පසුගිය දා ඕස්ට්‍රේලියාවෙන් අපූරු පුවතක් වාර්තා විය. ඒ 1997 වසරේ දී ඛේදනීය මෝටර් රථ අනතුරකින් මරුමුවට පත් වූ ඩයනා කුමරිය නැවත ඉපදුණු පුවතකි. ඕස්ට්‍රේලියානු ජාතික 8 හැවිරිදි දරුවකු වන බිලි කෑම්ප්බෙල් පවසන්නේ තමා ඩයනා කුමරියගේ නැවත ඉපදීමක් බවය.
වර්තමාන තෙවැනි චාල්ස් රජුගේ පළමු ආදරණීය බිරිඳ මෙන්ම විලියම් සහ හැරී කුමරුන්ගේ ආදරණීය මව වූ ඩයනා කුමරිය 36 හැවිරිදි වියෙහි දී බිහිසුණු රිය අනතුරකින් මරුමුවට පත් වූ බව කවුරුත් දන්නා කාරණයකි. ඒ පැපරාසි ඡායාරූප ශිල්පීන්ගෙන් වසන් වන්නට ගත් උත්සාහයක් අතරතුර 1997 අගෝස්තු 31 වැනිදා පැරිසියේ දී ය. එම අනතුරේ දී ඇයත් සමග ඇගේ සහකරු වූ ඩොඩි ෆායෙඩ්, ඔවුන්ගේ රියදුරු හෙන්රි පෝල් ද මරුමුවට පත් වූහ.
ඇය මිය ගිය ද අද වන තුරු ඇය පුවත් මවන්නියක ලෙස විවිධ අවස්ථාවලදී ඉස්මතු වූ අතර මෙවර ඇය පිළිබඳ මේ අපූරු පුවත මැවෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට මෙන් ඕස්ට්‍රේලියාවෙනි.
මේ පුවතේ කියවෙන අට හැවිරිදි බිල් කෑම්ප්බෙල් යනු ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට ගායකයකු, රංගන ශිල්පියෙක් සහ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ද වන ඩේවිඩ් කෑම්ප්බෙල්ගේ පුත්‍රයාය. බිලී මේ කතා කියන්නට පටන් ගත්තේ දෙහැවිරිදි වියෙහි පටන්ය. එවැනි වයසක දරුවකුට දැන ගැනීමට දුෂ්කර අන්දමේ තොරතුරු ඔහු පවසන්නට පටන් ගත්තේය. ඔහු ඩයනා කුමරියට සම්බන්ධ විශේෂ සිදුවීම් සහ ස්ථාන පිළිබඳව ද විස්තර පැවසුවේය.
බිලිගේ දෙමාපියන් වන ඩේවිඩ් සහ ලිසා මේ සම්බන්ධව මුලින් කිසිදු හෙළි කිරීමක් කළේ නැත. කෙසේ නමුත් බැල්මෝරල් මාලිගාව, ස්කොට්ලන්තයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ නිවස්නය ආදිය පිළිබඳ බිලී පැවසූ තොරතුරුවලින් ඔහුගේ දෙමාපියෝ විස්මයට පත් වූහ. එමෙන්ම රිය අනතුර සිදු වූ ආකාරය පිළිබඳව ද බිලී තොරතුරු පැවසුවේය.
ඔහු ඩයනා කුමරියගේ ඡායාරූපයක් දුටු මොහොතේදී පවසා ඇත්තේ, “මේ මම කුමරියක් වෙලා හිටපු කාලේ නේ” යනුවෙනි. ඉන්පසු ඔහු මෙසේද පවසා ඇත. “එකපාරට සයිරන් හඬක් ආවා. ඉන් එහාට මම කුමරියක් නෙවෙයි.”
බිලිගේ පියා වන ඩේවිඩ් මෙසේ පවසයි. “එයාගේ පුත්තු දෙන්නෙක් ගැනත් කියන්න පටන් ගත්තා. ඒ වන විට අපේ පුතාට අවුරුදු තුනයි. පුත්තු කියලා කිව්වාම මට දැනුණේ පුදුමයක්. නමුත් ඒ කියන්න ඇත්තේ විලියම් සහ හැරී ගැන.”
