කමලා හැරිස් සමඟ දෙවන විවාදය ට්‍රම්ප් මඟ හරී?

දේශපාලනය, වාදවිවාද අපට නුහුරු නුපුරුදුු දේවල් නොවේ. විශේෂයෙන් මෑත කාලයේදී අපි මේවා බොහොමයක් අත්දැක්කෙමුු. ඒ පසුගිය කාලයේ අප රටේ ජනාධිපතිවරණයක් පවත්වන්නට යෙදුණු නිසාය. නමුත් ඒවා පිළිබඳ මතකය අපෙන් ඈත් වන්නට ඉඩ දෙන්නේ නැත. තව මාසයකින් පමණ අප රටේ මහ මැතිවරණයක් පවත්වන්නට කටයුතු සූදානම් වෙමින් පවතී. එපමණක් නොව ලෝකයේ මහා බලවතා යයි සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ද එලැඹෙන නොවැම්බර් 5 වැනිදා මහ මැතිවරණයක් පවත්වන්නට කටයුතු යොදා තිබේ. මේ හේතුව නිසා දේශපාලන වාදවිවාද පිළිබඳ විවිධ අදහස් දකින්නට ලැබේ. ජාත්‍යන්තරය තුළ දේශපාලන වාද විවාද සම්බන්ධයෙන් වැඩිම අවධානයක් යොමුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය කෙරෙහිය. එසේ අවධානයකට ලක්වන්නට හේතු වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති කමලා හැරිස් අතර පැවති වාද විවාදයන්ය.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු වන හිටපු ජනාධිපතිවරයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආසියානු සම්භවයක් සහිත, දැනට උප ජනාධිපති තනතුර දරන කමලා හැරිස් සමග මෙයට පෙර අවස්ථාවක දී විවාදයක් පැවති අතර එයින් පසුව තවත් විවාදයක් සඳහා ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවන්නට කටයුතු යොදා ගෙන සිටින බවට ප්‍රවෘත්ති පළ විය. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ තමන් එයට සහභාගී නොවන බවය.

මේ අවස්ථාවේ දී හැරිස් පවසා සිටියේ ඔවුන් දෙදෙනාගේ කරුණුවල යම් යම් පැහැදිලි කර ගැනීම් ජනතාව අපේක්ෂා කරන බැවින් තවත් විවාදයක් පැවැත්විය යුතු බවය. කෙසේ නමුත් ට්‍රම්ප් දැඩිව පවසා තිබුණේ දෙවැනි විවාදයකට තමා කිසිසේත්ම සහභාගී නොවන බවය. මෙය දෙපක්ෂයේම ප්‍රේක්ෂකයින් වික්ෂිප්ත බවකට පත් කළ ප්‍රකාශනයක් බව පෙනෙන්නට තිබේ.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ අපේ රටේ මෙන් දැවැන්ත දේශපාලන රැළි පවත්වා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීමක් සිදු කෙරෙන්නේ නැත. වඩාත් ඉහළ දේශපාලන සාක්ෂරතාවයකින් යුක්ත එක්සත් ජනපදවාසීන්, අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධ කර ගන්නේ බහුල වශයෙන් විවාද ඔස්සේය. එබැවින් දේශපාලන අපේක්ෂකයින් පවත්වන විවාද පිළිබඳ මහජනතාව වඩාත් අවධානයෙන් පසුවෙති.

මේ විවාද ගැටලුවට මැදි වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයාය. අන්තගාමී අදහස්වලින් යුක්ත ඔහුගේ ඒ ස්වභාවය නිසාම ඔහුගේ පාලන කාලයේ ශ්‍රී ලංකාව තුළ ඔහු හඳුන්වනු ලැබුයේ ‘ට්‍රම්පච්චි’ යන නමිනි. එයට හේතුව මෙවැනිම අදහස් දැරූ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ‘අප්පච්චි’ යනුවෙන් අනවර්ථ නාමයක් පටබැඳී තිබූ බැවිනි. ට්‍රම්ප්ගේ පාලන සමයේ දී බදු අඩු කිරීම්, ආගමන විගමන ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ ‘ප්‍රථමයෙන් ඇමරිකාව’ (America First) වැනි විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා ඔහුගේ පාලන සමය පිළිබඳ ජනතාවට හොඳින් මතකයේ රැඳී පවතී.

