සුනඛයන්ගේ පිළිකා ගැන දැන ගනිමු

vinivida

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා වූයේ ගල් යුගයටත් පෙර සිටමයි. මේ වන විට අප ගතකරන්නේ 21 වෙනි ශතවර්ෂයේ. අදටත් මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා යි. ඔවුන් තුළ ඇති උතුම් ගතිගුණ සහ මිනිසාට දක්වන අසීමිත ආදරය හා ලෙංගතුකම හේතුවෙන් මේ විශ්වය පවතින තුරුම සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා වන බවට කිසිදු සැකයක් නෑ.

ආබාධිත පුද්ගලයන්, අන්ධ පුද්ගලයන්, ඔටිසම් රෝගීන් රැකබලා ගැනීම ලෝකයේ බොහෝ රටවල සුනඛයා වෙතින් සිදුවන කාර්යයක්. ඒ වගේම මනුෂ්‍ය ඝාතන වැනි නොයෙකුත් අපරාධ, මත්ද්‍රව්‍ය වැනි දේවල් අල්ලා ගැනීම වැනි කාර්යයන්වලදී සුනඛයන් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. මේ සඳහා උපකාරී වන්නේ මිනිසුන්ට නැති, සුනඛයන් සතුව තිබෙන සූක්ෂම ඉවයි. එපමණක් නොව මිනිසුන්ට වැළඳෙන දියවැඩියාව පිළිකා වැනි රෝග පවා හඳුනා ගැනීමේ හැකියාවක් සුනඛයන්ට ඇති බව ඔබ දන්නවාද? ඒ සඳහා යොදා ගන්නේ ජීව විද්‍යාත්මකව ඔවුන්ට ලැබී ඇති අධි සංවේදී නාසයයි.

අප සාමාන්‍යයෙන් පිළිකාවක් ඇති විට හඳුනා ගන්නේ කලක් ගත වූ පසුවයි. නමුත් මේ සම්බන්ධයෙන් පුහුණු කරන ලද සුනඛයන් හට පිළිකාවේ පළමු හෝ දෙවැනි අදියරේදීම පිළිකාව හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ රෝගීන්ගේ ශ්වසනය සහ මුත්‍රා සාම්පල් මගින්. රුධිර සාම්පල මගින් පිළිකා හඳුනා ගන්නවාට වඩා සුනඛයන් මගින් පිළිකා හඳුනා ගැනීම 100% ක් සාර්ථක බවයි මේ පිළිබඳව පර්යේෂණ කළ විද්‍යාඥයන් පවසන්නේ. මෙලෙස පිළිකා හඳුනා ගැනීම සඳහා සුනඛයන් දිනකට පැයක් බැගින් පැය 60 ක කාලයක් සුනඛ පුහුණු මධ්‍යස්ථාන තුළ පුහුණු කරනු ලබනවා. ඉන්පසුව තමයි ඔවුන් රෝගීන්ගේ පිළිකාවන් හඳුනා ගැනීම සඳහා යොමු කරවනු ලබන්නේ.

නමුත් මේ කතා කරන්නේ සුනඛයන් විසින් මිනිසුන්ට වැළඳෙන පිළිකා හඳුනා ගැනීම පිළිබඳව නොවෙයි.
අද වනවිට මිනිසුන්ට වැළඳෙන බරපතල රෝග තත්ත්වයන් අතර ප්‍රමුඛස්ථානයක තිබෙන රෝගයක් තමයි පිළිකා. කණගාටුවට කරුණ වන්නේ වර්තමානයේ මෙය සතුන්ට ද තිබෙන ප්‍රබල ගණයේ රෝග තත්ත්වයක් බවට පත්වී තිබීමයි.
සාමාන්‍යයෙන් වයසින් අඩු සුනඛයන්ට පිළිකා වැළඳීම සුලබ තත්ත්වයක් නොවූවත්, වයස අවුරුදු දහය ඉක්ම වූ වැඩිහිටි සතුන්ගෙන් 50% ක් පමණම නොයෙක් ආකාරයේ පිළිකා රෝගවලට ගොදුරු වෙන බව අනාවරණය වී තිබෙනවා. ඔබත් සුනඛ සුරතලුන් ඇති දැඩි කරන, ඔවුන්ට ආදරය දක්වන කෙනෙක් නම් මේ කරුණු ගැන දැනුවත් වීම වැදගත් වේවි.

