හිමාලයේ දී වෙඩි වැදී මියගිය මුවැත්තිය රාජගිරියෙන් යළි මතු වෙයි

මගේ මතකයට අනුව ඒ 2001 වසරේ සිංහල අලුත් අවුරුද්දට ආසන්නතම දිනයෙකි. ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘ සහ පුරෝගාමී මෝහන චිකිත්සකයකු වූ ආචාර්ය නෙවිල් ද සිල්වා ගේ රාජගිරියේ මෝහන චිකිත්සාගාරයට වෙනදාට වැඩි පිරිසක් එක් රොක්ව හිඳිනු දක්නා ලදී. ඊට හේතුව මෝහන චිකිත්සාව උදෙසා එහි පැමිණි පිරිසට අමතරව කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු උපදේශකවරුන් හය හත් දෙනකු සහ ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් ද එදින එහි රැස්ව හිඳීම ය. මානසික රෝග, මානසික අර්බුද සේම මනෝ කායික විෂමතා සඳහා මෝහන චිකිත්සාව යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසා බැලීමට ඔවුන් තුළ වූ පෞද්ගලික අභිලාෂය ඊට හේතු වන්නට ඇත. එමෙන්ම මෝහනය මගින් පුනරුප්පත්තිය ප්‍රකාශ වීම් සම්බන්ධ වැඩසටහන් ඒ වන විට රූපවාහිනී චැනල් මගින් අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණ. එහෙත්,ඒවා පිළිබඳව මනා සිහි නුවණින් යුතුව විමසීමේ දී පෙනී ගියේ ඒ සියල්ල ව්‍යාජ මවා පෑම් බව ය. ඒ ඇතැම් මවා පෑම් එවක “මෝහන වෛද්‍ය වරුන්” යන ව්‍යාජ හැඳින්වීම යටතේ සමාජය හමුවේ පෙනී සිටි පුද්ගලයන්ගේ උප්පරවැට්ටි බව ඒ වැඩසටහන් මගින් ඉතා අපූරුවට අපට වටහා ගත හැකි විය. ඉන් ඉතිරි කොටස හුදෙක් බාල ජනප්‍රියත්වය තකා නරඹන්නවුන් මුලාවට පත් කිරීම පිණිස ඒ මෝහන වෛද්‍යවරුන් හා ඒ රූපවාහිනී චැනල් වලට සම්බන්ධ වූවන් එක්ව කළ මවා පෑම් බව දපැහැදිලිවම දැක ගත හැකි විණි.එහෙත් ඒ සම්බන්ධ අනෙක් ඛේදවාචකය වූයේ ඒ “පච වට්ටෝරු”බොහොමයක් බෞද්ධ වැඩ සටහන් යන ලේබලය යටතේ පුර පොහෝ දින වල ප්‍රචාරය වීම ය.එම ව්‍යාජ ඇස් බැන්ඳුම් වලට ධර්මානුකූල අර්ථ කථන දීමට බෞද්ධ භික්ෂූන් එක් කර ගැනීම එම ඛේදවාචකය තවත් බරපතල කරවීමට සමත් වී තිබිණ. එහෙත්, තම විෂය පථය සම්බන්ධයෙන් විධිමත් ශාස්ත්‍රීය දැනුම් අවබෝධයන් සම්භාරයක් හිමි ආචාර්ය නෙවිල් ද සිල්වා කිසි විටෙකත් එවැනි කපටි කයිරාටිකකම් වලට කිසිදු අයුරකින් දායක නොවූ;එමෙන්ම ඒවා සමාජ ගත කිරීම පිණිස කිසිදු සහයෝගයක් නොදුන් විද්වතකු බව මේ වන විට සදහටම මෙලොව හැර ගොස් හිඳින ඔහුගේ නාමයට කරන ගෞරවයක් ලෙසින් මෙහි සටහන් කර තැබීමට මම කැමැත්තෙමි.

ආචාර්ය නෙවිල් ද සිල්වා වෙතින් මෝහන චිකිත්සාවට ලක් වීමට පැමිණි පිරිස අතරේ වයස අවුරුදු හතලිහක හතලිස් පහක් පමණ වයසැති පැහැපත් කාන්තාවක ද වූවා ය. ඇය පොලිස් නිලධාරියකු ගේ පවුලේ සාමාජිකාවක බව දඅනුමාන වශයෙන් මට මතක ය. ඇයට තිබුණේ තුවක්කු සම්බන්ධ අසීමාන්තික බියකි. ඒ බිය කොතෙක් ද යත් මඟ තොට දී ආරක්ෂක නිලධාරියකු සමීපයේ ඇති ගිනි අවියක් දුටු විට පවා ඉන් තමන්ට වෙඩි වදිනු ඇතැයි යන අහේතුක බියක් ඇය තුළ ජනිත වෙයි. එවිට උගුර කට වියැළී සිරුර අප්‍රාණික වන තමන්ට එතැනින් ඉවත් වන තෙක් ඉවසුමක් නොමැති බව ඇය කීවාය.

ආචාර්ය නෙවිල් ද සිල්වා වෙතින් මෝහන චිකිත්සාවට ලක් වීමට පැමිණි පිරිස අතරේ වයස අවුරුදු හතලිහක හතලිස් පහක් පමණ වයසැති පැහැපත් කාන්තාවක ද වූවා ය. ඇය පොලිස් නිලධාරියකු ගේ පවුලේ සාමාජිකාවක බව දඅනුමාන වශයෙන් මට මතක ය. ඇයට තිබුණේ තුවක්කු සම්බන්ධ අසීමාන්තික බියකි. ඒ බිය කොතෙක් ද යත් මඟ තොට දී ආරක්ෂක නිලධාරියකු සමීපයේ ඇති ගිනි අවියක් දුටු විට පවා ඉන් තමන්ට වෙඩි වදිනු ඇතැයි යන අහේතුක බියක් ඇය තුළ ජනිත වෙයි. එවිට උගුර කට වියැළී සිරුර අප්‍රාණික වන තමන්ට එතැනින් ඉවත් වන තෙක් ඉවසුමක් නොමැති බව ඇය කීවාය. සිංහලයෙන් “පුහු බිය” හෙවත් භීතිකා (Phobia )ගණයට අයත් මෙම භීතිකාව හැඳින්වෙනුයේ තුවක්කු භීතිකාව (Hoplophobia) ලෙසිනි. කෙසේ හෝ ඒ වන විට මගේ ගවේෂණාත්මක මාධ්‍ය කටයුතු සඳහා ඒ වන විට ආචාර්ය නෙවිල් ද සිල්වා වෙතින් මෝහන චිකිත්සාව හදාරමින් සිටි එම කන්තාව මෝහනය කොට ඇය පෙර ආත්මය වෙත කැඳවා ගෙන යාමේ මාහැඟි අවස්ථාව ඔහු විසින් ක්ෂණිකවම මා වෙත උදා කර දෙන ලදී. ඒ අනුව මා ලබා දුන් මූලික මෝහනමය ඇනවුම් වලින් මෝහනයට පත් වූ ඇය එහි ගැඹුරු අවස්ථාව (Depth hypnosis ) තෙක් රැගෙන ගිය මට ඇගේ පෙර ආත්මය විමසීමට ද අවස්ථාව හිමි විය. එහි දී මෝහනයට පත් ඒ කාන්තාව හා මා අතර පැවැති සංවාදය මෙසේ ය.


