ඉදිරි කාලයේ ගෘහස්ථ ගෑස් පිපිරීම් ඉහළට

අලුත් ගෑස් සිලින්ඩර පරිභෝජනයට එක් වීමත් සමඟ ගෘහස්ථ ගෑස් කාන්දු වීම් මත සිදුවන පිපිරීම් ඉදිරි දින සහ සති කිහිපය තුළ තවත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඊට හේතුව වශයෙන් තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවමත් බොහෝ නිවෙස් වල ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර මිලට ගත් ගෑස් පරිභෝජනය කරමින් පැවතීමය.මේ අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොස්ඕවිට, හීන්දෙණිය, හංසගිරිය යන ප‍්‍රදේශවල ඊයේ(01) රාති‍්‍රයේ සහ අද(02) හිමිදිරියේ ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම වව්නියාව,වේරගම රජයේ නිවාස ව්‍යාපෘතියේ නිවාසයක ද ගෑස් ලිපක් පුපුරා යාමේ සිදු වීමක් වාර්තා වී තිබේ.
ඊට අමතරව, නුවරඑළිය බඹරකැලේ ප‍්‍රදේශයෙන් එක් ගෑස් උදුන් පුපුරා යාමක් සහ පුත්තලමෙන් ගෑස් උදුන් පුපුරා යාමේ සිදුවීම් දෙකක් ද වාර්තා වෙයි.ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාප වලට අයත් ප්‍රදේශ වලින් මෙවැනි සිදු වීම් වාර්තා වීමෙන් පෙනී යන්නේ එම ගෑස් ටැංකි සහ පාරිසරික උෂ්ණත්ව තත්වයන් මෙම පිපිරීම් කෙරෙහි බල නොපාන බව ය.එමෙන්ම මෙම ගෘහස්ථ ගෑස් කාන්දු වීම් මත සිදුවන පිපිරීම් නිසා සිදුවන අලාභයන් හි හානි පූරණ වන්දි ගෙවීමක් පිළිබඳව ද මෙතෙක් කිසිදු හඬක් නැඟී නැත.

කාලීන පුවත්