සතුන්ට වැළඳෙන සුලභ පිළිකා වර්ග

සම ආශ්‍රිත පිළිකා
වසාග්‍රන්ථි පිළිකා
ස්ථන ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා
අස්ථි ආශ්‍රිත පිළිකා
මුඛ පිළිකා
ලිංගාශ්‍රිත පිළිකා

සතුන්ට වැළඳෙන පිළිකා ආකාර දෙකකින් යුතුයි.
ඒ, Benign tumour සහ Malignant tumour වශයෙන්.
මෙයින් Benign tumour පිළිකා වර්ගය වර්ධනය වන්නේ ඉතා සෙමින්. එසේම අනෙක් අවයවයන්ට පැතිරී යාම සිදුවන්නේත් නෑ. පහසුවෙන් ඉවත් කර සුවපත් කළ හැකියි.
Malignant tumour ඊට වඩා වෙනස්. මෙහි වර්ධනය වගේම පැතිරීමත් වේගයෙන් සිදුවෙනවා. වෙනත් අවයවයන්ටද පැතිරෙන අතර ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කිරීමද අපහසුයි.

සතුන්ට වැළඳෙන පිළිකා සම්බන්ධ රෝග ලක්ෂණ

මෙය ඉතා වැදගත්. මෙම ලක්ෂණ කල්තබා නිරීක්ෂණය කළහොත් සතාගේ දිවි බේරා දීම ඔබට අසීරු වෙන එකක් නෑ. එම රෝග ලක්ෂණ අතර,ගෙඩියක් හෝ ඉදිමුවක්, ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සුව නොවන තුවාලයක්, වසා ග්‍රන්ථි ඉදිමීමක්, අසාමාන්‍ය ආකාරයට අස්ථි වර්ධනය වීමක් ( මෙසේ අස්ථි වර්ධනය වූ විට සතුන්ට ඇවිදීමේ අපහසුව ඇතිවී කොරගසමින් ඇවිදින ආකාරයක් දකින්නට පුළුවන්), අසාමාන්‍ය රුධිර වහනයක් වැනි ලක්ෂණ දැක්විය හැකියි. කිසිදු රෝග ලක්ෂණයක් පිටතින් පළ නොවන පිළිකා ද තිබෙනවා.
නිතර දෙවේලේ අපි දකින සාමාන්‍ය සුනඛයන්ට පිළිකා වැළඳීමේ අවදානම, වෙනත් සුනඛ වර්ගවලට සාපේක්ෂව අඩුයි. වෙනත් සුනඛ වර්ග අතරත් බොක්සර් සහ ගෝල්ඩන් රිට්රීවර් සුනඛ වර්ග අතර පිළිකා වැළඳීමේ අවදානම වැඩි බව තහවුරු වී තිබෙනවා.

සතුන්ට වැළඳෙන පිළිකා වළක්වා ගත හැකි ක්‍රම

ස්‍ථන ග්‍රන්ථි පිළිකා නමින් හැඳින්වෙන පියයුරු පිළිකා විශේෂය වැළඳීම අටගුණයකින් අවම කිරීමට ගැහැනු සතුන්ගේ පළමු ප්‍රජනන සරු කාලයට පෙර වන්ධ්‍යාකරණ සැත්කම කිරීම තුළින් හැකියාව ලැබෙනවා. තවත් විශේෂතම දෙයක් වන්නේ මෙලෙස වඳ සැත්කම කිරීම තුළින් ලිංගාශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානමද අඩුවීමයි.
නිතර දත් පිරිසිදුව තබා ගනිමින්, මුඛයේ හටගන්නා වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටීම තුළින් මුඛ පිළිකා වැළඳීමේ අවදානම අවම කරගත හැකියි.

සතුන්ගේ පිළිකාවලට ප්‍රතිකාර
ශල්‍ය කර්ම මගින් ඉවත් කිරීම
ඖෂධ මගින් රෝගය පාලනය කිරීම

(TVT ( Transmissible vengreal tumour ) නැමැති සුලභ පිළිකා විශේෂය ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකියි.)
විකිරණ ප්‍රතිකාර (සතුන් ගේ පිළිකා සුව කිරීම සඳහා බොහෝ රටවල විකිරණ ප්‍රතිකාර යොදා ගනු ලබනවා.)
කෙසේ වුවත් කල්ගතවීමට පෙර ප්‍රතිකාර කරා යොමුවීමෙන් රෝගය සුවපත් කර ගැනීමට බොහෝ දුරටම හැකියාව ලැබෙනවා. වැදගත්ම කාරණය එය හඳුනා ගැනීම සහ සුළු සැකයක් හෝ ඇති විට සතා, වෛද්‍යවරයෙකු කරා යොමු කරවීමයි.

උපදෙස් පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය