හෘද රෝගීන්ට සහය වීමේ සේවාවන් සපයන බලු සුරතලුන් (Cardiac Service Dogs) – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල හෘද රෝගීන්ට සහය වීමට, හදිසි තත්වයක දී ඉක්මණින් රෝගියා වෙත අවධානය ලබා ගැනීමට පුහුණු කළ බලු සුරතලුන් සිටින බව ඔබ දන්නවාද? ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ තම සේවය ලබා ගන්නා රෝගියාගේ හෘද ස්පන්දන වේගයේ හෝ රුධිර පීඩනයේ අසාමාන්‍ය වෙනසක් වන්නේ නම් එය ඉක්මණින්ම හඳුනාගෙන හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කිරීමටයි.

ලැබ්‍රඩෝර් (Labrador), ගෝල්ඩන් රිට්‍රීවර් (Golden Retriever), පූඩ්ල් (Poodle), කොලී (Collie)වැනි සුනඛ ප්‍රභේද මෙසේ පුහුණු කිරීමට වඩා සුදුසු බලු සුරතලුන් වර්ග වේ. මේ ප්‍රභේදවල බලු සුරතලුන්ට යමක් තේරුම් ගැනීමේ සහ මතක තබා ගැනීමේ හැකියාව වැඩි බවට පිළිගැනීමක් තිබෙන නිසා මේ පුහුණු කිරීමට ඔවුන් වැඩි වශයෙන් තෝරා ගැනේ.

හෘද් අකරණිය සෑදුන, හෘද ස්පන්දනයේ අක්‍රමිකතා ඇති, හෘදයාබාධ වැළඳුණු රෝගීන්ට සහය වීමට මෙම බලු සුරතලුන් හොඳින් පුහුණු කරනු ලැබේ. එම රෝගීන්ගේ හෘදයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇතිවන විගසම හඳුනා ගැනීමට මෙම බලු සුරතලුන් දක්ෂ වේ. එමෙන්ම ඉන්පසු ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැනීමටද මොවුන් පුහුණු කරනු ලැබේ.

එසේ ගතයුතු පියවර වන්නේ:

• හෘද ස්පන්දන වේගයේ වෙනස්කම් හඳුනාගෙන රෝගියා ඖෂධ ගැනීම සඳහා යොමු කිරීම නැතිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම
• ඖෂධ ගෙන ඒම හෝ හදිසි ප්‍රතිකාර ලබා ගැනීම
• සිටගෙන සිටී නම් වැටෙන්නට යනවා නම් එය වළක්වා රෝගියාට ඉඳ ගැනීමට හෝ හාන්සි වීමට සහය වීම
• නිවසේ සිටින වෙනත් කෙනෙකු හෝ අසල්වැසියකු කැඳවාගෙන ඒම
• රෝගියාට මානසික සහනය සහ සතුට ලබා දී ආතතිය, අසරණ වී ඇතැයි යන හැඟීමෙන් ඉවත් වීමට සහය දීම

සමහර බලු සුරතලුන්ට දුරකථනයෙන් හදිසි ප්‍රතිකාර සේවාවන් ඇමතීමට පවා පුහුණු කර තිබේ.
මෙම සේවාවේ වැදගත්ම සහ විශේෂිතම කරුණ වන්නේ මෙසේ පුහුණුව ලැබූ සුනඛ සුරතලුන්ට හෘදයේ ඇතිවන වෙනස් කම් කල් ඇතිවම දැන ගැනීමට ඇති දක්ෂතාවයයි. මෙවැනි සුරතලුකු ළඟ සිටින විට හෘද රෝගියාට වෙනදාට වඩා විශ්වසනීය බවකින් යුතුව තම එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට හැකි වීමයි. එමෙන්ම ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් සහ ආදරය නිසා රෝගියාගේ මනසට දැනෙන ප්‍රීතිමත් බවත් සහනයත් නිසා රෝගීන්ගේ ශාරීරික හා මානසික සුවතාවය මනාව පවත්වා ගැනීමට හැකිවේ.

මෙම සුනඛ සුරතලුන් පුහුණු කිරීම ක්‍රම දෙකකට සිදු කරයි.

1. සිරුරෙන් වහනය වන ගඳ සුවඳ අනුව ක්‍රියා කිරීම. තම රෝගියාගේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩන අගයන්, සීනි සාන්ද්‍රණය වෙනස් වීම මත සිරුරෙන් දැනෙන එවැනි වෙනස් කම් ඉව කර අවදානම් තත්වයක් හඳුනා ගැනීම.
2. රෝගියාගේ බාහිර ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් දැක අවදානම් තත්වය හඳුනා ගැනීම. උදා: පපුව අල්ලාගෙන වැටෙන්නට යනවා හෝ කකුල් පැටලෙමින් ඇවිදනවා දැකීමෙන්.

බලු සුරතලුන් මෙවැනි කටයුත්තකට පුහුණු කරගැනීම වියදම් අධික කාර්යයක් වුවත් තමාගේ වැඩ තනියම කර ගත හැකි රෝගියෙකු බලා ගැනීම පිණිස වඩා සුදුසු විසඳුමක් ලෙස බටහිර රටවල මෙය සැලකේ. බලු සුරතලුකු හොඳින් පුහුණු කිරීමට වසර දෙකක් පමණ කල් ගත වනු ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්