බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨතම භාරත පුත්‍රයෙකු ලෙස සියළු ඉන්දියානු ජතිකයෝ නොවලහා පිළිගනිති. එහෙත් ,ඉන්දියානුවන්ගෙන් බෞද්ධයන් සිටිනුයේ අතිශය සුළුතරයකි. එනම් බිලියන 1.4ක් වූ සමස්ත ඉන්දීය ජනගහනයෙන් මිලියන 8.4ක පමණ වන අතිශය සුළු ප්රමාණයකි.
නමුත් බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයෙකු ලෙස සලකද්දී ඉන්දියානුවන් බහුතරය බෞද්ධයන් නොවුණේ මන්ද? යන පැනය ඉන්දියානු සමාජ හා මානව විද්‍යාඥයන්ට ද වරින් වර මතුවිය.
එබැවින් අවස්ථා ගණනාවක දීම ඔවුහු මේ ගැන විශේෂ විමර්ශනය කළහ. එහිදි අනාවරණය වූයේ ශ්‍රේෂ්ඨතම භාරත පුත්‍රයෙකු ලෙස බුදුන් වහන්සේ හඳුන්වා දුන් බුදු දහමින් තමන්ට ප්‍රායෝගික ප්රතිලාභ කිසි දෙයක් නොලැබෙන නිසා තමන් බෞද්ධයන් නොවූ බව ය.
ඒ අනුව බහුතර ඉන්දියානුවන් භෞතිකව ලැබෙන දේ මත සිට කටයුතු කිරීම හේතු කරගෙන මනඃකල්පිත දෙවිවරුන් ඇදහීමට යොමු ව ඇති බව ද ඒ අනුව අනේක වාරයක් පසක් විය.
හින්දු ආගමේ භක්තිවාදී සේම දාර්ශනික පක්ෂයක් ද තිබේ.එහෙත් සමාජයේ නිතර නිතර කුළු ගැන්වෙනුයේ ඒම භක්තිවාදී පක්ෂයයි.එම නොදියුණු ආගමික ක්‍රියාවලියේ දී මෙන්ම අප රටේ දේශපාලන ක්‍රියාවලියේ දී සිදුවන්නේ ද මෙයම ය.
ඡන්දයක් ජයග්‍රහණය කරන්නට නම් ඡන්ද දායකයන්ට අල්ලස් දිය යුතුම ය. නැතිනම් අල්ලස් දෙන බවට රහසේ පොරොන්දු දිය යුතු ය. එලෙස පොරොන්දු නොදෙන අයට ඡන්ද ලැබෙන්නේ නැත. ඡන්දය ගෙන පොරොන්දු ඉටු නොකරන අයට ද අත්වන්නේ එම ඉරණමම ය.
මෙම කතාව අපට සිහිපත් වූයේ කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ බලය ජනතා විමුක්ති පෙරමුණ හිමිකරගෙන ඇති බවට පළවූ ප්‍රවෘත්තියක් දැකීමෙනි. ඒ මන්ද ජනතා විමුක්ති පෙරමුණ ද භාරතීය ශ්‍රේෂ්ඨ පුරුෂයා මෙනි. බුදුන් වහන්සේ භාරතීය ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බව පිළිගත්ත ද උන්වහන්සේ හඳුනා දුන් බෞද්ධ දර්ශනය බහුතරයකට නොවැටහෙයි.
එලෙසම රටේ දුෂණ වංචා හෙළිකරන රටට නිවැරදි මාවත පෙන්වන කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකික ඡන්ද දායකයා පිළිගත්ත ද ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයක් ගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා දෙන්නේ නැත.
නමුත්, කොටපොල ජනතාව ඊට වඩා වෙනස් බව ඔවුන්ගේ තීරණයෙන් පැහැදිලි වේ. මොරවක් කෝරලය යනු මාතර දිස්ත්‍රික්කයේ එක් අන්තයකි. එහි තිබෙන ප්‍රධාන නගරයක් වන්නේ කොටපොල ය. මොරවක් කෝරල ජනතාව ගැන නොයෙක් මති මතාන්තර දකුණේ ඇත. ඉන් එකක් වන්නේ ඔවුන් සඳට පොලු ගැසූ බවට ඇති ජන ප්රවාදයයි.
එහිදි තවත් තැනක කියවෙන්නේ ඔවුන් සඳට පොලු ගැසුවේ සඳ ඉල්ලා හැඬූ දැරියකගේ ඉල්ලීමට බව ය. දැරිය සඳ ඉල්ලු විට සද කලු වලාකුලකින් වැසෙන අවස්ථාවක පොලු ගසා පසුව ලිං ජලය පෙන්වා සඳ ළිඳට කඩා වැටී ඇති බව පෙන්වූවා යැයි පිරිසක් ප්‍රකාශ කරති. තවත් පිරිසක් මෙය අර්ථ කතනය කරනුයේ මෝඩකමක් විලස ය. එහෙත් තවත් පිරිසක් නුවණක්කාරකමක් ලෙස අර්ථකතනය කරති.
එය කෙසේ වෙතත් අපේ මාතෘකාව මෙම ජන කොට්ඨාශය එහි ප්‍රධාන ස්ථානයක බලය ජනතා විමුක්ති පෙරමුණට ලබාදීම ගැන ය. කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභාව සඳහා නියෝජිතයන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කළේ ය.
මහ සභාවේ සභික තනතුරු 100 ක් ඇති අතර ඉන් 55 ක බලය තමන්ට හිමිවූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එසේම පොදුජන පෙරමුණ ලබාගතතේ ඡන්ද 35 ක් පමණක් බවද සඳහන්වේ. එසේම ස්වාධීන කණ්ඩායමක් තවත් ඡන්ද 10 ක් හිමිකර ගෙන ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් ද ආසන දිනාගෙන තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක කියා සිටියේ නිලවරණයෙන් තම පාර්ශවය ජයගත් බව ය. කොටපොල සමූපකාර සමිතිය පිහිටියේ නිපුන රණවක ගේ ආසන බල ප්‍රදේශයේ ය.
එනම් දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ය. එසේම පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දෙන පාර්ශව කිහිපයක් ජයග්‍රහණය කර ඇති බැවින් පොදුජන පෙරමුණට බලය හිමිවන බව ය.
නමුදු මේ සියළු දේ අසත්‍ය බව කොටපොල විවිධ සේවා සමූපකාරය සුරැකීමේ සංවිධානය සඳහන් කරනුයේ ඉතා පැහැදිලි ජයක් ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන සිය කණ්ඩායම ජයග්‍රහණය කරගෙන ඇති බව ය. එසේම ආසන 10 ක් දිනාගෙන ඇති ස්වාධීන කණ්ඩායම සමඟ ද තම කණ්ඩායම සාකච්ඡා කරන බවද ඔවුන් කියා සිටියි.
පොදුජන පෙරමුණ තමන් ආසන 51 ක් ලබා ගෙන ඇති බව කීවත් එය අසත්‍යයක් බව සමුපකාරය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි. කෙසේ නමුත් ඡන්ද ප්‍රතිඵලය ගැන මේ වන විට ගැටළුවක් මතුව තිබේ. එසේම මෙම ඡන්දය දූෂිත එකක් බවට ද පොදුජන පෙරමුණේ කණ්ඩායම් සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ඇති නම් එය සුවිශේෂි තත්ත්වයකි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය ගැන හොඳ පෙරනිමිත්තති. “ජ.වි.පෙ ගමෙන් පටන් ගනිමු” යනුවෙන් ගමට යද්දී ගමේ සමුපකාර සමිතියක බලය ඔවුනට හිමිව තිබේ. එය අනාගත දේශපාලන හැරවුම් ලක්ෂයක් වීමට ද හැකියාවක් පවතියි.
මා ඉහතින් කියූ සේ ඉන්දියාවේ එසේ වුව ද දැන් “ශ්‍රී ලංකාවේ ජනතාව තම අදහස් වෙනස් කරන්න ද මේ උත්සාහ කරන්නේ?” යන පැනය නිතැතින්ම පැන නගියි. කෙසේ වුවත් ජනතාව මෙලෙස වෙනස් වෙමින් හිඳින්නේ නම් එය සැලකිය යුතු තත්ත්වයකි.
ජනතාවට පවතින පක්ෂ එපා වී අලුත් වෙනසක් කළ හැකි කණ්ඩායමක් සොයන්නේ ද යන්න මෙම ප්‍රතිඵලය සමාලෝචනය කිරීමේදි පැහැදිලි වන්නේය.
ඒ අනුව සඳට ගල් ගැසූ මිනිසුන් හෝ මෙම විප්ලවීය වෙනසට මුල පුරන්නේ නම් ඔවුන් පිළිබඳව ද මෙරට දේශපාලන ඉතිහාසයේ සටහන් විය යුතුමය.
ලසන්ත වීරකුලසූරිය