“ස්කොට්ලන්තයේ ඉන්න අපේ මිතුරකු සමග අපේ පුතා කිව්වේ ඔහු ඩයනා කුමරියව සිටි කාලේ ස්කොට්ලන්තයේ තිබුණු මාලිගාවට යන්නට පුරුදුව සිටියා කියලයි.”
මිනිසා ඈත අතීතයේ පටන්ම මරණින් මතු ද පවතින ජීවිතයක් පිළිබඳ විශ්වාස කළේය. එය එක් ආගමකට අයත් වූ දෙයක් නොවේ. ජීවය මරණින් මතු ද අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බවත්, අපගේ ආත්මය හෙවත් විඥානය මරණින් පසු වෙනත් ශරීරයක නැවත ප්‍රතිසන්ධියක් ලබන බවත් විශ්වාස කෙරේ. ඉහත බිලිගේ සිදුවීම පිළිබඳ සඳහන් කළහොත් ඔහු කිසිවක් මතක තබා ගන්නට පවා නොහැකි කුඩා කාලයේ දී ඩයනා කුමරිය පිළිබඳ සඳහන් තළ බව වාර්තා වෙයි.
ලෝකයෙන් ඇසෙන පළමු හා එකම පුනරුත්පත්ති කතාව මෙය නොවේ. අප ජීවිත කාලය තුළ මෙවැනි කතා බොහොමයක් අප අසා ඇති අතර ආගමික විශ්වාසයන් පසෙකින් තැබුවහොත් පුනරුත්පත්තිය පිළිබඳ පැවසීම වූ කලී සංජානනීය (cognitive), සමාජයීය සහ සංස්කෘතික සාධක යන දාෂ්ටිකෝණයන් ඔස්සේ අවබෝධ කර ගත යුතු සංකීර්ණ මනෝවිද්‍යාත්මක සංසිද්ධියකි. මිනිසුන් අතර පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය පැවතීමට හේතු වූ කාරණා කිහිපයක්ම වේ. අනන්‍යතාව සහ අඛණ්ඩතාව (Identity and Continuity), මුවා වීමේ යාන්ත්‍රණය (Coping Mechanism), සංජානන නැඹුරුව (Cognitive Biases), සංස්කෘතික සහ සමාජ බලපෑම්, ආධ්‍යාත්මික සහ පැවැත්ම පිළිබඳ ගවේෂණය මනෝවිද්‍යාත්මක පැති ඔස්සේ සංවාදයට ලක් කළ හැකිය.
මිනිසා ඈත අතීතයේ පටන්ම මරණින් මතු ද පවතින ජීවිතයක් පිළිබඳ විශ්වාස කළේය. එය එක් ආගමකට අයත් වූ දෙයක් නොවේ. ජීවය මරණින් මතු ද අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බවත්, අපගේ ආත්මය හෙවත් විඥානය මරණින් පසු වෙනත් ශරීරයක නැවත ප්‍රතිසන්ධියක් ලබන බවත් විශ්වාස කෙරේ. ඉහත බිලිගේ සිදුවීම පිළිබඳ සඳහන් කළහොත් ඔහු කිසිවක් මතක තබා ගන්නට පවා නොහැකි කුඩා කාලයේ දී ඩයනා කුමරිය පිළිබඳ සඳහන් තළ බව වාර්තා වෙයි. එසේ හෙයින් එය පෙර ආත්මයේ මතකය ඇසුරින් පවසන බව ඔහුගේ දෙමාපියන් පවසයි. නමුත් බොහෝ අවස්ථාවල දී සිදුව ඇත්තේ දරුවාට හරිහැටි කිසිවක් මතක තබා ගැනීම හෝ අවබෝධ කර ගැනීම හෝ නොහැකි සමයේ දී ඩයනා කුමරිය පිළිබඳ ඇසුණු යමක් මතකයේ තැන්පත් වී යමක් අවබෝධ කරගන්නට හැකි වයසට එළැඹෙද්දී එය නැවත මතු වී ඒ පිළිබඳ කතා කිරීමය. නමුත් එය බහුතරයක් දෙනා හඳුනා ගන්නේ පූර්ව ජන්මයේ මතකයක් ආවර්ජනය කිරීමක් ලෙසිනි.
ඇතැම් අවස්ථාවල දී මානසික වශයෙන් ඇති ගැටලු මුවා කර ගැනීම, එසේත් නැත්නම් බාහිර සමාජයට නොපෙනෙන සේ තබා ගැනීමට දරනා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පුනරුත්පත්ති පවසන අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකිය.
සංස්කෘතික සහ සමාජ බලපෑම් ද පුනරුත්පත්ති සිදුවීම් මතුවීමට හේතු වී තිබේ. අප රටේ බහුතරයක් දෙනා පුනරුත්පත්තිය විශ්වාස කරති. බොහෝ දෙනෙක් බෞද්ධ දර්ශනයේ සඳහන් පුනර්භවය සහ පුනරුත්පත්ති පටලවාගෙන සිටින බව පෙනේ. මේ සංස්කෘතිකමය බලපෑම නිසා එවැනි සමාජයක පුනරුත්පත්තිය කතා එකවර විශ්වාස කරන ප්‍රවණතාවක් පවතී. කෙසේ නමුත් අප රටට වඩා වෙනස් සමාජ හා සංස්කෘතික වටපිටාවක් ඇති ඕස්ට්‍රේලියාව වැනි රටක පවා පුනරුත්පත්ති විශ්වාස පවතින බැව් මෙහි සඳහන් බිලිගේ කතාවෙන් පැහැදිලි වේ.
විවිධ අවස්ථාවල දී විවිධ පුද්ගලයන් විසින් පුනරුත්පත්තිය විද්‍යාත්මකව පැහැදිලිව කරන්නට උත්සාහ කළ ද එය විද්‍යාත්මක යැයි සාර්ථකව තහවුරු කරන්නට හැකි වී නැත. කෙසේ නමුත් ආචාර්ය ඉයන් ස්ටීවන්සන් මෙහි සඳහන් සිදුවීමේ දී මෙන් කුඩා දරුවන් පුනරුත්පත්තිය පිළිබඳ පවසන කතා අලළා ගැඹුරු ගවේෂණයන් සිදුකොට මෙය සත්‍යයක් යැයි තහවුරු කරන්නට උත්සාහ ගෙන තිබේ. නමුත් එහි දී සිදුව තිබුණේ එය සත්‍යයක් නොවේ යැයි තහවුරු කරන්නට ඉදිරිපත් වූ සාධක ප්‍රමාණවත් නොවීම මිස පුනරුත්පත්තිය සත්‍යය යැයි තහවුරු වීම නොවේ.
විවිධ අවස්ථාවල දී විවිධ පුද්ගලයන් විසින් පුනරුත්පත්තිය විද්‍යාත්මකව පැහැදිලිව කරන්නට උත්සාහ කළ ද එය විද්‍යාත්මක යැයි සාර්ථකව තහවුරු කරන්නට හැකි වී නැත. කෙසේ නමුත් ආචාර්ය ඉයන් ස්ටීවන්සන් මෙහි සඳහන් සිදුවීමේ දී මෙන් කුඩා දරුවන් පුනරුත්පත්තිය පිළිබඳ පවසන කතා අලළා ගැඹුරු ගවේෂණයන් සිදුකොට මෙය සත්‍යයක් යැයි තහවුරු කරන්නට උත්සාහ ගෙන තිබේ. නමුත් එහි දී සිදුව තිබුණේ එය සත්‍යයක් නොවේ යැයි තහවුරු කරන්නට ඉදිරිපත් වූ සාධක ප්‍රමාණවත් නොවීම මිස පුනරුත්පත්තිය සත්‍යය යැයි තහවුරු වීම නොවේ.
කෙතරම් විද්‍යාත්මක, සංස්කෘතික සහ සමාජයීය වශයෙන් දියුණු තත්ත්වයක් පැවතිය ද පුනරුත්පත්තිය වූ කලී මහත් ආශ්වාදයක් ලබා දෙන මාතෘකාවක් බැවින් ඉහත කී දියුණු යැයි සම්මත කාරණා අභිබවා මෙය පිළිගැනීමට පෙළඹවීමක් ඇති වී තිබේ. මේ පිළිබඳ අවසානයක් නොමැති සංවාද සිදුවෙමින් පවතී. නමුත් පුනරුත්පත්තිය යනු දාර්ශනික සහ ආධ්‍යාත්මික කාරණයක් මිස විද්‍යාත්මකව තහවුරු කරන ලද්දක් නොවන බව පැවසිය යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක