එළිසබෙත් මහ රැජින පිළිකාවකින් පෙළුණු බව හිටපු අගමැති ජොන්සන් පවසයි

2022 සැප්තැම්බර් 8 වැනි දින දිවියෙන් සමුගත් දෙවැනි එළිසබෙත් රැජිනගේ මරණයට හේතුව ඇයගේ වියපත් බව පමණක් ද? එසේ නැතහොත් ඒ පිටුපස තවත් හේතුවක් තිබුණා ද?

මහ රැජින මිය යන විට ඇයගේ වයස අවුරුදු 96 ක් විය. ඇයගේ මරණයට හේතුව ලෙස නිල ලේඛනවල සඳහන්ව ඇත්තේ ‘වියපත් බව’ යන්න යි. නමුත් ඇයගේ මරණයෙන් පසු මේ පිලිබඳ විවිධ සැකසංකා, කටකතා සහ අනුමානයක් පළවෙනු ද දැක ගන්නට ලැබිණි.

කෙසේ හෝ වේවා, මේ කාරණය ගැන දැන් නැවතත් විශාල කතාබහක් ඇති වී තිබෙනු පෙනේ. එයට හේතු වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වන බොරිස් ජොන්සන් විසින් කරනු ලැබ ඇති හෙලිදරව්වකි. ඔහු පවසා ඇත්තේ රැජිනගේ අවසන් කාලයේ ඇය පිළිකාවකින් පෙලෙමින් සිටි බව යි. එය අස්ථිවල පිළිකාවක් බව ද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. බොරිස් ජොන්සන් මේ බැව් කියා ඇත්තේ ඔහු විසින් ලියනු ලැබ ඇති අලුත් ග්‍රන්ථයක ය. ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් මෙම ග්‍රන්ථය ලබන 10 වැනි දින නිකුත් වීමට නියමිත අතර එය නම් කර ඇත්තේ Unleashed යනුවෙනි.

රජ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යයට සම්බන්ධ මෙවැනි කාරණා සාමාන්‍යයෙන් රජ පවුල ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. එය කාලයක සිටම අනුගමනය කරන සම්ප්‍රදායකි. එසේ තිබිය දී බොරිස් ජොන්සන් මෙවැනි හෙලිදරව්වක් කිරීම තරමක් සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක් ලෙස ද සැලකිය හැක්කකි. ජොන්සන් කොහොමටත් ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන කෙනෙකු බව රහසක් නොවේ. රැජිනගේ මරණයට සැබෑ හේතුව යැයි සිතිය හැකි කාරණයක් ගැන එරට රජයේ හිටපු නිලධාරියකු කතා කළ පළමු අවස්ථාව මෙය යි.

කෙසේ වෙතත්, Unleashed ග්‍රන්ථය තුළින් හිටපු අගමැතිවරයා කරන මෙම ප්‍රකාශය ගැන රජ පවුල කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ද සඳහන් වේ. මෙවැනි පොත් සහ මාධ්‍ය තුළින් කරනු ලබන ප්‍රකාශ ගැන රජ පවුල ප්‍රතිචාර නොදැක්වීම සාමාන්‍ය සිරිතකි.

මහ රැජින අස්ථි පිළිකාවකින් පෙළෙන බව තමා වසරක පමණ කාලයක සිට දැන සිටි බව ද ජොන්සන් සඳහන් කර තිබේ.

තමා මහ රැජින බැහැදුටු අවසන් අවස්ථාව ගැන ද බොරිස් ජොන්සන් සිය ග්‍රන්ථයේ විස්තර කර ඇති බව සඳහන් වේ. 2019 වසරේ ජුලි මාසයේ අගමැති ධුරයට පත් වූ ජොන්සන් 2022 සැප්තැම්බර් මාසයේ ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ ඔහුට සහ ඔහුගේ ආණ්ඩුවේ ඇතැමුන්ට එරෙහිව එල්ල වූ විවිධ චෝදනා නිසා ය. ජොන්සන් අවසන් වරට රැජින හමු වී තිබුණේ සිය ඉල්ලා අස්වීම ඇයට දැනුම් දීම සඳහා ගිය අවස්ථාවේ යි. මෙම හමුවීම සිදු වූයේ මහ රැජිනගේ අභාවයට දින දෙකකට කලිනි. එනම් සැප්තැම්බර් 6 වැනි දා යි. රැජිනගේ අභාවය සිදු වූයේ සැප්තැම්බර් 8 වැනි දින ය.