දැනට උප ජනාධිපති තනතුර උසුලන කමලා හැරිස් අප්‍රිකානු ඇමරිකානු සහ දකුණු ආසියානු සම්භවයක් ඇති කාන්තාවකි. මෙවැනි සම්භවයක් සහිත කාන්තාවක ඇමරිකාවේ ජනපති තනතුරට තරඟ කරන්නේ මේ පළමු වරටය. බයිඩන් ජනාධිපතිවරයාගේ පරිපාලනය තුළ ආගමන විගමන, අපරාධ යුක්ති ප්‍රතිසංස්කරණ සහ කාන්තා අයිතීන් සම්බන්ධ ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනස් කම් ඇති කරන්නට ඇය දායක වූවාය. වාදවිවාද සඳහා තියුණු හැකියාවකින් යුක්ත හැරිස්, ට්‍රම්ප්ට එරෙහිව ජයග්‍රහණය කරමින් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරිය බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.

මොවුන් දෙදෙනා අතර පැවති පළමු විවාදයේ දී ට්‍රම්ප් දැනට පවතින රාජ්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු පෙන්වා දෙමින් කරුණු දැක්වූ අතර හැරිස් සිදුකරන ලද්දේ ට්‍රම්ප් විසින් ඇමරිකාව පාලනය කළ සමයේ පැවති අඩුපාඩු එකින් එක පෙන්වා දීමය. මත විමසුම්වලින් තීරණය කෙරුණේ එම විවාදයේ දී හැරිස් වඩාත් ඉදිරියෙන් සිටි බවය. එයින් පසුව දෙවැනි විවාදයක් ද පැවැත්විය යුතු බවට හැරිස් යෝජනා කළාය.

තමා මේ වන විටත් ජයග්‍රහණය කොට අවසන්ය යන අදහසේ පසුවන ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ තවත් විවාදයක් අනවශ්‍ය බවය. අනෙක පළමු විවාදයේදී සිටි මැදිහත්කරුවන් (moderators) පිළිබඳව ද තමාගේ කැමැත්තක් නැති බව ට්‍රම්ප් පවසා සිටියේය. ඔවුන් හැරිස්ට වාසි සහගත වන අන්දමින් හැසිරුණු බවය.

කෙසේ නමුත් ට්‍රම්ප් විවාදය ප්‍රතික්ෂේප කිරීම තුළින් වාසියක් ගනිමින් හැරිස් පවසන්නේ ට්‍රම්ප් ප්‍රශ්නවලින් පළා යන අපේක්ෂකයකු බවය. ඇගේ ප්‍රචාරක කණ්ඩායම් ද ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් කටයුතු සිදුකරනු දක්නට ලැබේ.

විවිධාකාර මහජන මත විමසීම් බොහොමයක් සිදු කළ ද මේ ජනාධිපති තරගයෙන් කවුරුන් ජයග්‍රණය කරනු ඇතිද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවේ. හැරිස්ට කාන්තා ඡන්ද සහ සුළුතර ජනතාවගේ ඡන්ද බහුතරව ලැබෙන්නට හැකි බව ද, ජාතිවාදී අදහස්වලින් යුක්ත සහ ශක්තිමත් නායකත්වයක් අපේක්ෂා කරන්නන්ගේ ඡන්ද ට්‍රම්ප්ට හිමි වනු ඇති බවට අදහස් පළ වෙමින් තිබේ. කෙසේ නමුත් සමස්ථ ඡන්ද ප්‍රමාණය ඉතාමත් අඩුපරතරයක් ඇතිව ලබා ගනිමින් මේ තරඟය අවසන් වනු ඇතැයි බොහෝ දෙනෙක් අදහස් පළකරති.

“දෙවැනි විවාදයකට උප ජනපති හැරිස් සූදානම්. ඩොනල්ඩ් ට්‍රම්ප් එයට සූදානම්ද?” යනුවෙන් ප්‍රශ්න නගන දැන්වීමක් ඔවුහු ප්‍රචාරය කරති.

ජනාධිපතිවරණය කෙමෙන් ආසන්න වෙද්දී තවත් විවාද පවත්වනු ඇතිද නැතිද යන්න පිළිබඳ තවමත් ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි.

විවිධාකාර මහජන මත විමසීම් බොහොමයක් සිදු කළ ද මේ ජනාධිපති තරගයෙන් කවුරුන් ජයග්‍රණය කරනු ඇතිද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවේ. හැරිස්ට කාන්තා ඡන්ද සහ සුළුතර ජනතාවගේ ඡන්ද බහුතරව ලැබෙන්නට හැකි බව ද, ජාතිවාදී අදහස්වලින් යුක්ත සහ ශක්තිමත් නායකත්වයක් අපේක්ෂා කරන්නන්ගේ ඡන්ද ට්‍රම්ප්ට හිමි වනු ඇති බවට අදහස් පළ වෙමින් තිබේ. කෙසේ නමුත් සමස්ථ ඡන්ද ප්‍රමාණය ඉතාමත් අඩුපරතරයක් ඇතිව ලබා ගනිමින් මේ තරඟය අවසන් වනු ඇතැයි බොහෝ දෙනෙක් අදහස් පළකරති.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්