මව් බිම අතහැර සිරි ලකට පැමිණ “සනාතන සුවය”දකින ඇමරිකානුවා

අපේ රටට, බුදු දහමට අප ආදරය කරනවාටත් වඩා ඇතැම් පිටරැටියෝ ඊට ආදරය කරති. එවැනි විදේශිකයෙකු හමුවීමට පසුගිය දිනෙක මට අවකාශ ලැබිණි. ඔහු ඇමරිකන් ජාතිකයෙකි.

නමින් මයිකල් ෆ්‍රොන්සැක් ( Michele Fronczak) ය. අපේ රටට,බුදු දහමට ආදරය කරන මෙම ඇමෙරිකානු ජාතිකයා ශ්‍රී ලංකාවේ වාසය කරමින් ශ්‍රී ලාංකිකයන්ට උදව් උපකාර කරමින් භාවනා මධ්‍යස්ථානයක පදිංචිව සුවසේ දිවි ගෙවයි. එමෙන්ම ඔහු පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැක්කේ ඔහු බොහෝ ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳින් බුදු දහමට අවුව කටයුතු කරන්නකු බවය.

* ඔබ ලංකාවට ආවේ කොයි කාලෙද?

මුලින්ම 2001 අවුරුද්දේ

* ඊට කලින් ලංකාව ගැන දැනගෙන තිබුණද ?

නෑ

* කොහොමද ලංකාවට එන්න මග පෑදුණේ?

මම ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ මිචිගන්වල. ඇමරිකාවේ චිකාගෝ පන්සලේ වැඩ වාසය කරන පේරාදෙණියේ සුජාත හාමුදුරුවෝ මට හඳුනා ගන්න ලැබුණා. උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට මම සම්බන්ධ වුණා. එතකොට මගේ වයස අවුරුදු විස්සක් විතර. ඒ භාවනා නිසා මගේ හිත හරියට බුදු දහම කෙරෙහි ඇදිලා ගියා. මම සුජාත හාමුදුරුවන්ගෙන් ඇහුවා, ඔබ වහන්සේගේ රට මොකක්ද කියලා. එතකොට කිව්වා ශ්‍රී ලංකාව කියලා.

මම එහෙම රටක් ගැන අහලා තිබුණේ නෑ. ඒ නිසා මම ඇහුවා ශ්‍රී ලංකාව තියෙන්නේ ඉන්දියාවේ ද කියලා. ඊට පස්සේ සුජාත හාමුදුරුවෝ ශ්‍රී ලංකාව ගැන කියපු විස්තර ඇහුවම ඇත්තටම මට ආස හිතුණා ලංකාවට එන්න. මගේ ඒ කැමැත්ත ගැන දැන ගත්තු සුජාත හාමුදුරුවෝ ඊට පස්සේ 2001 අවුරුද්දේ මාත් එක්ක ලංකාවට ආවා. ඊට කලින් මං කවදාවත් පිටරටකට ගිහින් තිබුණේ නෑ.

* ඊට පස්සේ මෙහෙ නතර වෙන්න තීරණය කළා ?

මම මෙහෙ එනකොට අවුරුදු විසි දෙකයි මට වයස. අපි මෙහෙ ගොඩක් තැන්වල ඇවිදින්න ගියා. අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය ඔය වගේ ගොඩක් වටිනා කියන තැන් ගොඩකට ගියා. නිල්ලඹේ භාවනා මධ්‍යස්ථානයේ නතර වෙලා භාවනා කළා. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව ඔය විදිහට මම සමථ භාවනාව ගොඩක් පුහුණු කළා.

මෛත්‍රී භාවනාවෙ තියෙන්නෙ බොහොම අඩු වචන ප්‍රමාණයක්. ඒත්, ඒ වචන ඇතුළෙ තියන සමන කාරක ගුණය එක හරිම විශාලයි, හරිම බලවත්. බුදු දහම ගැන ලොකු කැමැත්තක් මගෙ හිතේ ඇති වුණේ. මේ දහම හොඳින් ඉගෙන ගන්න ඕනෙ කියල මට හිතුණා. ඒ වගේම ලංකාව ගැනත් මට හරි ආදරයක් ඇති වුණා. ඒත්, මට මෙහෙ නවතින්න විදිහක් තිබුණේ නෑ. මගෙ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්න තිබුණා . ඒ ඇවිත් මාසෙකින් මම ආයෙමත් ඇමරිකාවට ගියා. එහෙ ගිහින් මම 2005 අවුරුද්ද වෙනකොට උපාධියේ වැඩ කටයුතු සම්පූර්ණ කළා .

* මොකක්ද ඔබේ උපාධිය සඳහා තෝරාගත් විෂය ?

මනෝ විද්‍යාව

* ඊට පසුව ඔබ නැවත ලංකාවට ආවද?

නෑ. මම හිතුවා මම දැන් රැකියාවක් කරන්න ඕනේ කියලා. මුලින්ම මම සුළු කාලයක් මගේ රටේ රැකියාවක් කළා. ඒකෙන් මගේ හිත සෑහීමකට පත් වුණේ නෑ. ඊට පසුව මම ඕස්ට්‍රේලියාවට ගියා.

ඒ රටේත් ටික කාලයක් රැකියාවක් කළා. නමුත් ඒකත් මට එපා වුණා. මම සොයන ජීවිතේ මේක නෙමෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම නැවත ඇමෙරිකාවට ගියා. ආයෙමත් සුජාත හාමුදුරුවන් ව මුණ ගැසුණා. මේ වෙනකොට සුජාතා හාමුදුරුවෝත් මාත් අතරේ තිබුණේ ලොකු මිත්‍රත්වයක්. ඇත්තටම අපි කල්‍යාණ මිත්‍රයෝ. ඒකෙන් අදහස් කරන්නෙ නෑ හාමුදුරු නමකට තිබිය යුතු ගෞරවනීය බව මගෙ හිතේ තිබුණේ නෑ කියලා . ඒක ගෞරවනීයත්වය පදනම් වූ මිත්‍රත්වයක්.

ඒ කාලේ ආයුර්වේදය ගැන මගෙ හිතේ ලොකු උනන්දුවක් තිබුණා. ඊට පස්සේ සුජාත හාමුදුරුවෝ කිව්වා “ඔයාව මම ලංකාවට එක්කගෙන ගිහින් ආයුර්වේදය ඉගෙන ගන්න සලස්වලා දෙන්නම්” කියලා. මාත් ඒකට ගොඩක් කැමති වුණා. ඊට පස්සේ 2006 අවුරුද්දේ හාමුදුරුවෝ එක්ක මම ලංකාවට ආවා.

* ඔබ ආයුර්වේදය හැදෑරුවද?

සුජාත හාමුදුරුවෝ බොරැල්ල ආයුර්වේද රෝහලේ වෛද්‍ය ජයවර්ධන මහත්මයාට මාව හඳුන්වලා දුන්නා. එතුමා බොහොම කැමැති වුණා මට ආයුර්වේදය උගන්වන්න. මම සති අන්තයේ බොරැල්ල ආයුර්වේදයේ එම වෛද්‍යතුමාගේ ක්ලිනික් එකේ වැඩ කළා. බෝතල් සේදුවා, පිහ දැම්මා, ක්ලිනික් එක අතුගෑවා. ඒ වැඩ මම කළේ මගේ කැමැත්තෙන් මිසක් වෛද්‍යතුමා මට ඒව කරන්න කිව්වේ නෑ. මම විශ්වාස කරනවා යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ඔය සෑම දෙයක්ම ඒකට ඇතුළත් කියලා. ඒ වැඩ කරමින් ම මම ආයුර්වේද පොත් කියෙව්වා. ඒ වගේම මට ආයුර්වේදයට අදාළ බොහෝ දේවල් එම වෛද්‍යතුමා ඉගැන්නුවා. ඒත් මට ඒ වෙලාවේ ලංකාවේ ඉන්න පුළුවන් වුණේ අවුරුද්දයි.

* ඇයි ඒ?

මගේ පුංචි අම්මාට මොළයේ පිළිකාවක් හැදිලා අසනීප වෙලා හිටියේ. ඒ නිසා මං ආපහු ඇමරිකාවට ගියා. ඒ 2007 අවුරුද්දෙ.මම මේ වෙලාවේ නොගියා නම් ඇත්තටම මට දුකයි. පුංචි අම්මාගේ අවසාන කාලයේ මම ඇය ළඟ ඉන්න ඕනේ කියන අදහස තමයි මට තිබුණේ. නැවත මට ආපසු මෙහෙ ඇවිත් ඉගෙන ගන්න පුළුවන්. ඊට අවුරුදු දෙකකට පස්සේ පුංචි අම්මා නැති වුණා. ඊට පස්සේ 2011 දී මම නැවත ලංකාවට ආවා.

* මේ සනාතන සුවය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ඔබ සම්බන්ධ වුණේ සුජාත හාමුදුරුවන් ගේ මග පෙන්වීම යටතේ ද?

මම ලංකාවට එනකොට මේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ඉදි කරලා තිබුණේ නෑ. නමුත් හාමුදුරුවන්ට ඕනෑ වුණා මේ වගේ තැනක් භාවනානුයෝගීන් වෙනුවෙන් ඉදි කරන්න. මේ ඉඩම හාමුදුරුවන්ට දානපතියකු ගෙන් ලැබුණු පරිත්‍යාගයක්. ඊට පස්සේ හාමුදුරුවෝ මෙම භාවනා මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ කර, එහි සියලුම අධීක්ෂණ කටයුතු මට පැවරුවා.

ඒ වගේම ලංකාවේ දිළිඳු ජනතාවට සහ ඉගෙන ගන්නා දරුවන්ට උපකාර කරන්නට හාමුදුරුවන්ගේ අදහසක් තිබුණා. එවැනි කටයුතුවලට මටත් දැඩි වුවමනාවක් කලක සිටම ඇතිවෙලයි තිබුණේ. මම ලංකාවේ බොහෝ තැන්වල සංචාරය කරන කොට උපකාර ලැබිය යුතු දිළිඳු අය මට බොහෝ සෙයින් හමුවී තිබුණා. ඊට පස්සේ හාමුදුරුවෝත් මමත් එකතු වෙලා එවැනි පවුල් ගණනාවකට අත්‍යවශ්‍ය දේවල් සපයා ගැනීම සඳහා මුදලින් උපකාර කරන්න පටන් ගත්තා.

නමුත් එය අසාර්ථක ක්‍රමයක් බව අපට කෙටි කලකින්ම වැටහුණා. අපි මුදල් දීමෙන් අපේක්ෂා කළ දේ ඒ අය වෙතින් ඉෂ්ට වුණේ නෑ. ඊට පස්සේ අපි තේරුම් ගත්තා මුදල් නොව යටිතල පහසුකම් වශයෙන් ආධාර දීම වඩාත් සුදුසුයි කියලා. මේ වෙනකොට අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල අලුතින් ගෙවල් තනා දීම, බාගෙට ඉදි කර තිබෙන ගෙවල් සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබා දීම, ඔන්ලයින් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබන දිළිඳු දරුවන්ට ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන අවශ්‍ය පරිදි ලබාදීම, ඒ හැරුණු විට පාසල් දරුවන්ට පොත් පත් ලබා දීම ඔය වගේ වැඩ කටයුතු රාශියක් කළා. දැනටත් කරමින් පවතිනවා, ඉදිරියටත් කරනවා.

* මේ සඳහා ඔබ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගෙන තිබෙනවාද?, නැත්නම් එවැනි සංවිධාන වලින් ඔබට ආධාර කරනවාද?

නෑ ඔය දෙකම නොවෙයි. මේ සමාජ සේවා කටයුතු සුජාත හාමුදුරුවෝ සමග එකතු වෙලා කරන්නේ ඇමරිකාවේ අපට උදව් කරන දානපතියන්ගේ මුදල්වලින්.අපි මේ එක පාර ගෙවල් පනහ, සීය හදලා කරන ව්‍යාපෘති නෙමෙයි. උදව් අවශ්‍ය අය සොයලා නිහඬව කරන සේවාවක්. අපි මේවා ප්‍රචාරය කර කර කරන දේවලුත් නෙමෙයි.

* සනාතන සුවයේ මේ දවස්වල භාවනා වැඩසටහන් පැවැත්වෙනවාද?

නෑ. කොරෝනා වසංගතයෙන් පස්සේ අපි තාවකාලිකව නතර කළා. ලබන පෙබරවාරියේ පමණ නැවත පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.

* දෙසැම්බර් 8 වැනිදා ඔබ ඔබේ රටට යනවා කීවා නේද?

ඔව්, මගේ අම්මාව බලලා එන්න. නැවත ජනවාරි මාසයේ අන්තිමේ දී මම ආපසු එනවා

* ඔබ විවාහ වී සිටින්නේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමග නේද?

ඔව්. ඇය රුෂ්නා මොහොමඩ් . සමහරු අහනවා මම බෞද්ධයකු වී හිඳගෙන මුස්ලිම් කාන්තාවක් විවාහ කර ගත්තේ ඇයි කියලා .අපි ආගමෙන් වෙනස් බව ඇත්ත. නමුත් අපි හැම දෙනාම මනුෂ්‍යයෝ. ඇය මගේ ආගමට ගරු කරනවා. ඒ වගේම ඇයත්හොඳට භාවනා කරනවා. මමත් ඇගේ ආගමට ගරු කරනවා. ආගම අපේ පවුල් ජීවිතයට ගැටලුවක් නොවෙයි.

* ඇගේ දෙමාපියන් ඔබට කැමැත්ත දුන්නද?

අපේ දුව සතුටින් ඉන්නව නම් ඒකයි අපට වටින්නේ කියල ඒ දෙමව්පියන් කියන්නේ.

* ඇය රැකියාවක් කරන කෙනෙක්ද ?

රුෂ්නා මනෝ විද්‍යාඥවරියක්. ඇය විවිධ මානසික ආබාධ ඇති අය සඳහා උපදේශන ප්‍රතිකාර කරනවා. ඇය වැඩි අවධානයක් යොමු කරන්නේ සිය දිවි නසා ගැනීමට යොමු වූ අය සඳහා ප්‍රතිකාර ලබා දෙන්නටයි

* ඔබ කොහොමද මේ තරම් හොඳට සිංහල දන්නෙ?

සුජාත හාමුදුරුවෝ තමයි මුලින්ම සිංහල කියල දුන්නේ. දැන් සිංහල අයව ගොඩක් ආශ්‍රය කරන නිසා ඉබේම පුරුදු වෙලා

* ඔබ දිගටම ලංකාවෙ රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවද?

මම කැමතියි . ඒ වගේම ලංකාවට මම ආදරෙයි. නමුත් අපට අනාගතය ගැන කියන්න බෑ. ජීවිතය අස්ථිරයි.

අපේ කියල අපි හිතන් ඉන්න කිසි දේකට අපි අයිතිකාරයො නෙමෙයි. අපි ජීවත් වෙන්න හුස්ම ගන්නවා. ඒත් ඒ හුස්මත් අපි පිට කරල යවනව.ජීවත් වෙන්න ගන්න හුස්මටවත් අපට අයිතියක් කියන්න බෑ.

ඉතින් අනික් දේවල් ගැන කොහොමද කියන්නේ ?

ඉන්දු පෙරේරා

අරුමැසි පුවත්