ප්‍රශ්නය : දැන් ඔබ ඉන්නේ වර්තමාන ආත්මයට කලින් ආත්මයේ.ඔබ දකින්නේ ඔබේ පෙර ආත්මයේ දේවල් විතරයි. දැන් ඔබ කවුද?
පිළිතුර : (නිහඬ ය)
ප්‍රශ්නය : ඒ කියන්නේ ඔබ දැන් ඉන්නේ කතා කරන්න බැරි ආත්මයක. ඒත් මේ මොහොතේ ඔබට කතා කිරීමේ අවස්ථාව තාවකාලිකව ලැබෙනවා. දැන් ඔබ කවුද?
පිළිතුර : මම මුව දෙනක්
ප්‍රශ්නය : ඔබේ මේ ආත්මයේ අහිංසක පෙනුමිනුත් මට එහෙම හිතුණා. අපි කියමු ඔබ මුවැත්තියක් කියලා.
එතකොට මේ මුවැත්ති කොහෙද හිටියේ.
පිළිතුර : ඉන්දියාවේ හිමාලයේ ප්‍රශ්නය :හිමාල අඩවියේ ඉහළ කොටසෙ ද?නැත්නම් පහළ හරියෙ ද? පිළිතුර :මැද කොටසේ වගෙයි මතක
ප්‍රශ්නය :බොහොම හොඳයි. ඉන්දියාවේ හිමාල ප්‍රාන්තයේ මුව වර්ග රාශියක් ඉන්නවා.තමයි ඔබ මොන පාට මුවැත්තියක්ද?
පිළිතුර : සුදු පාට
ප්‍රශ්නය : ඒ කියන්නේ ඇඟේ තිත් නෑ
පිළිතුර : නැහැ
ප්‍රශ්නය : අපේ රටේ මුවන්ට තිත් තිබුණට හිමාලයේ මුව වර්ග රාශියක ගේ ශරීර වල තිත් නැහැ. මම හරිද?
පිළිතුර : හරි ප්‍රශ්නය :ඉතින් කොහොමද ඔබේ හිමාලයේ ජීවිතය? පිළිතුර :ඒ කාලේ මම හරිම බයෙන් ජීවත් වුණේ
ප්‍රශ්නය :ඒ ඉතින් මුවන්ගේ හැටි නේ.අන්තිමට මේ මුවැත්තිට මොකද වුණේ
පිළිතුර : (හඬුම්බරව) මට වෙඩි වැදුණා
ප්‍රශ්නය : ඒක මහ අපරාධයක් නේ, කවුද ඔබට වෙඩි තිබ්බේ.
පිළිතුර : දඩයක්කාරයෙක්
ප්‍රශ්නය : ඔහු මොන දිසාවේ ඉඳන්ද ඔබට වෙඩි තිබ්බේ. ඉදිරිපස ඉඳන්ද ?
නැත්නම් පිටුපස ඉඳන්ද?
පිළිතුර : පැත්තක ඉඳන් ගහකට මුවා වෙලා. ප්‍රශ්නය :එතකොට ඔබ හිටියේ තනියම?
ප්‍රශ්නය : නෑ රංචුවක් එක්ක
ප්‍රශ්නය : එතකොට රංචුවේ අනික් අය?
පිළිතුර : එයාල දිව්ව මට දුව ගන්න බැරි වුණා.
ප්‍රශ්නය : ඇයි ඉතින් ඔබට විතරක් දුවගන්න බැරි වුණේ?
පිළිතුර : (නැවත හඬමින් ) ඒ වෙනකොට මම හිටියේ පැටව් ලැබෙන්න.
ප්‍රශ්නය : ඔබට ඒ වෙඩි වැදුණු තුවක්කුව ගැන තාමත් හොඳ මතකයක් තියනවා?
පිළිතුර : ඔව්
ප්‍රශ්නය : ඒකේ හැටි ටිකක් කියන්න
පිළිතුර : ටිකක් දිග පතරොම් දාන තුවක්කුවක්, කළුපාට එකක්
ප්‍රශ්නය : ඒ කියන්නේ ඔබට හොඳටම මතකයි ඒක මැෂින් තුවක්කුවක් නෙවෙයි
කියලා.
පිළිතුර : නෑ සාමාන්‍ය එකක්
ප්‍රශ්නය : එතකොට දඩයම්කාරයා වෙඩි තිබ්බ හැටියේ ඔබ එතැනම ඇද ගෙන වැටුණා.
පිළිතුර : නෑ ටික දුරක් දිව්වා. ඒත් වැඩිය දුව ගන්න බැරි වුණා.
මෝහනයට පත් එම කාන්තාව සහ මා අතර පැවැති එම සංවාදය අසා සිටි බොහෝ දෙනකු ගේ මුහුණු සංවේගයෙන් අඳුරු වී ඇති අයුරක් ඒ අතරේ ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමට ද මට හැකි විය.
මෙම කාන්තාවගේ මේ ප්‍රකාශය තුළ ඇති භාවාතිශය ස්වරූපය අසන්නවුන් තුළ ප්‍රබල සංවේදිතාවන් ඇති කරවන්නකි. එහෙත් ඒ සම්බන්ධයෙන් යථාර්ථවාදීව කරුණු විමසන විට මුලුමනින්ම වැටහී යනුයේ එය ඇගේ සිත තුළ හටගත් මායාත්මක පරිකල්පනයක් බව ය. මෙලොව වෙසෙන කිසිදු වන ජීවියකු හට තමන් ජීවත් වන පරිසරය හිමාලය ආදී වශයෙන් භෞමිකව හඳුනා ගැනීමේ අවකාශයක් නැත. එමෙන්ම තම ශරීර ස්භාවය සම්බන්ධ වැටහීමක් ද ඔවුන් තුළ නැත. තමන් කිසියම් වේදනාත්මක ප්‍රහාරයකට ලක්ව මිය යන බව වටහා ගන්නා තිරිසන් සතකු එය දඩයම්කරුවකු විසින් මැෂින් තුවක්කුවක් නොවන සාමාන්‍ය තුවක්කුවකින් කළ වෙඩි තැබීමක් ලෙස වටහා ගන්නේ කෙසේද? එමෙන්ම මා ඒ දඩයම් කරුගේ වයස හැඩරුව ආදී වශයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ ද මේ ඒ සියල්ලටම ඉතා ව්‍යක්ත ලෙස පිළිතුරු දීමට මේ “හිමාලයේ සිටි මුවැත්තියට” හැකියාව ලැබෙනු නියත ය.

තමන් තුළ පවතින තුවක්කු භීතිකාව මේ කාන්තාවගේ එදිනෙදා ජීවිතයට බරපතල තර්ජනයකි.ඒ අනුව මෝහන ඇනවුම් මගින් ඇගේ සිත සැහැල්ලු කොට පෙර ආත්මයට කැඳවාගෙන යාම යන ක්‍රියාවලිය තුළින් ඇයට එළිදැක්වීමට මෙහි දී අවස්ථාව හිමිව තිබේ. එහි දී තමා තුළ පවතින ශෝකය කම්පනය ආදී චිත්තාවේග පිට කිරීමේ පහසු අවකාශයක් ඇයට හිමි වේ.

ඇය වාසනාවන්ත මිනිස් ආත්මයක් ලද කාන්තාවක පෙර ආත්මයේ මුවැත්තිය නොවන බවටත් එබැවින් ඉහත ආත්මයේ වෙඩි පහර ඇගේ වත්මන් මිනිස් ආත්මය කිසිදා සබැඳියාවක් නොමැති බවටත් මානසික ඇනවුම් දීමෙන් එවන් භීතිකා අවම කිරීම පිණිස කිසියම් සාධනීය පිටිවහලක් ලද හැකි ය. නමුත් එවන් මෝහනමය චිකිත්සාවන් මගින් එබඳු භීතිකාවන් මුළුමනින්ම පහ කළ හැකි බවට සහතික වීමට නොපුළුවන.ඒ සඳහා පශ්චාත් මෝහන ඇනවුම් ( PHS Post hypnotic suggestion ) ආදී වශයෙන් වන තරමක් දිගු චිකිත්සාවලියකට යොමු විය යුතු ය.

ඉන් පසුව මේ වන විට ඇය වාසනාවන්ත මිනිස් ආත්මයක් ලද කාන්තාවක පෙර ආත්මයේ මුවැත්තිය නොවන බවටත් එබැවින් ඉහත ආත්මයේ වෙඩි පහර ඇගේ වත්මන් මිනිස් ආත්මය කිසිදා සබැඳියාවක් නොමැති බවටත් මානසික ඇනවුම් දීමෙන් එවන් භීතිකා අවම කිරීම පිණිස කිසියම් සාධනීය පිටිවහලක් ලද හැකි ය. නමුත් එවන් මෝහනමය චිකිත්සාවන් මගින් එබඳු භීතිකාවන් මුළුමනින්ම පහ කළ හැකි බවට සහතික වීමට නොපුළුවන.ඒ සඳහා පශ්චාත් මෝහන ඇනවුම් ( PHS Post hypnotic suggestion ) ආදී වශයෙන් වන තරමක් දිගු චිකිත්සාවලියකට යොමු විය යුතු ය.අනෙක යමකු මෝහනයට පත් කළ හැකි සැවොම සුදුසුකම් සපුරා ලූ මෝහන චිකිත්සකයෝ ද නොවෙති. එබැවින් ඒ සඳහා වඩාත් පුළුල් විධිමත් විසදුම් ලබා ගැනීම අවශ්‍ය වේ.ඒසඳහා නිසි වෘත්තීය සුදුසුකම් සපුරාලූ මනෝ වෛද්‍යවරයකු, සායනික මනෝ විද්‍යාඥවරයකු( Clinical psychologist ) හෝ මනෝ උපදේශකවරයකු හමුවීම වඩාත් යෝග්‍ය වනු ඇත.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට