ඔන්ලයින් ටිකට් නිසා කෝච්චියේ හොරෙන් යෑම වැඩිවෙයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගතව මිලදී ගැනීමට හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය හේතුවෙන් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ හොරෙන් ගමන් කරන මගී ප්‍රතිශතය සියයට පනහක් දක්වා ඉක්මවා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

පසුගිය කාලයේ විසිදහසක් පමණ පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බවත් මේ වන විට එම පිරිස හැට දහසක් පමණ වන බවත් එම සංගමය සඳහන් කරයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වෙබ් පිටුවක් හඳුන්වා දී ඒ හරහා මාර්ගගතව ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ පසුගිය සතියේය. මේ අනුව ඕනෑම මගියකුට අපහසුතාවකින් තොරව මාර්ගගතව ගාස්තුව ගෙවා දමා ඊ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි විය.

නමුත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරන්නේ මෙම ක්‍රියාපිළිවෙත හොඳ එකක් වුවත් ප්‍රථමයෙන්ම සිදුකළ යුතු මූලික සම්පත් සැලසීමකින් තොරව අවසානයේදී කළ යුත්ත ප්‍රථමයෙන් කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය.

හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයේ පද්ධතියේ අඩුපාඩු රැසක්ම පවතින බවත්, සංඥා සම්බන්ධතාවන් (සිග්නල්) විටින් විට අඩාළ වන බවත්, එම මගීන්ට පිටවීමට හා දුම්රිය ස්ථාන වෙත ඇතුළුවීමට වෙනම ගේට්ටුවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන නොමැති බවත්, මේ අඩුපාඩු කඩිනමින් නිවැරදි කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා තිබෙන බවත් හෙතෙම කීවේය.

එසේම හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය මගින් දුම්රිය මගීන්ට දැඩි අසීරුතාවන්ට මෙන්ම දුම්රිය ස්ථානවල පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව තිබෙන බව දුම්රිය ස්වශක්ති සංගමයේ ලේකම් එම්.ජේ. රොබට්ස් පැවැසීය.

ඊ ප්‍රවේශපත්‍ර පරීක්ෂා වීමට හෝ ස්කෑන් වීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දුම්රිය ස්ථාන වෙත දී නොමැති බවත්, නිසි ක්‍රමවේදයකින් එම ප්‍රවේශ පත්‍ර හිමි මගීන් දුම්රිය ස්ථානයට ඇතුළු කර ගැනීමේ හෝ දුම්රිය ස්ථානයෙන් බැහැර කරලීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නැති බවත් දුම්රිය ස්වශක්ති සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම මෙම ක්‍රමවේදය නිසා කාර්යාල දුම්රියවල පරීක්ෂා කිරීමේ ගැටුලවක්ද පවතින බවත්, මහනුවර සිට කොළඹ පැමිණෙන දුම්රිය මගියකුට පොල්ගහවෙලින් ඊ ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන පැමිණිය හැකිවීම මෙන් වංචනික ක්‍රියාවන්ට ද ඉඩකඩ විවර වී ඇති බවත් හෙතෙම කීවේය.

කාලීන පුවත්