ඉල්ලා අස්වීම දැනුම් දීම සඳහා ජොන්සන්, ඒ වනවිට මහ රැජින වාසය කළ බැල්මොරල් මාළිගයට ගිය විට මුලින්ම ඔහු පිලිගෙන තිබුණේ ඇයගේ පෞද්ගලික ලේකම්වරයා වූ එඩ්වඩ් යං ය. ඔහු අගමැතිවරයා පිලිගෙන මහ රැජිනගේ සෞඛ්‍ය තත්වය ගැන ඔහුට පැහැදිලි කර තිබිණි. ඒ එම අවස්ථාව සඳහා ජොන්සන් සූදානම් කිරීම සඳහා ය. රැජිනගේ සෞඛ්‍ය තත්වය එම ග්‍රීෂ්ම සෘතුව තුළ දැඩි පිරිහීමකට ලක් වූ බැව් එඩ්වඩ් යං තමා සමග පැවසුවේ යයි ජොන්සන් සඳහන් කරයි. එයින් ටික වේලාවකට පසු රැජින සමග ඇයගේ නිල කාමරයේ වාඩි වී කතා කරමින් සිටිය දී ලේකම්වරයා කී කතාවේ සත්‍යතාව තමාට වැටහුණු බව ද ඔහු පවසා තිබේ.

“සුදුමැලි බවක් ඇයගෙන් පළ වූ අතර වඩාත් කුදු ගැසුණු බවකුත් පෙනෙන්නට තිබුණා. ඇයගේ අත්වල සහ මැණික් කටු අසළ කළු පැල්ලම් වැනි දේත් දක්නට ලැබුණා. ඒවා බෙහෙත් එන්නත් කිරීම නිසා ඇති වූ කැළැල් වගෙයි පෙනුණේ” ජොන්සන්ගේ පොතෙහි සඳහන් වෙයි.

කෙසේ නමුත් හිටපු අගමැතිවරයා පවසන්නේ රැජිනගේ මානසික තත්වයට නම් රෝගය නිසා කිසිදු බලපෑමක් එල්ල වී නොතිබුණු බවයි. ඉඳහිට ඇයගේ සුපුරුදු දීප්තිමත් සිනාව මුහුණේ මතු වූ බව ද ඔහු තවදුරටත් පවසා තිබේ.

ජොන්සන් ගේ Unleashed -ග්‍රන්ථය නිකුත් වීමටත් පෙර සිටම ලොකු අවධානයක් දිනාගෙන තිබෙන බව පෙනේ. පාඨකයන්ගෙන් ද ඊට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව සඳහන් ය. පෙර ඇණවුම් විශාල වශයෙන් ලැබීම නිසා එය බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පොත සඳහා එහි ප්‍රකාශකයන් බොරිස් ජොන්සන්ට ස්ටර්ලිං පවුම් 510,000 ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවක් ද සඳහන් වේ. එය ලංකා රුපියල් කෝටි 20 කට ආසන්න මුදලකි.

බ්‍රිතාන්‍යයේ තවත් හිටපු අගමැතිවරයකු වූ ඩේවිඩ් කැමරන් ද මෙයට වසර කිහිපයකට පෙර ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් පොතක් පළ කළ අතර ඒ සඳහා ස්ටර්ලිං පවුම් 800,000 ක (ලංකා රුපියල් කෝටි 30 කට ආසන්න) අත්තිකාරම් මුදලක් ගෙවා තිබිණි. 2019 වසරේ පළ කෙරුණු කැමරන් ගේ පොත හැඳින්වුණේ For the Record යන නමිනි. බ්‍රිතාන්‍යයේ තවත් ප්‍රකට අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර් 2010 වසරේ A Journey නමින් මතක සටහන් පොතක් නිකුත් කළ අතර ඒ වෙනුවෙන් ඔහුට ගෙවා තිබූ අත්තිකාරම් මුදල ස්ටර්ලිං පවුම් මිලියන 4.6 කි. මෙය ලංකා මුදලින් රුපියල් කෝටි 178 ක් පමණ වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර