මහ මහ පාරේ බෝක්කුව උඩින් පාර්ලිමේන්තුවට ආ කතුන්ට අසභ්‍ය උපහාස කිරීම

කාන්තාවන් හට ලිංගිකත්වය ඉස්මතු කරමින් අපහාස කිරීම දැන් අපේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව දක්වාම පැමිණ තිබේ. ඇතැම් පිරිමින් කාන්තාවන්ට අපහාස කිරීමේ දී යොදා ගන්නා ප්‍රබල අවිය ලිංගිකත්වය යි. කාන්තාවක නිහඬ, දුර්මුඛ කිරීම සඳහා ඊට වඩා ප්‍රබල වෙනත් අවියක් නොමැති බව ඇතැම් පිරිමි දනිති.
නමුත් හැම පිරිමියෙක්ම මෙහෙම නැත. බිරිඳක්, සහෝදරියක් හෝ දියණියක් සෑම පිරිමියෙකුට ම නොසිටින්නට පුළුවන. නමුත් සෑම පිරිමියෙකුට ම මවක් සිටී. සෑම මනුෂ්‍යයකුම මෙලොව එළිය දුටුවේ කාන්තාවක නිසා ය.
එසේ නම් මෙලෙස කාන්තාවන්ට අපහාස කරන පිරිමින්ගේ පෞරුෂත්වය කෙබඳු විය හැකිද?
පුද්ගලයෙකුගේ පෞරුෂත්වය ගොඩ නැඟීමට ඉවහල් වන සාධකය ජාන පරම්පරාවය.ජාන වලට අමතරව හැදෙන වැඩෙන පරිසරය ද බලපායි. දරුවකුට වැඩිහිටියන් විසින් දක්වනු ලබන ආදරය, දරුවා හදා වඩා ගන්නා ආකාරය, වැඩිහිටියන් විශ්වාස කරන දේවල් වැනි මේ සියලුම දේ පෞරුෂය ගොඩනැඟීම සඳහා අදාළ වෙයි.
අපේ සමාජය ලිංගිකත්වය දෙස බැලීමට හුරු වී තිබෙන්නේ එය ශිෂ්ට සමාජයට නොගැළපෙන්නක් ලෙසිනි.ලිංගිකත්වය පමණට වඩා හුවා දැක්වීම ශිෂ්ටත්වය තුළ නොගැළපෙන මුත් ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම නොගැළපෙන්නක් නොවේ. එය මානව යහපැවැත්මට අවශ්‍ය දෙයකි.
සමාජය ලිංගිකත්වය පිළිබඳ දක්වන ආකල්ප ද දරුවකුගේ පෞරුෂය වර්ධනය වීමේදී ඊට ඇතුළු වෙයි. ලිංගිකත්වය යනු සාමාන්‍ය දෙයක් නොව එය “මැජික් එකක්” ලෙස සිතන පෞරුෂයක් ඇති අයකු ලිංගිකත්වය හුවා දැක්වෙන වදන් කාන්තාවකට අපහාස කිරීම සඳහා අවියක් කර ගැනීමට පුළුවන.
බොහෝ විට මේ ලිංගිකත්වය මැජික් එකක් වන්නේ ඒ පිළිබඳව නිසි අධ්‍යාපනයක් අපේ රටේ දරුවන්ට නොලැබෙන නිසා ය. පාසලේ මිතුරු මිතුරියන්ගෙන්, අසභ්‍ය වදන්වලින් සහ වර්තමානය වන විට අන්තර්ජාලය ඔස්සේ ද ලිංගිකත්වය පිළිබඳව යම් යම් දේ ඔවුහු රහසින් අහුලා ගනිති. ලිංගිකත්වය පිළිබඳ මෙලෙස ක්‍රමානුකූල අධ්‍යාපනයක් නැති නිසාම එය වැරදි ලෙස පාවිච්චි කිරීම ඇතැමුන් අතින් සිදු විය හැකිය.නමුත් යොවුන් වියේ දී දැකිය හැකි මේ තත්ත්වය බොහෝ විට වයසින් හා ජීවිතාවබෝධයෙන් පරිණත වන විට ක්‍රම ක්‍රමයෙන් අඩුවී යාම සාමාන්‍ය තත්ත්වයයි.
පිරිමින් ලිංගිකත්වය සම්බන්ධ දේවල් යොදා ගනිමින් අනෙක් අයට, විශේෂයෙන් කාන්තාවන්ට අපහාස කිරීමට පෙළඹීම සඳහා හේතු වන කරුණු තිබේ.ඒ සම්බන්ධයෙන් ලොව පුරා සිදු කෙරුණු පර්යේෂණ වලින් අනාවරණය කර ගත් කරුණු බොහෝ ඇත.ඒවා පාර්ලිමේන්තු කතා වලට ද එක සේ අදාල ය
එසේ කාන්තාවන්ට ලිංගික අපහාස කරන තැනැත්තා ළමා වියේ අපයෝජනයට ලක්වීම මින් එක හේතුවකි.
මෙහිදී අපයෝජනය යනුවෙන් අදහස් කරන්නේ ලිංගික අපයෝජනය පමණක් නොවේ. කායික සහ මානසික අපයෝජනය ද මීට අදාළ වේ. මේ කුමන දෙයකින් වුව ද ළමයෙකු අපයෝජනයට ලක්වීම තුළ දුර්වල පෞරුෂයක් ඇති දරුවකු නිර්මාණය වීම සිදුවෙයි. එවැනි දරුවකු වැඩිහිටි වියට පත් වූ පසු ඔවුන් අනෙක් අයට විවිධාකාරයෙන් රිදවමින් අපහාස කරමින් සතුටු වන මානසිකත්වයක් ඇති අයෙකු බවට පත් වේ.
මීට අමතරව මෙවැනි අය සමාජ විරෝධී වදන් පාවිච්චි කරමින් සතුටු වනු ඇත.
තවත් සමහරු එවැනි වදන්වලින් කාන්තාවන්ට අපහාස කර එමගින් ලිංගික සතුටක් ලබති. මෙය ලිංගික අවවර්තන තත්ත්වයක් වන අතර එවැන්නන් වඩාත්ම ලිංගිකව සතුටක් ලබන්නේ එවැනි වචන වලින් කාන්තාවන්ට රිදවීම තුළිනි. එලෙස රිදවීමේදී කාන්තාව අපහසුවට පත්වන තරමට ඔවුන්ට දැනෙන ලිංගික සතුට ද වැඩි ය.
ලිංගිකත්වය හුවා දක්වමින් තව කෙනෙකුට අපහාස කරන්නන් තුළ හීනමානයක්ද පවතී. ඕනෑම කරුණකදී ” මම එහෙම නෑ” යනුවෙන් විශේෂයෙන් හුවා දක්වන්නට යාම තුළ ම ඇත්තේ ගැටලුකාරී බවකි. නිදසුනක් ලෙස ඉවසීමකින් තොරව නිතර ගහමරා ගන්නට යන චණ්ඩින් සාමාන්‍ය මිනිසුන්ට වඩා බියසුළු ය. ඔවුහු පොඩි දේකින් පවා සැලෙති. චණ්ඩිකම් පාන්නේ බොහෝවිට බියසුළු බවේ ලක්ෂණයක් ලෙස ය.
එමෙන් ප්‍රසිද්ධියේ අවිනීත වදන් පවසන පුද්ගලයන් මතුපිටට පෙන්වන්නට උත්සාහ දරන්නේ “මම වීරයෙක්, මට ඕවා මහලොකු දේවල් නෙමේ” වැනි දෙයකි. එයින් පැහැදිලි වන්නේ එම පුද්ගලයා තුළ ඇති හීන පෞරුෂයයි. මෙය ලිංගික දුබලතාවයක්, පෞරුෂ දුබලතාවයක් හෝ සමාජ කාංසාව වීමටද පුළුවන . සමාජ කාංසාවේ ලක්ෂණයක් වන්නේ නිතරම “අනික් අය මං ගැන මොනවද හිතන්නෙ ” යන සිතිවිල්ලෙන් කටයුතු කිරීමයි. ඒ අනුව සමාජය තමන් පිළිබඳව වැරදි ලෙසින් සිතාවි යන බියෙන් හෝ සෙසු අයට වඩා අමුතුවෙන් කැපී පෙනෙන්නට ඇති ආසාවෙන් ඔවුහු “වීරයන්” වීමට නොයෙක් ආකාරයට කටයුතු කරති. අසභ්‍ය වදන් පවසමින් අනෙක් අයට අපහාස කරන්නන් තුළ ද මෙම සමාජ කාංසාව තිබෙන්නට පුළුවන. විශේෂයෙන් ලිංගිකත්වයට අදාළ අපහාස උපහාස පිරිමින් වැඩිපුරම එල්ල කරන්නේ කාන්තාවන්ට ය. ලිංගිකත්වයට අදාළ යම් යම් වචන සමාජය තුළ වැඩිපුර නිර්මාණය වී ඇත්තේ ද කාන්තාව මුල් කර ගනිමිනි. පිරිමින් සඳහා අදාළ එවැනි වදන් ඉතාමත් ම අඩු ය.
කාන්තාවන්ට එලෙස අපහාස කිරීම මානසික හිංසනයකි. ඇය ඒ අපහාසයට ලක් වන්නේ කාන්තාවක වීම නිසා ය. එබැවින් එම මානසික හිංසනය ඇයට එරෙහිව නැගුණු බරපතළ ප්‍රචණ්ඩත්වයකි. අතීතයේ පාරවල් වල බෝක්කු උඩ සිටින තරුණයන් පාරේ යන එන ඇතැම් තරුණියන්ට අසභ්‍ය වදන් පවසා සිනාසීම බහුලව දක්නට ලැබුණු දෙයකි. ඒ තත්ත්වය මේ වනවිට බෝක්කුවෙන් පාර්ලිමේන්තුව දක්වාම පැමිණ තිබේ. අප තාක්ෂණය අතින් ආදී වශයෙන් හැම පැත්තකින් ම දියුණු යැයි අපි උදම් අනමු. නමුත් ගමේ ගොඩේ බෝක්කු දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව නම් වූ රටේ ඉහළම තැන ය. ඇත්තටම අප දියුණු ද?

ප්‍රවීණ මනෝ විද්‍යා උපදේශක සහ මනෝ චිකිත්සක
ආචාර්ය සුරංග අමරකෝන්
ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර