ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කරන ඉල්ලීමක්

එළඹෙන මැතිවරණ කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජයවික්‍රම සහ ලේකම් ළහිරු කොඩිතුවක්කු යන මහතුන් ගේ අත්සනින් යුතු එම නිවේදනය මෙසේ ය.

සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කෙරෙන ඉල්ලීම

එළඹෙන මැතිවරණ කාල සමය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම

මෙරට මහජනතාව ස්වකීය ඉතිහාසයේ අතිශය තීරණාත්මක අවධියක් පසුකරමින් සිටියි. රටේ අනාගත දිශානතිය තීරණය කිරීමේ භාරදූර වගකීම සඳහා මහජනතාව පෙළගැසෙමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් පෙර මැතිවරණ සමයන්ට සාපේක්ෂව ඉතා ඉහළ මහජන උද්යෝගයක් මෙවර නිරීක්ෂණය කළ හැක. සාමකාමී හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක ස්වකීය මහජන නියෝජිතයන් තෝරා ගැනීම මෙරට සෑම පුරවැසියෙක්ටම හිමි අයිතියකි. තව ද ඒ අරමුණ සාක්ෂාත් කරනු වස් නිසි ආරක්ෂිත පරිසරයක් සලසාදීම මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන හා වෘත්තිකයින්ගේ වගකීමකි. ජනාධිපතිවරණ සඳහා පෙනී සිටින සියලු අපේක්ෂකයින් සහ එම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට ද මෙම වගකීම එලෙසම සම්පූර්ණයෙන්ම අදාල වේ.
කෙසේ නමුත් මැතිවරණ පූර්ව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෙම මහජන අයිතිය තර්ජනයට ලක්විය හැකි අවස්ථාවන් ඇතිවීමේ අවදානමක් අප විසින් නිරීක්ෂණය කර ඇත. මෙරට පොදු මහජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛතම වෛද්‍ය වෘත්තීය ආයතනය වශයෙන් එවැනි අගතිගාමී තත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ අවධානය පහත කරුණු සම්බන්ධයෙන් යොමු කරනු කැමැත්තෙමු.

01. ස්වකීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් අතරතුර මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකයක් හෝ එම රාජකාරී කටයුතුවල නිරතවන නිලධාරීන්ගේ ආරක්ෂාවට හා රාජකාරියට බාධාවක් වන අයුරින් සෘජුව හෝ වක්‍රාකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැලකීම.

02. අනෙකුත් අපේක්ෂකයින් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශන සහ සාවද්‍ය තොරතුරු විවිධාකාර වූ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් ප්‍රචලිත කිරීමෙන් වැලකී සිටීම.

03. ජාතිය, ආගම හා අනෙකුත් සංවේදී කරුණු උපයෝගී කරගනිමින් වෙනත් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැලකී සිටීම.

04. ජාතීන් හා විවිධ පුද්ගල කණ්ඩායම් අතර වෛරය පතුරු වන හා ගැටුම් ඇතිවිය හැකි ආකාරයේ ක්‍රියාවන් හා ප්‍රකාශයන්ගෙන් වැලකීම.

05. පුද්ගල තර්ජන හා හිංසාකාරී චර්යාවන් සඳහා අනුබල දීමෙන් හා ප්‍රවර්ධනයෙන් වැලකී සිටීම. එම ක්‍රියාවන් සඳහා තම අනුගාමිකයින් යොමු කිරීමෙන් වැලකීම.

06. සමාජ මාධ්‍ය කෘත්‍රිම බුද්ධිය වැනි නව ප්‍රචාරණ මාධ්‍යන් උපයෝගී කරගැනීමේදී මාධ්‍ය ආචාර ධර්ම හා රටේ පවතින නියාමනයන්ට අනුකූල වන පරිදි කටයුතු කිරීම.

07. මැතිවරණ නීතිරීති රෙගුලාසි හා මාර්ගෝප දේශයන්ට අවනතව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම හා ඒ සම්බන්ධයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අනුගාමිකයන් යාවත්කාලීන කිරීම.

08. ඉහත සියලු නිර්දේශයන් පූර්ව මැතිවරණ, මැතිවරණ හා පශ්චාත් මැතිවරණ සමයන්හිදී ක්‍රියාත්මක කිරීම මගින් මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම.

අප විසින් නිර්දේශ කරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබගේ සහ ඔබ කණ්ඩායමේ දැඩි අවධානය යොමු කොට, මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට හා ආරක්ෂිත හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරය සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතිය තහවුරු කිරීමට දායක වෙන මෙන් සියලු ජනාධිපති අපේෂකයින්ගෙන් අප ඉල්ලා සිටිමු. ඔබගේ සබුද්ධික දායකත්වය ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර සාධාරණ මැතිවරණ පරිසරයක් හා සංස්කෘතියක් ඇති කිරීමට උපකාරී වෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

පහන් ටැඹ