නිමාවක් නොමැති ‘පොල් තෙල් භීතිකාව’


පොල්තෙල් බව පවසමින් පිටරටින් ආනයනය කරන ලද මිනිස් ශරීරයට අහිතකර වෙනත් තෙල් වර්ගයක් වෙළෙඳපොළේ විකිණීමට ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා කියා සිටියි. ඔහු වැඩිදුරටත් පවසනුයේ කෘත්‍රිම රසායනික ලෙස පිරිපහදු කරන ලද තෙල් වර්ගයක් පොල් තෙල් බව පවසමින් මෙරටට ආනයනය කර ඇති බවයි. එම ප්‍රකාශයේ වඩාත් බරපතලම කොටසක් ද තිබේ. එනම් එම ආනයනකරුවන් දේශීය ස්වාභාවික පොල් තෙල් සන්නාමය යටතේ මෙම කෘත්‍රිම රසායනික පොල් තෙල් සමාජගත කරන බවකි. එබැවින් මෙම කෘත්‍රිම රසායනික පොල් තෙල් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔහු වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටියි.

පොල් තෙල් කරල්

මේ අතර ආනයනික පොල් තෙල් කෙරෙහි අනියත බියක් ඇති කර ගත යුතු නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි. ඔහු පවසන්නේ ඔවුන් නිරන්තරයෙන්ම වෙළෙඳපොළෙහි ඇති පොල් තෙල් නියැදි පරීක්ෂාවට ලක් කරන බවත් එසේ පරීක්ෂා කිරීමේ දී ඒවායේ ඇෆ්ලටොක්සින් නම් විෂ රසායනය හමු වන අවස්ථා ඇති බවත්, එවිට ඒවා වෙළෙඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට කටයුතු කරන බවත්ය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය පවසන පරිදි පොල් තෙල්වල තිබිය හැකි ඇෆ්ලටොක්සින් සාන්ද්‍රණය කිලෝ එකකට මයික්‍රෝ ග්‍රෑම් 10 ක් වුව ද ඇතැම් ආනයනික පොල් තෙල්වල මයික්‍රෝ ග්‍රෑම් 33, 34 තරම් තිබූ අවස්ථා හමු වන බවය. මේවා වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරන්නට කටයුතු කරන බව ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න පවසයි. බීබීසී පුවත් සේවය ද ප්‍රවෘත්තියක් පළ කරමින් පවසා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මගින් කරන ලද පර්යේෂණයකට අනුව පොල් තෙල් සෞඛ්‍යයට අහිතකර කර බව සහ ඒවා පරිභෝජනය කිරීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකි බවත්ය. ඇමරිකානු හෘදය සංගමය පවසන්නේ පොල් තෙල් සෞඛ්‍යයට හිතකර බව තහවුරු කරන්නට තරම් සාක්ෂි ඉදිරිපත් වී නැති බවය.

පාම් ගෙඩි

පොල් තෙල්වලට එරෙහිව විවිධ මතවාද ගොඩනැගුණු ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෑත ඉතිහාසය මුළුල්ලේ ම පොල් තෙල්වලට එරෙහි විවිධ ව්‍යාපාර දියත් වනු දක්නට හැකි විය. පොල් තෙල් සෞඛ්‍යයට අහිතකර යැයි මුලින්ම පවසන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදය මගිනි. ඔවුන් පොල් තෙල් හඳුන්වා දුන්නේ ‛කෘවල් ඔයිල්’ (Cruel Oil) හෙවත් ‘දුෂ්ට තෙල්‘ ලෙසිනි. එමෙන්ම මිනිසා මරා දමන්නට තරම් හේතුවන තෙල් වර්ගයක් ලෙස ඔවුහු මෙය හඳුන්වන්නට පටන් ගත්හ. ඇමරිකා එක්සත් ජනපදය පැවසූ පෙර කී අදහසට එරෙහිව ලෝකයේ බොහෝ රටවලින් විවිධ අදහස් මතු වන්නට පටන් ගැනුණි. පසුව පොල් තෙල්වලට පක්ෂපාතී සංවිධාන බිහිවන්නටත් පටන් ගැනුණි. ඉන් පසු කෙමෙන් පොල් තෙල්වලට එරෙහි සංවිධාන හා ව්‍යාපාර පසු බසින්නට පටන් ගත් නමුත් ‘පොල් තෙල් සෞඛ්‍යයට අහිතකරය‘ යන මතය සමාජයෙන් සහමුලින්ම ඉවත් වූයේ නැත. අන්තර්ජාලය පවා පරීක්ෂාකිරීමේදී පොල් තෙල් පරිභෝජනයට පක්ෂපාත මෙන්ම එරෙහිව ද බොහෝ අදහස් ඇති බව පෙනෙන්නට තිබේ. පොල් තෙල් පරිභෝජනය කළ පමණින් හෘද රෝග වැළඳෙන්නට, කොලෙස්ටරෝල් ඇතිවන්නට ඉඩකඩ ඇති බවට පුවත් බොහෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

පොල් තෙල් කෙරෙහි ඇති වුණු මෙම අහේතුක බිය අතරතුරේ කෙමෙන් අප රටේ වෙළෙඳ පොළට සූරියකාන්ත, සෝයා ආදී වෙනත් තෙල් වර්ග ඇතුළු වන්නට පටන් ගැනුණි. වෛද්‍යවරුන් ද පොල් තෙල් අහිතකර බවත් වඩාත් සුදුසු ‘එළවළු තෙල්’ බවත් පවසන්නට වූ නිසා බොහෝ පාරිභෝගිකයෝ පොල් තෙල් අතහැර එළවළු තෙල්වලට යොමු වූහ. මෙසේ වර්ධනය වෙමින් පැවති පොල් තෙල් කෙරෙහි ඇති බිය දුරු කරන්නට පෙරමුණ ගත්තේ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී.පී. අතුකෝරල ය. වෙනත් තෙල් වර්ග නිපදවන විදෙස් බහු ජාතික සමාගම්වල තර්ජන ගර්ජන හමුවේ පොල් තෙල්වල සැබෑ තත්ත්වය අපේ රටේ පාරිභෝගිකයාට අවබෝධ කර දීමට ඔහු තනිවම දැවැන්ත සටනක් කරගෙන ගියේය.

පොල් තෙල් කෙරෙහි ඇති වුණු මෙම අහේතුක බිය අතරතුරේ කෙමෙන් අප රටේ වෙළෙඳ පොළට සූරියකාන්ත, සෝයා ආදී වෙනත් තෙල් වර්ග ඇතුළු වන්නට පටන් ගැනුණි. වෛද්‍යවරුන් ද පොල් තෙල් අහිතකර බවත් වඩාත් සුදුසු ‘එළවළු තෙල්’ බවත් පවසන්නට වූ නිසා බොහෝ පාරිභෝගිකයෝ පොල් තෙල් අතහැර එළවළු තෙල්වලට යොමු වූහ. මෙසේ වර්ධනය වෙමින් පැවති පොල් තෙල් කෙරෙහි ඇති බිය දුරු කරන්නට පෙරමුණ ගත්තේ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී.පී. අතුකෝරල ය. වෙනත් තෙල් වර්ග නිපදවන විදෙස් බහු ජාතික සමාගම්වල තර්ජන ගර්ජන හමුවේ පොල් තෙල්වල සැබෑ තත්ත්වය අපේ රටේ පාරිභෝගිකයාට අවබෝධ කර දීමට ඔහු තනිවම දැවැන්ත සටනක් කරගෙන ගියේය. ඔහුගේ මේ සටනේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ බහුතරයකගේ සිත් තුළ පොල් තෙල් කෙරෙහි තිබූ බිය පහව ගියත් දැන් නැවතත් එම බිය ඇති කරන්නට විවිධ ව්‍යාපාර දියත් වෙමින් පවතින බැව් මුලින්ම සඳහන් කළ ප්‍රවෘත්තිවලින් මොනවට පැහැදිලි වේ.

අප රටේ සංස්කෘතිය හා පොල් අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. අනාදිමත් කාලයක සිට ආහාර රසවත් කිරීමට අප යොදා ගත්තේ පොල් තෙල් ය. ආගමික කටයුතු සඳහා මෙන්ම හිස ගැල්වීම සඳහා ද අප බොහෝ දෙනෙක් යොදා ගන්නේ පොල් තෙල් ය. අනෙකුත් තෙල් මෙන් නොව පොල් තෙල්වලට රෝම කූප හරහා සම විනිවිද ගමන් කිරිමේ හැකියාව ඇති බැවින් දේශීය වෛද්‍ය කර්මයන්වලදී සැකසෙන ඖෂධීය තෙල් සඳහා පොල් තෙල් මිශ්‍ර කරනු ලබන බව ඇතැම් අය දන්නේ ද නැත. එමෙන්ම කඩියන්, කුහුඹුවන්, මදුරුවන් ඇතැම් විට මී මැස්සන් වැනි සතුන්ගේ සපා කෑම්වලට සහ දෂ්ටනයන්ට ලක් වූ විට ක්ෂණිකව ආලේප කරන්නේ ද පොල්තෙල් ය. එයට හේතුව මෙහි විෂ නැසීමේ යම් ගුණයක් ද පවතින බැවිනි. කොස්, දෙල් වැනි ගෙඩි වර්ග කැපූ විට අතේ තැවරෙන කොහොල්ලෑ ඉවත් කිරීම සඳහා ද පොල් තෙල් භාවිත කෙරේ. පොහෝ දිනවල විහාරස්ථානයේ පහන් දැල්වීම පිණිස තෙල් සම්මාදමේ යාම කලකට පෙර නිතර දකින්නට ලැබුණු දෙයකි. මේ ආකාරයෙන් බලන විට අපගේ සංස්කෘතිය හා පොල් තෙල් අතර ඇත්තේ දීර්ඝ, නොබිඳනු සම්බන්ධයක් බව කිව හැකිය.

පොල් තෙල්වලට එරෙහි ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස එළවළු තෙල් වෙළෙඳ පළට හඳුන්වා දෙනු ලැබිණි. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කෙරුණු පර්යේෂණයක් බව දක්වමින් බීබීසී පුවත් සේවය පළ කළ ප්‍රවෘත්තියේ පවා සඳහන්ව තිබුණේ පොල් තෙල් සත්ත්ව මේදයටත් වඩා සිරුරට අහිතකර බවය. දිගින් දිගටම පොල් තෙල්වලට එරෙහි පැවති ව්‍යාපාර නිසා බොහෝ දෙනෙක් පොල් තෙල් කෙරෙහි අවඥා සහගතව බලා එළවළු තෙල් සාදරයෙන් පිළිගත්හ. සැබවින්ම එළවළු තෙල් යනු මොනවාද? මුලින්ම කිව යුත්තේ එළවළු තෙල් කියා දෙයක් නොමැති බවය. එළවළු තෙල් කියා හැඳින්වුවත්, සැබවින්ම මේවායේ නියම නම විය යුත්තේ ‛ශාක තෙල්’ කියාය. හේතුව අද වෙළෙඳපොළේ එළවළු තෙල් ලෙස අළෙවියට තබා ඇති තෙල් වර්ග වන සෝයා, සූරියකාන්ත, රටකජු, කෝර්න්, කැනෝලා, ඔලිව් ආදී සියලු‍ දේ නිපදවා ඇත්තේ ශාක කොටස්වලින් වීමයි. එසේ බලන විට පොල් තෙල් ද ශාක තෙල් වර්ගයකි. මේ නිසා මේ එළවළු තෙල් යන නමකින් මේවා හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයන් නොමග යැවීමට බව සඳහන් කළ යුතුය. පොල් තෙල් ඇතුළු මේ සියල්ල ශාක තෙල් පමණි.

සකස් කරගන්නා ආකාරය අනුව සාම්ප්‍රදායිකව අප සමාජයේ පොල් තෙල් වර්ග කිහිපයක් දකින්නට හැකි ය. එනම් අත් තෙල්, සෙක්කු තෙල් ආදී වශයෙනි. කෙසේ නමුත් මේ ක්‍රම දෙක ඔස්සේ සකස් කරන තෙල් වර්තමානයේ දක්නට ලැබීම ඉතා විරල වන අතර දැන් බහුලව ඇත්තේ යන්ත්‍ර සූත්‍ර මගින් මෝල්වලින් සිඳගන්නා තෙල්ය. කෙසේ වෙතත් මේ වර්ග තුනටම අයත් පොල් තෙල් අයත්වන්නේ ‘බොර පොල් තෙල්’ (Crude coconut oil) කාණ්ඩයට බව පැවසේ. එනම් මේවා තුළ අපවිත්‍රකාරක (Impurities), තෙතමනය වැඩි බව, මේද අම්ල, ඇෆ්ලටොක්සින් අඩංගු බව ය. මේවා ආහාර ලෙස පරිභෝජනය කිරීමේ දී තවදුරටත් පිරිපහදු කළ යුතු බව පැවසෙන අතර එසේ සකස් කර ගන්නා ලද පොල් තෙල් පිරිපහදු පොල් තෙල් (refined) ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ අප සාමාන්‍යයෙන් පොල් තෙල්වල දකින කහ පැහැය හෝ සුවඳ හෝ දකින්නට ලැබෙන්නේ නැත. කෙසේ නමුත් අප රටේ පැරැන්නෝ ද සෙක්කුවලින් සිඳ ගන්නා ලද පොල් තෙල් ඍජුවම ආහාරයට ගත්තේ නැත. ඔවුන් මේවා මද ගින්නෙහි රත් කොට එහි අහිතකර කොටස් ඝන කොටසක් ලෙස ඉවත් කොට රෙදිවලින් පෙරා යම් කිසි පිරිපහදුු ක්‍රියාවලියකට යොමු කළ බව අප දන්නා කාරණයකි. මෙසේ හෙයින් අප පැරැන්නන් පොල් තෙල් පරිභෝජනය හේතුවෙන් හෘද රෝග, කොලෙස්ටරොල් තත්ත්වයන්ට හෝ වෙනත් සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දුන් බවක් දකින්නට ලැබුණේ නැත.

මේ වන විට අප රටේ ඉතා ඉහළ පිරිපහදු කිරීමේ ක්‍රියාවලියකට ලක් කරමින් සකස් කෙරෙන ‘නොඉඳුල් පොල් තෙල්’ (virgin coconut oil) පවා දැරිය හැකි මිලකට ලබා ගත හැකිය. මේවා අවර්ණ අතර පොල් තෙල්වලින් දැනෙන සුවඳ දක්නට ලැබෙන්නේ නැත. මීට අමතරව කාබනික පොහොර පමණක් යොදා වගා කරන පොල් ගස්වලින් ලබා ලබාගන්නා පොල් තෙල්වලින් සකස් කරනා පොල් තෙල් ද දක්නට හැකිය.

කලකට පෙර පොල් තෙල්වලට වඩා පාම් තෙල් හෙවත් ‘කටුපොල් තෙල්’ (Palm Oil) හිතකර බවට ද යම් මතයක් පැතිර පැවති කාලයක් තිබිණි. පොල් කෙත්වලට වඩාත් ලාබදායී විකල්පයක් ලෙස මේවා හඳුන්වා දෙනු ලැබිණි. පාම් තෙල් නිපදවීම සඳහා භාවිත කෙරෙන පාම් ගෙඩි සාමාන්‍යයෙන් පුවක් ගෙඩි හා සමානය. පාම් තෙල් නිපදවනු ලබන ක්‍රම දෙකකි. එකක් වන්නේ එහි ලෙල්ලෙන් තෙල් නිපදවීමය. අනෙක් පාම් මදයෙන් තෙල් නිපදවීමය. පාම් ගෙඩිවල ඇති මදය කොටස ඉතා කුඩා වන බැවින් පාම් මදයෙන් ලබා ගන්නා තෙල් ඉතා අධික මිලකින් යුක්තය. ඒවා සෞඛ්‍ය සම්පන්නය. නමුත් වෙළඳපළේ ඇත්තේ පාම් ලෙල්ලෙන් නිපදවනු ලබන තෙල් ය. මේවායේ සංතෘප්ත මේදය (saturated fat) පොල් තෙල් හෝ එළවළු යැයි කියා ගන්නා අනෙකුත් සියලු තෙල් වර්ගවලට වඩා ඉහළය. සංතෘප්ත මේදය යනු සෞඛ්‍යයට ඉතා අහිතකර මේද වර්ගයකි.

පාම් මදය

වර්තමානයේ බහුලව ප්‍රචලිතව පවතින මතයක් වන්නේ අසංතෘප්ත තෙල් සෞඛ්‍ය සම්පන්න බවය. නමුත් එය සියලු‍ විටම එසේ වන්නේ නැත. පෙර සඳහන් කළා සේ මේ මතය අපට පැමිණෙන්නේ ද බටහිරිනි. බටහිර රටවල බහුල වශයෙන් පරිභෝජනය කෙරෙන්නේ අසංතෘප්ත තෙල් ය. නමුත් ඔවුන් අප රටේ මෙන් ආහාර දැඩි ලෙස ආහාර පිසින්නේ නැත. ඔවුහු අඩු උෂ්ණත්වයක් යටතේ ආහාර පිස ගැනීමට පුරුදුව සිටිති. නමුත් අප සාමාන්‍යයෙන් ආහාර දැඩි උෂ්ණත්වය යටතේ වැඩි වේලාවක් පිස ගැනීමට හුරුපුරුදු ව සිටින අතර එවැනි තත්ත්වයක දී පාම් තෙල් සහ කවුරුත් එළවළු යැයි හඳුන්වන අසංතෘප්ත තෙල් අස්ථාවර භාවයකට ලක් වන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එමෙන්ම පාම් තෙල් සහ එළවළු තෙල් වර්ගවලින් මෙවැනි තත්ත්වයක දී පෙරොක්සයිඩ් නිපදවී ඒවා ආහාරයට එක්වීම සිදුවෙයි. එය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නොවේ. අපි වැඩි දෙනෙක් වඩේ, රෝල්ස් වැනි ඇතැම් ආහාර වර්ග ගැඹුරු තෙල් බැද ගන්නට හුරු පුරුදුව සිටිමු. එමෙන්ම ආහාර තෙම්පරාදු කිරීමේ දී තරමක් වැඩි කාලයක් මේ සඳහා ගත කරන්නට අපගේ ඇතැම් ගෘහනිහෝ පුරුදුව සිටිති. අනෙකුත් තෙල් වර්ග අධික ලෙස රත්වීමේදී ඒවායේ ප්‍රති ඔක්සිකාරක විනාශ වී යන නමුත් පොල් තෙල් අධික ලෙස රත් කළ ද මෙම ප්‍රති ඔක්සිකාරකවලට හානියක් සිදු නොවන බව ද දැනට සිදුවී ඇති පර්යේෂණවලින් හෙළිවී තිබේ මේ නිසා ආහාර පිස ගැනීමේ පුරුදු පැත්තෙන් සලකා බැලු‍වත් අපට වඩාත් සුදුසු වන්නේ පොල් තෙල් බව කිව හැකිය.

නැවුම් පොල් තෙල්

පාරිභෝගිකයන් පොල් තෙල් අතහැර වෙනත් තෙල්වලට යොමු වන්නට ප්‍රධාන හේතුවක් වුයේ පොල්තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ බහුල වශයෙන් ප්‍රචාරණය වීම නිසාය. හෘද රෝග ආදියට බොහෝ දෙනෙක් ගොදුරුව සිටීමත්, මේ සඳහා කොලෙස්ටරෝල් හේතුවීමත් නිසා බොහෝ දෙනෙකුගේ සිත් තුළ පොල් තෙල් පිළිබඳ අනියත බියක් හට ගැනුණි. වෛද්‍යවරු ද මෙම අදහස තහවුරු කරන කරුණු විටින් විට ඉදිරිපත් කරන්නට පටන් ගත්හ. නමුත් එළවළු තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැති බවට (Cholesterol Free) ප්‍රචාරය වීමත් සමග වැඩි දෙනෙක් ඉතා කැමැත්තෙන් එළවළු තෙල් භාවිතයට හුරු වන්නට පෙළඹුණහ. පොල් තෙල් භාවිතය ඉතිරි වූයේ එළවළු තෙල් මිල දී ගැනීමට තරම් වත්කමක් නැති ජනතාව අතර පමණි.

පොල් තෙල්වල කොලසේටරෝල් අඩංගුද? කොලෙස්ටරෝල් නමැති සංඝටකය ගෙන සලකා බැලු‍වොත් එය ශරීරයට යම්කිසි මට්ටමකින් අවශ්‍ය දෙයකි. නමුත් මෙය අපට කිසිදු ආහාරයක් ඔස්සේ ලැබෙන දෙයක් නොවේ. කිසිම ආහාරයක කොලෙස්ටරෝල් අඩංගු වන්නේ නැත. ඒ නිසා එළවළු තෙල්වල ‛කොලෙස්ටරෝල් අඩංගු නැත’ (Cholesterol Free) යන ලේබලය ඇලවීමේ වරදක් නැත. එමෙන්ම කිසිදු පොල් තෙල් වර්ගයක හෝ කොලෙස්ටරෝල් අඩංගු වන්නේ ද නැත. ඒ නිසා පොල් තෙල් ද ‛කොලෙස්ටරෝල් අඩංගු නැත’ යනුවෙන් ලේබලය යටතේ අළෙවි කළ හැකිය. නමුත් පොල් තෙල් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්නට කිසිවකුත් නොසිටි නිසා පොල් තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැතැයි කියන සත්‍යය ජනතාව අතරට පැමිණියේ නැත.

පොල් තෙල්වල වැඩි වශයෙන් අඩංගු ද්‍රව්‍යය වන්නේ ලෝරික් අම්ලය ය. පොල් තෙල්වලට වැඩි වටිනාකමක් ලැබී ඇත්තේ ද මේ ලෝරික් අම්ලය නිසාය. එසේ වී ඇත්තේ මව්කිරිවල ද වැඩි වශයෙන්ම ලෝරික් අම්ලය අඩංගු බැවිනි. ආහාර පිණිස දැනට ලෝකයේ නිෂ්පාදනය කොට ඇති තෙල් වර්ගවලින් ලෝරික් අම්ලය අඩංගු වන්නේ පොල් තෙල්වල හා පාම් ලෙල්ලෙන් නොව පාම් මදයෙන් ලබා ගන්නා තෙල්වල පමණි. නමුත් පාම් ගෙඩි මදයෙන් ලබාගන්නා පොල් තෙල් අධික මිලකින් යුක්ත වන නිසා කිරි දෙන මවකට සිය කිරිවල ඇති ලෝරික් අම්ලය වැඩි කර ගැනීමට නම් පහසුවෙන්ම ශරීරයට එක් කර ගත යුත්තේ පොල් තෙල් සහ පොල්වලින් නිපදවනු ලබන අනෙකුත් ආහාර වර්ගය. පොල් තෙල් වල ලෝරික් අම්ලය 48.9%ක් අඩංගුය. නමුත් පාම් මදයෙන් ලබා ගන්නා තෙල් හැරුණු විට වෙළෙඳපොළේ එළවළු තෙල් යැයි ප්‍රකට කිසිදු තෙල් වර්ගයක් ලෝරික් අම්ලය අඩංගු වන්නේ නැත. American Journal of Clinical Nutrition නම් වෛද්‍ය ජර්නලයේ ද සඳහන් වූයේ මෙය චිකිත්සකව තහවුරු කොට ඇති දෙයක් බවය. මේද අම්ලයක් වන ලෝරික් අම්ලය මව් කිරිවල වැඩි වශයෙන් අඩංගු වීමෙන් ලැබෙන ප්‍රතිඵල බොහොමය. බිළිඳාගේ ප්‍රතිශක්තිය වර්ධනය, දරුවාගේ ආහාර ජීර්ණය වර්ධකය, බිළිඳාගේ සමෙහි රෝග මර්දනය, ආදිය මේ වාසි අතර විශේෂයෙන් කැපී පෙනේ. මව් කිරිවලට සමාන කිරි වර්ගයක් මෙතෙක් නිපදවන්නට හැකියාවක් ලැබී නැහැ. නමුත් දැනට කෙරීගෙන යන ඇතැම් පර්යේෂණවලින් කිව හැක්කේ පොල් තෙල්වල අඩංගු ලෝරික් අම්ලය යම් ප්‍රතිශතයකින් එළකිරිවලට මිශ්‍ර කිරීමෙන් මව්කිරිවලට වඩාත් සමාන කමක් ඇති කිරි වර්ගයක් නිපදවා ගත හැකි බවය. නමුත් තවමත් මෙය පවතින්නේ පර්යේෂණ මට්ටමක පමණි.

මෙම ලෝරික් අම්ලය වැඩිහිටියන්ට ද සුදුසු නිසාත්, විදෙස් රටවල වැසියන් මේ පිළිබඳ අවබෝධයකින් පසුවීම නිසාත්, එම රටවල බොහෝ දෙනෙක් නැවුම් පොල් තෙල් පානය කරන්නට පුරුදුව සිටිති. පානය කිරීම යනුවෙන් සඳහන් කරන්නේ විශාල ප්‍රමාණයෙන් නොව තේ හැන්දක් මේස හැන්දක් වැනි ප්‍රමාණයක් පමණි. එමෙන්ම මෝර ගුලි තරම් ප්‍රමාණයේ කරල්වලට නැවුම් පොල් තෙල් අඩංගු කොට ඖෂධයක් ආකාරයෙන් ද එම රටවල නැවුම් පොල් තෙල් සකස් කොට තිබේ. පොල් තෙල් අගුණ නම්, අපට ගුණ අගුණ පිළිබඳ කියා දෙන්නේ බටහිර රටවල් නම්, එම රටවල ජනතාව මෙසේ පොල් තෙල් පානය කරන්නේ ඇයිද යන්න පිළිබඳ සියලු‍ දෙනාම නැවත සිතා බැලිය යුතුය.

පොල් තෙල් භාවිතයේ පොදුවේ පිළිගත් වාසි බොහොමයක් තිබේ. හිසකෙස්වල ආරක්ෂාව, ආතතියෙන් සහනය, කොලෙස්ටරෝල් මට්ටම පාලනය, බර අඩු වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය, ක්‍රමවත් ආහාර ජීර්ණය හා පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත් වීම මේ අතුරින් කිහිපයකි. එමෙන්ම වකුගඩු රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, එච්.අයි.වී. ආසාදනය සහ පිළිකා ආදියෙන් සහනයක් ලැබීමත් සඳහන් කළ හැකිය. දත් හා අස්ථිවල ශක්තිය වර්ධනය වීමද තවත් එක් වාසියකි. පොල් තෙල්වලින් මෙවැනි වාසි ලැබෙන්නේ එහි ලෝරික්, කැප්රික් සහ කැප්රිලික් අම්ල පැවතීමත්, එම අම්ලවල ඇති ප්‍රති ක්ෂුද්‍රජීවී, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිදිලීර, ජීවානුහරණ සහ සුව කිරීමේ ගුණාංග නිසාය.

පාම් තෙල්

පොල් තෙල් භාවිතයේ පොදුවේ පිළිගත් වාසි බොහොමයක් තිබේ. හිසකෙස්වල ආරක්ෂාව, ආතතියෙන් සහනය, කොලෙස්ටරෝල් මට්ටම පාලනය, බර අඩු වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය, ක්‍රමවත් ආහාර ජීර්ණය හා පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත් වීම මේ අතුරින් කිහිපයකි. එමෙන්ම වකුගඩු රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, එච්.අයි.වී. ආසාදනය සහ පිළිකා ආදියෙන් සහනයක් ලැබීමත් සඳහන් කළ හැකිය. දත් හා අස්ථිවල ශක්තිය වර්ධනය වීමද තවත් එක් වාසියකි. පොල් තෙල්වලින් මෙවැනි වාසි ලැබෙන්නේ එහි ලෝරික්, කැප්රික් සහ කැප්රිලික් අම්ල පැවතීමත්, එම අම්ලවල ඇති ප්‍රති ක්ෂුද්‍රජීවී, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිදිලීර, ජීවානුහරණ සහ සුව කිරීමේ ගුණාංග නිසාය.

මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ පොල් තෙල්වලට එරෙහිව නැවතත් යම් කිසි ව්‍යාපාරයක් දියත් වෙමින් පවතින බවය. අප රටට අවශ්‍ය තරම් පොල් තෙල් නිපදවන්නට තරම් අප රටේ පොල් ගෙඩි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බව සත්‍යයක් නමුත් බලධාරීන්ගේ යුතුකම හා වගකීම විය යුත්තේ මේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන රට තුළට අහිතකර තෙල් වර්ග පැමිණීම අවහිර කොට සෞඛ්‍ය සම්පන්න ලෙස පොල් තෙල් නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීමය. එවිට පොල් තෙල් කෙරෙහි ඇති අනියත බිය දුරු කළ හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර