කරගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත.

අනාගතයේ සමස්ත මිනිස් සංහතියටම ආහාර පිළිබඳ ගැටලුවක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ලෝකයේ සෑම රටක්ම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නිතර සංවාදයේ යෙදෙනු දක්නට ලැබේ. එසේ තිබියදී අප රටේ අපතේ යන ආහාර ප්‍රමාණය අති විශාලය. එය හුදෙක්ම වන සතුන්ගේ ගිණුමට බැර කොට ඇඟ බේරාගැනීමක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. කෘෂිකර්මය සම්බන්ධ දේශපාලඥයන් සහ බලධාරීන් ඇතුළු වගකිවයුත්තන්ට සැබවින්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ යම් හැඟීමක් ඇත්නම් පසු අස්වනු අවධියේ දී සහ ප්‍රවාහනයේ දී සිදුවන අතිවිශාල බෝග හානිය අවම කරගන්නට හැකියාව තිබේ. නමුත් ඔවුන් එය සිදුකරන්නේ නැත. ඔවුන්ට ඇති එකම සහ පහසුම විසඳුම බවට පත්ව ඇත්තේ සතුන් තුරන් කිරීම සඳහා උපදෙස් දීම පමණක් බව පෙනේ.ඒ අනුව අප ඒකාන්ත වශයෙන්ම පවසා සිටිනුයේ වගා හානි වල වගකීම වන සතුනට පමණක් පැවරීම දේශපාලන බෙලහීනතාවක් බව ය.

අපතේ යන එළවළු ආහාරයට ගැනීම සඳහා වන අලි පැමිණෙන ආකාරය

අප රටේ සතුන්ගේ ආරක්ෂාව පිණිස ඇත්තේ 1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත පමණි. මෙහි ඇති විධිවිධාන යල් පැන ගොස් ඇති බැවින් වර්තමානයට ගැලපෙන සත්ව සුබසාධනපනත් කෙටුම්පතක් සඳහා 2016 වසරේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ ද එය සම්මත කරගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත. කෙසේ නමුත් වගාවන්ට හානි සිදුවන්නේ වනසතුන්ගෙන් පමණක් යැයි සිතන සහ එයට ඇති එකම විසඳුම වනසතුන් තුරන් කිරීම යන අදහසේ සිටින ඇතැම් බලධාරීන් සිතන්නේ මේ පනත ඔවුන්ගේ එම අභිප්‍රායන්ට බාධාවක් වන බවය. ඇතැම්විට මෙය මෙය පාර්ලිමේන්තුවේ අනුමැතියට යැවීමට බාධා කරන්නේ ද මෙවැනි බලධාරීන් වන්නට ද පුළුවන. එවැනි ශක්තිමත් පනත් පවතින්නේ නම් වනසතුන්ගේ ආරක්ෂාවට වඩාත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබේ.

අනෙක සෑම වසරකම අළෙවි කර ගත නොහැකිව අපතේ යන බෝග වර්ග ද බොහොමයකි. මේවා අපතේ නොයවා කල්තබා ගැනීමට හෝ අපනයනය කොට ආදායම් ඉපයිය හැකි ක්‍රම පිළිබඳව හෝ සැලසුම් ඇති කරනු දක්නට ලැබෙන්නේ නැත.

සියල්ල වන සතුන් මතට බැරකොට පහත් තැනින් ජලය ගලා යන්නට ඉඩහැර බලධාරීහු ආහාර බෝග විනාශ වී යන අනෙකුත් මාර්ග වළක්වාගන්නට හෝ ආහාර කල්තබා ගැනීමේ සැලසුම් හෝ ක්‍රියාත්මක නොකර සිටිති. මේ ආකල්පය වෙනස් නොකොට තවත් වසර ගණනක් ඉදිරියට ගමන් කළ ද අප රටේ ආහාර සුරක්ෂිතතාව ඛේදනීය තත්ත්වයකම පවතිනු ඇත. දේශපාලනඥයෝ සහ බලධාරීන් වන සතුන් ගැන පමණක් කියවමින් ඇඟ බේරා ගනු ඇත.ඊඅට හේතුව ඔවුන් විද්‍යාත්මක චින්තනය කෙරෙහි දක්වන උදාසීන බව ය.

ලෝකයේ භාවිතයේ පවතින සාම්ප්‍රදායික මෙන්ම නවීන ආහාර සුරක්ෂිතකරණ ක්‍රම හෙවත් කල්තබාගැනීමේ ක්‍රම බොහොමයක් පවතී. තැම්බීම, ටින්ගත කිරීම, ලුණු දැමීම, සීත කිරීම, පදම්කිරීම වැනි අතීතයේ පටන් භාවිත වන ක්‍රම ද, අධික තාපයට නිරාවරණය කොට විෂබීජ හරණය කරන ‘නිපූති’ ක්‍රියාවලිය (Aseptic processing), පාස්චරීකරණ ක්‍රියාවලිය, රික්තක ක්‍රමය වැනි පසුගිය සියවසේ දී සොයා ගනු ලැබූ ක්‍රම මෙන්ම, මෑත කාලයේ සොයා ගත් ජෛව විද්‍යාත්මක ක්‍රම, බාධක තාක්ෂණය (Hurdle technology – මෙහිදී ආහාරයයක් නරක් වීමෙන් ආරක්ෂා කිරීම පිණිස බාධක කිහිපයක් යොදයි. විෂ බීජ ක්‍රියාකාරීත්වය ආහාරය මත සිදුවන්නට නම් මේ බාධක සියල්ල පසුකර පැමිණිය යුතුය) වැනි අති නවීන ක්‍රම ද වශයෙන් බොහෝ විකල්ප තිබේ. කෙසේ නමුත් අප රටේ කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් මෙවැනි ක්‍රම පිළිබඳ මොනයම් ආකාරයක හෝ අවධානයක් යොමු කොට නැත. සියලු දෙනා කතා කරන්නේ වනසතුන්ගේ වගාවන්ට හානි සිදුවන්නේ යැයි පැවසෙන කාරණය පිළිබඳ පමණි. සතුන්ට අයත් භූමි මිනිසා විසින් ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගම්වදින සතුන් වනසා දැමීමෙන් සියලු ප්‍රශ්න විසඳී, ආහාර සුරක්ෂිතතාව ඇති වේ යැයි යන සාවද්‍ය කල්පනාවේ බොහෝ දෙනෙක් එල්බගෙන සිටිති.

මෙවැනි සුරක්ෂිත ආකාරයකින් අපේ රටේ එළවළු ප්‍රවාහනය නොකෙරෙන තරම්ය

සියල්ල වන සතුන් මතට බැරකොට පහත් තැනින් ජලය ගලා යන්නට ඉඩහැර බලධාරීහු ආහාර බෝග විනාශ වී යන අනෙකුත් මාර්ග වළක්වාගන්නට හෝ ආහාර කල්තබා ගැනීමේ සැලසුම් හෝ ක්‍රියාත්මක නොකර සිටිති. මේ ආකල්පය වෙනස් නොකොට තවත් වසර ගණනක් ඉදිරියට ගමන් කළ ද අප රටේ ආහාර සුරක්ෂිතතාව ඛේදනීය තත්ත්වයකම පවතිනු ඇත. දේශපාලනඥයෝ සහ බලධාරීන් වන සතුන් ගැන පමණක් කියවමින් ඇඟ බේරා ගනු ඇත.ඊඅට හේතුව ඔවුන් විද්‍යාත්මක චින්තනය කෙරෙහි දක්වන උදාසීන බව ය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර